[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුටුගැමුණු මහ රජතුමා - 36: කාවන්තිස්ස රජතුමාගේ දේහයට රාජකීය ගෞරවය

දුටුගැමුණු මහ රජතුමා - 36:

කාවන්තිස්ස රජතුමාගේ දේහයට රාජකීය ගෞරවය

අද හෙට කාවන්තිස්ස රජතුමා මිය ගියහොත් ගැටලු රැසකට මුහුණ දෙන්නට සිදුවන බව සෙනෙවිවරු දෙදෙනාට අවබෝධ විය.

“පුදුමයට පත්වීමට කරුණක් නැහැ. ත්‍රිපිටක තිස්ස තෙරුන් වහන්සේ නිතර පවසන පරිදි “සියල්ල සිදුවන්නේ හොඳටයි” යැයි සිතමු. එන විදිහකට මුහුණ දෙමු. මහාසිව මාහිමිපාණෝ කථාව ආරම්භ කළහ.

“මහවැලි ගං තීරයේ තොටමුණුවල ආරක්ෂාව තර කරන්නට ඕනේ. දින කිහිපයකට වරක් අපේ සේනාංක ලවා සොළීන්ට පහර දෙන්නට ඕනේ. . එමඟිින් ඔවුන් රට තුළට පිවිසීම ප්‍රමාද කරන්නට පුළුවන්. “

“මේ දින කිහිපයේ තිස්ස කුමාරයාගේ රැකවල් තර කළ යුතුයි. ඔහුට බැහැරට යාමට ඇති ඉඩකඩ හා බැහැරින් ඔහුව හමුවන්නට ඇති ඉඩකඩ අහුරන්නට ඕනෑ. නන්දිමිත්‍ර දිගටම ඔහු ඇසුරේ සිටීම හොඳයි.”

“දුටුගැමුණු කුමාරයාට පිය රජුගේ අසාද්‍ය තත්ත්වය දන්වා යැවීම ඉතා වැදගත්. ඔහු මේ අවස්ථාවේදී මෙහි ගෙන්වා ගත යුතුයි. ඒ වගේම නැවත වරක් මාහිමිපාණන් වහන්සේ සෝම, සේරු රාජ්‍යවලට යවා හිතවත්කම් වැඩි දියුණු කර ගැනීමට උපායශීලි විය යුතුයි. මහාසිව, අභය රජවරුන් සමඟ නිරතුරුව සම්බන්ධකම් පවත්වා ගන්නට ඕනේ.”

“සිරිනාග එවන රහස් තොරතුරුත්, මහනෙල ගෙන එන රහස් තොරතුරුත් වෙන වෙනම රැස් කරන්න. අපේ යුධ සැලසුම් සකස් කිරීමේදී ඒවා වැදගත් වේවි. කළයුතු ඉතා වැදගත් කරුණු ටිකයි මා පැහැදිලි කළේ. අපි ත්‍රිපිටක තිස්ස මාහිමිපාණන් හමුවී තවත් උපදෙස් ලබාගනිමු.”. සෙනෙවිවරු දෙදෙනා ඒ අදහස අනුමත කළහ.

මහාසිව මාහිමිපාණන් වහන්සේ සෙනෙවිවරු දෙදෙනා මාහිමිපාණන් වහන්සේ හමුවීමට පිටත් වුහ.

විහාරස්ථානය වෙත පැමිණි පිරිස ත්‍රිපිටක තිස්ස මහතෙරුන් වහන්සේ හමුවී පාද නමස්කාර කළහ.

“දැන් මගේ කුටියට යමු.”

තිදෙනා සමග කතා බස් කරමින් ත්‍රිපිටක තිස්ස මහතෙරුන් වහන්සේ කුටියට ඇතුළු වුහ.

“මෙය අපට මුහුණ පෑමට සිදු වී ඇති බැරෑරුම් අවස්ථාවක්. රජතුමා සෝම නුවර, සේරු නුවර ගොස් රැඳී සිටිමින් එහි රජවරු සමග ඇති කර ගත් සුහදතාවය අඩුවී යාවි. මේ නිසා අපේ සතුරන් ප්‍රභල වේවි. දුටුගැමුණු කුමාරයාට අභිප්‍රාය න් සපුරා ගන්නට අමාරුවේවි. නමුත් බැරි වෙන එකක් නැහැ. “ ත්‍රිපිටක තිස්ස මහතෙරුන් වහන්සේ පැවසුහ.

“මහතෙරුන් වහන්ස අපට අද උදේ වරුවේ සිරිනාගගෙන් රහස් හසුන්පතක් ලැබුණා. තල්පත කියවූ විගස වේළුසුමන, සුරනිමල සහ නන්දිමිත්‍ර සෙනෙවිවරුන්ට පණිවුඩ යැව්වා. එත් වේළුසුමන පැමිණියේ නැහැ.”

“වේළුසුමන රජතුමාගේ අසාද්‍යය තත්ත්වය සිරි නුවර දාව ආචාර්යතුමාට පවසා අනතුරුව දුටුගැමුණු කුමාරයා හමුවීමට අපේක්ෂාවෙන් ගියත් ඔහුට ඒ කාර්යය කර ගන්නට බැරි වී තිබෙනවා.“

නන්දිමිත්‍රත්, සුරනිමලත් ලොකු කරගත් ඇස් ගෙඩිවලින් මහතෙරුන් වහන්සේ දෙස පුදුමයෙන් බලා සිටියහ. තමන් නොදන්නා තොරතුරු ත්‍රිපිටක තිස්ස තෙරුන් වහන්සේ දන්නේ දිව්‍යඥානයෙන්දැයි විමතියට පත්විය. මහාසිව මාහිමිපාණන් වහන්සේටද මේ තොරතුරු අලුත් ඒවා විය. ඔබ වහන්සේ මේ තොරතුරු දන්නේ කෙසේදැයි නන්දිමිත්‍ර විමතිය පළ කළේය.

“සෙනෙවිවරුනි, මේ පැය විසිහතරෙම ඇස් ඇරගෙන ඉන්නට ඕනෑ කාලයක් එළැඹිලා තියෙන්නේ. නොසිතු දේ සිදුවන්නට පුළුවන්. මේ සියලු දේටම වඩා වැදගත් වන්නේ දුටුගැමුණු කුමාරයා ගෙන්වා ගැනීමයි. පිය රජතුමා අසාද්‍යව සිටින බව ඔහුට නොදැන්වීම ගැන දොස් නැඟෙවි.”

“මහතෙරුන් වහන්ස, දුටුගැමුණු කුමාරයා එකම තැනක රැඳෙන පුද්ගලයකු නොවන බව අපට ආරංචි වී තිබෙනවා. ඉතින් ඔහුට පණිවිඩයක් දෙන්නේ කෙසේද ?”

“දුටුගැමුණු කුමාරයා පැන ගියේ යුද්ධයට අවසර නොලැබුණු නිසා. දැන් ඔහු සේනා සංවිධානය කර, යුද්ධායුධ හා ආහාර පාන ගබඩා කර යුද්ධයට සුදානම්. “

“යකඩය රත් වූ විට තලාගන්නට ඕනේ. දැන් යුද්ධය ආරම්භ කරන්නට හොඳම අවස්ථාවයි. මුළු රටම දැන් යුධ කඳවුරක්. ගොවි බිම්වල සටන් පුහුණු වෙනවා. වැදි ගම්මානවල සටන් පුහුණු වෙනවා.

රට ජාතිය ගලවා ගැනීමේ උද්‍යෝගය හැමතැනම පැතිරිලා. ඒ නිසා දුටුගැමුණු කුමාරයා හැකි ඉක්මනින් ගෙන්වා ගන්නට ඕනේ. “

සිලාපස්ස පිරිවෙනේ ශිෂ්‍ය හිමිනමක් ආචාර්ය පාදයන් වෙත පැමිණ වැඳ නමස්කාර කර සිටියේ ය. මහා ස්වාමීන්වහන්ස , විහාරමහා දේවිය ඔබ වහන්සේ බැහැ දැකීමට පැමිණ සිටිනවා.”

මේ අවේලාවේ බිසොවුන් වහන්සේ පැමිණියේ කුමන කරුණක් නිසාද ? මහාසිව මාහිමියන් තුළ කම්පනයක් ඇති විය. ත්‍රිපිටක තිස්ස මාහිමිපාණන්ද නැඟී සිටියහ. දෙදෙනා වහන්සේ කුටියෙන් එළියට පැමිණියහ.

විහාරමහා දේවිය, වෙව්ලන ගමනින් පැමිණ උන්වහන්සේලාගේ ඉදිරියෙහි වැඳ වැටුණහ. ඇයගේ දෙනෙතින් කඳුළු වැගිරෙනු දුටු මහතෙරුන් වහන්සේලා යමක් අවබෝධ කරගත්හ.

“ස්වාමින් වහන්ස, රජතුමා මියගියා. දේහය විහාරස්ථානයට ගෙන ආවා’ දේවිය සැලෙන හඬින් කීවා ය.

“ඉතාම ඥානවන්තයි. මේ අවස්ථාවේ ගත් නිවැරදි තීරණයක් .” මහතෙරුන් වහන්සේලා පැවසුහ.

“මහා බිසොවුනි, මේ ඉතා දුකට කරුණක් වුවත් ඉතා සැලකිල්ලෙන් විචාරවත්ව වැඩ කළ යුතු අවස්ථාවක්. දැනට මේ පුවත කිසිවකුට දැනගන්නට ඉඩ නොදී මුලික කටයුතු කරන්නට බලමු. රජතුමාගේ දේහය ඉතා රහසිගතව ගෞරවනීයව මෙහි තැන්පත් කර තබන්නම්. අදාළ කටයුතු කරගන්නට සුරනිමලත්, නන්දිමිත්‍රත් මෙහි නවත්වන්න. ඇමැති මණ්ඩලය කැඳවා ආදාහන කටයුතු සුදානම් කරන්න.” ඔබතුමිය, දැන් රාජමාලිගයට යන්න.” බොහෝ දුක්මුසු ලෙස ස්වාමින්වහන්සේලා දෙස බැලූ ඇය වැඳ සමුගත්තා ය.

රජතුමාගේ දේහය ආරක්ෂක කුටියකට යවා රැකවල් යෙදු මහානාහිමිවරු රහතන් වහන්සේ නමකට දක්වන ගරු බුහුමන් සහිතව වතාවත් පවත්වන ලෙස තෝරාගත් භික්ෂු පිරිසකට පැවසුහ. දේහයේ සතර කොන සුවඳ තෙල්වලින් පහන් දල්වා ඒවා නිවෙන්නට නොදී තබා ගන්නා ලෙසට උපදෙස් දුන්නේ ය.

නන්දිමිත්‍ර , සුරනිමල දෙදෙනා තමන් වෙත ගෙන්වා ගත්හ. උන්වහන්සේලාගේ මුහුණුවල ශෝකී බව දුටු ඔවුහු කිසිවක් සිදු වී ඇති බව වටහා ගත්හ.

“මාහිමිපාණන් වහන්ස, විහාරමහා දේවිය පැමිණි විගස ආපසු ගියේ රජතුමාට අනතුරක් ද ?”

“ඔව් රජතුමා මියගියා. ඒ පුවත පැවසීමට පමණක් නොවෙයි . රජතුමාගේ දේහය අපට පවරා දේවිය මාලිගාවට ගියා. එය තමයි මේ අවස්ථාවේ සිදු කළ යුතු බුද්ධිමත්ම කාර්යය.”

මේ අවස්ථාවේ ඉතාමත් සන්සුන්ව විවේක බුද්ධියෙන් කටයුතු කරන්නට ඕනේ.

  පොසොන් පුර    පසළොස්වක

ජූනි 24 බ්‍රහස් පූ.භා 03.32 පසළොස්වක ලබා 25 සිකුරා පූ.භා 00.09 ගෙවේ.
 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 24

Second Quarterඅව අටවක

ජූලි 01  

Full Moonඅමාවක

ජූලි 09

First Quarterපුර අටවක

ජූලි 18

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]