[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අවස්ථා හා පහසුකම් සපයා දී දරුවන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත්වන්න

අවස්ථා හා පහසුකම් සපයා දී දරුවන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත්වන්න

කොළඹ විශාඛා විද්‍යාලයීය විදුහල්පතිනි සඳමාලි අවිරුප්පොළ

කොවිඩ් 19 වසංගත රෝග තත්ත්වයත් සමඟ අපේ දරුවන්ට මුහුණ දෙන්නට සිදු වූයේ දැඩි අසීරු තත්ත්වයකටයි. දරුවන් නිවෙස්වලට සිරවීම තුළත්, පන්ති කාමරය තුළ ලැබූ අධ්‍යාපන කටයුතු දුරස්ථ අධ්‍යාපනක්‍රම ඔස්සේ ලබා ගැනීම තුළත් බොහෝ දරුවන්ට විවිධ අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවිය හැකියි. ඒ වගේම ඇතැම් දරුවන් කායික මානසික පීඩාකාරී තත්ත්වයන්ට පත්විය හැකියි. මෙවැනි වාතාවරණයක් තුළ දරුවන්ගේ කායික මානසික සමබරතාව රැක ගනිමින් යහපත් පුරවැසියන් ලෙස ඔවුන් සමාජගත කිරීම සඳහා මව්පිය, ගුරුවර, වැඩිහිටියන්ගේ කාර්ය භාරය පිළිබඳව කොළඹ විශාඛා විද්‍යාලයීය විදුහල්පතිනි සඳමාලි අවිරුප්පොළ ගුරුමහත්මිය සමඟ කළ සාකච්ඡාවකි.

බෞද්ධ අධ්‍යාපන ක්‍රමවේදය තුළ අතීතයේ ගුණ නැණ බෙලෙන් යුතු දරුවන් සමාජගත කිරීමට ප්‍රමුඛත්වය ලැබුණා. තරගකාරී අධ්‍යාපන රටාව තුළ දැන් දැන් ගුණ අමතක කොට නැණ පමණක් ලබා දෙන්නට උනන්දුවන බව බොහෝවිට දකින්නට ලැබෙනවා. මිනිසාගේ පරම වස්තුව ‘දරුවන්’ බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. එම දරුවන් යහපත් සමාජ සාමාජිකයින් ලෙස අනාගතයට හැඩගැස්වීමෙහි ලා වැඩිහිටියන්ට පැවරෙන වගකීම කෙබඳු ද?

“පුත්තා වත්ථු මනුස්සානං” මෙය බුද්ධ දේශනාවේ එන්නක්. මේ උතුම් වස්තුව, දරුවන් යහ පුරවැසියන් ලෙස සමාජගත කිරීමේ දී අපට පැවරෙන වගකීම සංකීර්ණ එකක්. දරුවකු යහ පුරවැසියකු වන්නේ පුද්ගලයකු ලෙස සෑම අංශයකින් ම සංවර්ධනය වූ විටයි. එවිට තමයි “පරිපූර්ණ පුරවැසියකු” බිහිවන්නේ. අධ්‍යාපන සංවර්ධනය, බුද්ධි සංවර්ධනය, කායික සංවර්ධනය, චිත්තවේග සංවර්ධනය, සදාචාර සංවර්ධනය, මානසික සංවර්ධනය, සෞන්දර්යාත්මක සංවර්ධනය, ආධ්‍යාත්මික සංවර්ධනය ආදිය මෙවැනි විවිධ වූ අංශයි. දරුවන් විධිමත් ව හෝ අවිධිමත් ව, දැන හෝ නොදැන ඉගෙන ගැනීම සිදු කරන්නේ ඔවුන්ට ලැබෙන අත්දැකීම් ඔස්සේ යි. එනිසා විධිමත් ඉගැන්වීමේ දී වගේම ඉන් ඔබ්බට ගිය අවිධිමත් ඉගැන්වීමේදීත්, සමාජ ඉගැන්වීමේ දී ත්, පරිසර අත්දැකීම් ලබා ගැනීමේ දී ත් ඉහත කී සෑම අංශයක ම සංවර්ධනය සිදුවන විදිහේ අත්දැකීම් ලබා දෙන්නට අප උනන්දු විය යුතුයි.

ඉගෙනූමෙන් ඉහළටම ගිහින් උසස් පෙළ ඒ සාමාර්ථ තුනක් ලබාගත් ළමයකු එළිමහනේ ඉන්නවිට ළඟ තියෙන ගහක කොළ කඩා දානවා නම්, තමන්ගේ ටොෆි කොලේ පාරට දානවා නම්,දුරකථන කාඩ්පත් (Phone Card)  හූරලා ඉන්න තැනම විසි කරනවා නම් ඔහුට/ ඇයට යහ පුරවැසියකු ලෙස සමාජගත වීම අපහසු වෙනවා. හේතුව නම් ඉහත කී අංශවල සමස්ත සංවර්ධනය වී නැති නිසයි.

එම අත්දැකීම් ලබාදීමේ දී මවුපියන්, ගුරුවරුන්, ‘ළමයා’ කවුද යන්න මැනවින් තේරුම් ගෙන සිටීමේ වැදගත්කම පිළිබඳව පැහැදිලි කිරීමක් කළ හැකිද?

අද දවසේ ‘ළමයා’ තමයි හෙට දවසේ පුරවැසියා වෙන්නේ. දෙමාපියන් ගුරුවරුන් ළඟ තමයි අද දවසේ දරුවා හැදී වැඩෙන්නේ, ගුරුහරුකම් ලබන්නේ. එනිසා ‘ළමයා’ කවුදැයි නිවැරැදිව තේරුම් ගැනීම අනාගතයට සෘජුවම බලපාන කාරණයක් . ආභාග්‍යයට කාරණය තමයි ‘ළමයා’ හරිහැටි හඳුනා ගන්නට දෙමාපිය, වැඩිහිටි කණ්ඩායමෙන් බොහෝ දෙනා අපොහොසත් වීම.

ළමයා තුළින් පුංචි වැඩිහිටියකු අපේක්ෂා කිරීම හානිකර දෙයක්. ළමයාට අප විසින් කළ යුත්තේ මඟ පෙන්වීම, රුකුල් සැපයීම පමණයි. අවස්ථා සහ පහසුකම් සපයා දී ආරක්ෂාව ගැන සෝදිසියෙන් සිටීම තමයි වැදගත් වන්නේ. එවිට ළමයා නිදහසේ පරිසරය, සමාජය හා ගැටෙමින් අත්දැකීම් උපයා ගන්නවා.

නමුත් බොහෝ වැඩිහිටියන් තමන්ට කරන්නට බැරි වුණු දේ ළමයින්ගෙන් බලාපොරොත්තු වෙනවා. බොහෝ දෙමාපියන් තමන්ගේ සිහින දරුවන් ලවා සැබෑ කරවා ගන්නට උත්සාහ කරනවා. මෙහෙම වෙන්නේ ‘ළමයා’ කවුදැයි හරියට තේරුම් නොගත් නිසා

හැකි සෑම විටෙකම ළමයා හදන්නට නොගොස් හැදෙන්නට දෙනවා නම් අපට කැමති දේ නොව ළමයා කැමති දේ ගැන අපේ අවධානය යොමු කරනවා නම් ළමයා යොදවා කරන්න යන ඕනෑම දෙයක දී “මම මේ වයසේ හිටියා නම් මේ දෙය කරන්න කැමති වෙයි ද?” කියලා හිතන්න පුලුවන්නම්, ළමයා හඳුනා ගන්න, තේරුම් ගන්න පහසු වෙනවා.

වෙනදා පාසල තුළ, ගුරු ඇසුරේ, යහලුවන් අතරේ ගත කළ කාලය වර්තමානයේ ගෙදරට සීමාවීම තුළ ළමයින් පීඩාකාරී වීම වැළැක්විය නොහැකියි. ආගමික පසුබිමක් තුළ මේ තත්ත්වය මඟ හැරවීමට කටයුතු කළ හැකි ද?

ගෝලිය වසංගතය හේතුවෙන් මතු වූ මේ අනපේක්ෂිත තත්ත්වය තුළ අධ්‍යාපන ක්‍රියාවලියත් නව මුහුණුවරක් ගත්තා. ඒ අනුව මාර්ගගත අධ්‍යාපනය, දුරස්ථ අධ්‍යාපනය ආදියට හුරුවන්නට ශිෂ්‍ය ප්‍රජාවට සිදු වුණා. ඉගෙනුම සඳහාම වෙන් වුණු පාසල් පරිසරය තුළ ගුරුවරුන්, සම වයසේ ශිෂ්‍යයන් ඇසුරේ ලබා ගන්නා ඉගෙනුම් අත්දැකීම දරුවන්ට භෞතික ව අහිමි වුණා, නිවසටම සීමා වී සිටින්නටත් සිදුවුණා. කුමන වයසක දරුවකුට වුවත් දීර්ඝ කාලයක් මෙවැනි පරිසරයක ගත කිරීමේ දී පිඩාකාරී මානසික තත්ත්ව ඇති වන්නට පුලුවන්. අද දරුවාට භෞතිකව ගනුදෙනු කළ හැක්කේ තම පවුලේ සාමාජිකයන් සමඟ පමණ යි. එනිසා මෙතැනදී පවුල යන කුඩාම සමාජ ඒකකය තුළ මනා ආගමික පසුබිමක් පවත්වාගෙන යා හැකි නම් හොඳයි. මාර්ගගත ඉගැන්විමේ දී පවා දරුවන්ගේ ආධ්‍යාත්මික හා සදාචාර සංවර්ධනය ගොඩනැඟෙන ලෙස ඉගැන්වීම් කටයුතු සිදු කරන්නට ගුරුවරුන්ට මාර්ගෝපදේශ සපයා තිබෙනවා.

කිනම් ආගමක් ඇදහුවත් පවුල තුළ දෛනික ආගමික පිළිවෙත් ඉටු කිරීම වැදගත්. දරුවන් නිවසේ ම සිටින නිසා පෙරදීට වඩා ඒ සඳහා ඔවුන්ගේ සහයෝගය, සහභාගීත්වය ලබා ගත හැකියි. සතිමත් බව ඉගෙනීම් කටයුතුවලට හොඳ මානසික වාතාවරණයක් සලසා දෙනවා. එනිසා සතිමත් බව වඩන අභ්‍යාසවල යෙදීමට යොමු කිරීමත් හොඳ දෙයක්.

ඕනෑම ආගමක දරුවකුට තම ආගමික ඉගැන්වීමට අනුව භාවනාව, සිත එකඟ කර ගැනීම සිදුකළ හැකියි. ළමා මනස තුළ නිහඬ බව, සාමය වර්ධනයට භාවනාව මනා පිටිවහලක්.

එබැවින් දරුවන් තුළ මානසික පීඩන තත්වයක් මතු වී ඇති මෙවැනි වකවානුවක නිවස තුළ ආගමික පසුබිමක් ගොඩ නැඟීමෙන් දරුවනට ඉගෙනුම පහසු කර, මතකය වඩවා නිරෝගී සෞඛ්‍යමත් ශරීරයක් ද ලබා දීමට උදව් කළ හැකියි.

වෙනදා දුරකතනය, පරිගණකය ළමයින්ට සීමා වෙලයි තිබුණේ. දුරස්ථ අධ්‍යාපනය නිසා මේ මෙවලම් අනිවාර්ය වී තිබෙනවා. මෙවැනි භාවිත කිරීම් හමුවේ මව්පියන්ට දරුවන් පිළිබඳ ඇති වගකීම කෙබඳු ද?

වසංගතය එන්නට කලින් පාසල්වල තිබුණේ ශිෂ්‍යයන්ට පාසල තුළ ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන් තහනම් තත්ත්වයක්. මෙය චක්‍රලේඛන ගත උපදෙසක්. නිවසේ දී වුවත් ඉහළ ශ්‍රේණිවල ශිෂ්‍යයන් පවා ජංගම දුරකථනවලින් ඈත් කර තබන ලෙසටයි, අපි දෙමාපියන්ටත් උපදෙස් දුන්නේ. නමුත් අද තත්ත්වය හාත්පසින් ම වෙනස්. වයස් භේදයක් නැතිව ජංගම දුරකතනය, ටැබ් පරිගණකය, උකුල් පරිගණකය (Laptop) ආදිය හැම දරුවකුටම භාවිත කරන්නට සිදුවෙලා. අද වන විට දරුවන් කුමන හෝ ආකාරයක device ඉදිරියේ ගත කරන කාලය දෙවැනි වන්නේ ඔවුන් නිදා ගන්නා කාලයට පමණයි.

දුරකථන පරිගණක ආදී සියල්ලටම පහසු අන්තර්ජාල සබඳතා තියෙනවා. අන්තර්ජාලය අති විශාල දැනුම් හා දත්ත සමුදායකට පහසු පිවිසුමක් වගේම ඉතා වේගයෙන් අදහස් හුවමාරු කරගත හැකි වේදිකාවක්. මෙම අධිවේගී දැනුම් ආකරයේ ප්‍රයෝජනය ඉගෙනීමට අතිශය වැදගත්. අන්තර්ජාලයේ ස්වයං ඉගෙනුම් අවස්ථා ඇති තරම් තියෙනවා. එනිසා දරුවන්ට තමන් නොදන්නා ඕනෑම දෙයක් ඉගෙන ගැනීමට හැකියි. ඇත්තටම මේ උපකරණ නොතිබුණා නම් වසංගත තත්ත්වයේ දී දරුවන්ගේ අධ්‍යාපනය කෙසේ වේවිදැයි සිතන්නත් අමාරුයි.

ඕනෑම දෙයක භාවිත සීමාවන් තියෙනවානේ. ඇත්තටම දරුවෝ මෙම උපකරණ අවභාවිතය නිසා තමයි අයහපත් ප්‍රතිඵල ඇතිවන්නේ. අධික ලෙස වීඩියෝ ක්‍රීඩාවල යෙදීම, දවස පුරා චිත්‍රපට, කාටුන්, විනෝදජනක අවස්ථා, ත්‍රාසජනක දේ නැරඹීම නොකළ යුතු දෙයක්. අන්තර්ජාලය හරහා ඉතා පහසුවෙන් වෙළෙඳ ප්‍රචාරණවලට ද නිරාවරණය විය හැකියි. මේ සියල්ල වැඩෙන ළමා මනසට අහිතකරයි. ඇතැම් දරුවන් අන්තර්ජාලයට ඇබ්බැහි වීම නිසා වෙනත් කිසි දෙයකට යොමු නොවීම, ඉගෙනීම, පවුල් සබඳතා, මිත්‍ර සබඳතා වැනි අන් සියලු දේ අතපසු කිරීමක් දැකිය හැකියි. ඒ නිසා,

දෙමව්පියන් වශයෙන්,

පාසල් ශිෂ්‍යයකු වශයෙන් තමන්ට නරඹන්නට නුසුදුසු දේ නොබැලීමටත්, ප්‍රතික්ෂේප කිරීමටත් ශක්තියක් සෑම දරුවකු තුළම ගොඩනඟන්න.

සමාජ මාධ්‍ය තුළදී දැනගත්, නාඳුනන අයගේ මිත්‍රශීලී ඇසුර පිළිගැනීමෙන් වැළකීමට දරුවාට කියා දෙන්න.

තම ඡායාරූප වීඩියෝ ආදිය සමාජ ජාලාවලට එකතු නොකිරීමට දරුවා දැනුවත් කරන්න.

ඔබේ දරුවා මධ්‍යම රාත්‍රියේදීත් අන්තර්ජාලය භාවිත කරයි නම්, ඔබ ළඟින් යන විට පරිගණක තිරය මාරු කරනවා නම් ඒ ගැන සොයා බලන්න.

කුඩා දරුවන්ට වැඩිහිටියන් සඳහා වන ත්‍රාසජනක ක්‍රීඩා අත්හදා බැලීමට ඉඩ නොදෙන්න.

දරුවන් බලන වැඩසටහන් ගැන නිතර දරුවන් සමග සුහදව කතාබහක යෙදෙන්න.

නිවසේ සාලය වැනි පොදු තැනක පරිගණකය තබන්න

ළමයින් අනවශ්‍ය ඇබ්බැහිවීම්වලින් වළක්වා ගන්නට මවුපියන්ගේ කාර්යය කෙබඳු ද?

‘ඇබ්බැහිය’ ප්‍රධාන හැසිරීමේ ගැටලුවක්’ යම් දෙයකට ඇබ්බැහි වූවකුගේ ලක්ෂණ හඳුනා ගැනීම ඇබ්බැහියෙන් වළක්වා ගැනීම් කාර්යභාරයට උදව් වෙනවා. එම ලක්ෂණ නම්, භාවිතයට ඇති දැඩි ආශාව,භාවිතය ආරම්භ කළ පසු නතර කළ නොහැකි වීම,ක්‍රමයෙන් භාවිතය වැඩි වීම,භාවිතයෙන් ඉවත් වූ මොහොතේ පටන් නුරුස්නා බවක් / දැඩි අපහසුතාවයක් දැනීම

වෙනත් දේවල් කිරීමෙන් සතුටක් නොලැබීම,

ඉගෙනීම, පවුල් සබඳතා, මිත්‍ර සබඳතා වැනි අන් සියලු කටයුතු අතපසු කිරීම පෙන්වා දිය හැකියි.

හැබැයි මෙහිදී දෙමාපියෝ හොඳීන් අවධානය යොමු කළ යුතුයි, මේ දවස්වල අප වැඩිපුරම සැකකරන අන්තර්ජාල භාවිතය, වීඩියෝ ක්‍රීඩා නැරඹීම ආදිය ඇබ්බැහිවීමක් ලෙස සලකන්නේ එය ජීවිතයට බලපෑම් කරන්නේ නම් පමණක් බව.

තම දරුවා මොනම කටයුත්තක් කෙරෙහි මුලින් කී ලක්ෂණ කාලයත් සමඟ පෙන්වනවා නම් දෙමාපියන් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. ඉන්පසු දරුවා සමඟ සුහදශීලී ව සාකච්ඡා කර ක්‍රම ක්‍රමයෙන් සිය ඇබ්බැහිවීම කවරක්දැයි වටහා ගැනීමට දරුවාට අවස්ථාව සලසා දිය යුතුයි. විශේෂයෙන් ඒ කාලය තුළ අතපසු වූ දේවල් ඉගෙනීම, පවුල් සබඳතා, ආදරය ආදියේ වටිනාකම ඔහුටම අවබෝධ වීමට ඉඩ සැලසිය යුතුයි. මෙහිදී සිය ඇබ්බැහිය වටහා ගන්න බොහෝ තරුණ දරුවන්ට නම් තනිවම ඉන් මිදීමට හැකියි. එසේ නොහැකි කොටසට සිය ඇබ්බැහියෙන් මිදීමට අනුබල දීම මව්පියන් විසින් කළ යුතුයි.

කුඩා දරුවන් පෙන්වන ඇබ්බැහිවල දී නම් දරුවා අසල ගැවසී, අධීක්ෂණයෙන්, අවස්ථා අවම කිරීමෙන්, ආදරය දැක්වීමෙන් මෙම අවස්ථා මඟහරවා ගත හැකියි.

තරුණ වියේ දරුවන් සමඟ නම් වාද නොකර විවෘත සංවාදයේ යෙදීමෙන් යහමඟ පෙන්වීම වැදගත්. මෙහිදී දරුවාට සිය අනාගත සාර්ථකත්වය ළඟා කර ගැනීමට ඇති හැකියාවන් සහ දුර්වලතා පෙන්වා දීමට සුදුසුයි. පොදුවේ ජීවිතය ගැන අනාගතය ගැන කතා කිරීම වැදගත්.

ඇබ්බැහි වීමේ චර්යාව වෙනුවෙන් යොදවන කාලය යෙදවීමට වෙනත් අවස්ථා පවුල තුළ නිර්මාණය කර දිය යුතුයි. එම අවස්ථාවල දී දරුවාගේ සහයෝගය වැඩිපුර අගය කිරීමටත් ඉදිරිපත් විය යුතුයි. එවිට දරුවා ක්‍රම ක්‍රමයෙන් එම හැසිරීම් රටාවෙන් මුදවා ගත හැකි වෙනවා.

පාසල් අධ්‍යාපනයට සමගාමී ව දුරස්ථ අධ්‍යාපනය සාර්ථක ද? උපරිම ඵල නෙළා ගන්නට කළ හැකි දේ කුමක් ද?

මුල් අවධියේ ඒ කියන්නේ පසුගිය වසරේ තිබූ තත්වයට වඩා අද වන විට දුරස්ථ අධ්‍යාපනය සාර්ථකයි. නමුත් සියයට සියයක් නෙමෙයි. මේ වන විට ගුරුවරුන් සහ ළමයින් මේ ක්‍රමයට හැඩගැසී තියෙනවා. නමුත් උපරිම පල නෙළා ගැනීමට හැකි වී නැහැ.

ප්‍රධාන ගැටලුව තමයි ලංකාවේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාව ආවරණය කරන්නට මාර්ග ගත අධ්‍යාපනයට නොහැකි වීම. සෑම ශිෂ්‍යයකුට ම අවශ්‍ය පහසුකම් නැහැ. විවිධ තාක්ෂණික බාධාවන් ද තිබෙනවා.

ජංගම දුරකතන, පරිගණක , අන්තර්ජාල සම්බන්ධතා මේ කිසිවක් නොමැති දරුවන් කොටසක් මේ රටේ ඉන්නවා. ඔවුන්ටත් අධ්‍යාපන අයිතිය තියෙනවා. ඒ නිසා ඔවුන් ගිලිහෙන්නට දෙන්න බැහැ. මේ වැඩසටහන සාර්ථක කර ගන්න නම් කෙසේ හෝ මෙම අපහසුතා සහිත ශිෂ්‍ය ප්‍රජාවට අවශ්‍ය පහසුකම් ලබා දී මාර්ගගත අධ්‍යාපනය සඳහා ප්‍රවේශ අවස්ථාවක් ගොඩනැඟිය යුතුමයි.

දුරස්ථ අධ්‍යාපන පහසුකම් නැති දරුවන්ගේ ගැටලු විසඳා ගන්නේ කෙසේ ද?

එවැනි දරුවන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට තමයි මූලිකත්වය දෙන්න ඕනෙ. රටක් වශයෙන් එය යෝධ සංවර්ධන පියවරක්, අනාගත ආයෝජනයක් වෙනවා. අද ලෝකයේ තාක්ෂණික ඉදිරි ගමන වේගවත්. වසංගතය නිමවෙලා පාසල් යළි ආරම්භ වුණත් මාර්ගගත ක්‍රමයෙන් දරුවන්ට ලැබෙන අධ්‍යාපන අවස්ථා ලබා දිය යුතුමයි.

දැනට දුරස්ථ අධ්‍යාපන පහසුකම් නැති දරුවන් මේ දීර්ඝ නිවාඩු කාලය තුළ අධ්‍යාපන ක්‍රියාවලියේ රඳවා තබා ගැනීමයි වැදගත් වෙන්නේ. මෙහිදී මව්පියන්ට, පවුලේ අයට වැඩි වගකීමක් තියෙනවා. දරුවා ළඟ පෙළ පොත් සහ විවිධ අතිරේක කියවීම් ද්‍රව්‍ය තියෙනවා. එනිසා පෙළපොත පරිශීලනය කරමින් නිදහසේ විෂයය කරුණු ගොඩනඟා ගන්නට දරුවාට පවුලේ අය උදව් කළ යුතුයි.

දුරස්ථ අධ්‍යාපනය තුළ දරුවන් ආගමික පරිසරයට නැඹුරු කිරීමෙහිලා පාසල්වලට කළ හැකි කාර්යභාරය කුමක්ද?

විධිමත් පාසල ආරම්භ වෙන්නේ උදෑසන ආගමික වැඩසටහනෙන්. දැන් දරුවන්ට උදෑසන පාසල් සංස්කෘතිය අහිමි වෙලා. එනිසා සිය මාර්ගගත අධ්‍යාපන කටයුතු ආරම්භයට පෙර පාසලේ උදා ආගමික වැඩසටහනට ළමයින් මාර්ගගත ව සම්බන්ධ කිරීම හොඳයි.

ඒ සමඟම ආධ්‍යාත්මික යහපැවැත්ම උදෙසා පාසල තුළ ක්‍රියාත්මක වන වැඩසටහන් රාශියක් තියෙනවා. පෙර පෝදා ධර්ම දේශනය, ධර්ම සාකච්ඡා, භාවනා වැඩසටහන්, බොදු ගීත, සති පාසල ආදිය එවැනි වැඩසටහන්. මේවා මාර්ගගත ව දරුවන්ට සම්බන්ධ කරදීම වැදගත්. දැනටමත් බොහෝ පාසල්වල මෙම වැඩසටහන් මාර්ගගතව ක්‍රියාත්මක කරනවා.

අධ්‍යාපන කටයුතු අතර මේවාට සම්බන්ධ වීම ඔස්සේ දරුවන් ආගමික පරිසරයට නැඹුරු කරගත හැකියි.

පවතින වසංගත රෝග තත්ත්වය තුළ බොහෝ වැඩිහිටියන් නිවෙස තුළම රැඳී සිටීම නිසා ගෘහස්ථ හිංසනය වැඩිවීම පිළිබඳවත් කතාබහට ලක් කෙරෙනවා. මෙවැනි වාතාවරණයක් තුළ වැඩිපුරම අසරණ වන්නේ අපේ දරුවන් නේද?

ශාරීරිකව හෝ මානසිකව දරුවකු හිංසනයට ලක් කිරීම කිසිවිටෙක නොකළ යුත්තක්. විශේෂයෙන් මේ දිනවල හුරුපුරුදු පාසල් පරිසරයෙන් ඈත්වීම නිසා දරුවන් කොහොමටත් නොසන්සුන් අවදියක් තමයි ගත කරන්නේ. නිවස තුළ පරිසරය ඒකාකාරියි. දරුවාගේ වර්ධනය, සංවර්ධනය සමඟ මතුවන විභවතා අවශෝෂණය කරගත හැකි සමතුලිත මනෝ සමාජයීය පරිසරයක් පාසලේ තියෙනවා. නමුත් ගෙදරදී සිය ක්‍රියාකාරකම්, සිතුවිලි ක්‍රියාත්මක කිරීමට විවිධ සීමා පවතින නිසා දරුවන් හුදකලාවීම්වලට ලක්වන්නට පුලුවනි.

මෙබඳු තත්වයක දී දරුවා ගෘහස්ත හිංසනයටත් ලක්වුව හොත් කායික ව මෙන්ම මානසික ව ද දැඩි අසරණ බවකට ලක්වෙන්නට පුළුවන්.

මේ වසරේ උසස් පෙළ ලියන්න ඉන්න දරුවකුට ගෙදරදී දකින හැම වෙලාවකම අම්මා / තාත්තා “පුතේ පාඩම් කරන්න” කියලා කියනවා නම්, ඒක ඒ දරුවාට හිංසනයක්. එනිසා හැම දෙමවුපියෝ ම දඬුවම, හිංසනය වැනි දේ බැහැර කරලා දයාව, කරුණාව, ආදරය රැකවරණය පෙන්වීමෙන් දරුවන් යහමඟට ගන්නට උත්සාහ කළ යුතුයි.

විදුහල්පතිනියක, ගුරු මවක ලෙස ඔබතුමිය මේ අවස්ථාවේ දරු පරපුරට දෙන පණිවිඩය කුමක්ද?

අද අපි මුහුණපාලා තියෙන තත්ත්වය හැමෝටම අභියෝගයක්. ජාතියක් විදිහට අපි අභියෝග සාර්ථකව ජයගත් අවස්ථා එමටයි. ඉතින් හැම දරුවෙක්ම මේ වෙලාවේ තම අනාගතය ගැන දැඩි අධිෂ්ඨානයක් ගොඩනඟා ගන්නට අවශ්‍යයි. ගෙදරටම වී සිටියත් මේ ගෙවෙන්නේ ඔබගේ වටිනා පාසල් කාලය. ජීවිතයේ සුන්දරම කාලය. ඒ හින්දා අධ්‍යාපන කටයුතු වෙත පමණක් තමන්ගේ අවධානය යොමු කිරීම වැදගත්.

පැහැදිලි ඉලක්ක, අරමුණු ගොඩනඟාගෙන ලැබී ඇති කාලයෙන් උපරිම ප්‍රයෝජන ලබාගෙන සාර්ථකව ජීවිතය ගොඩනඟා ගැනීමයි වැදගත් වෙන්නේ. සමාජයේ ඔබට මුහුණ දීමට සිදුවන නානා විධ අත්දැකීම්වලින් පන්නරය ලබා ගැනීම විනා, නොගැළපෙන මාවත් ඔස්සේ අයාලේ යන්නට ඔබේ සිතට ඉඩ ලබා නොදිය යුතුයි. තමාට වැඩිපුරම ආදරය කරන්නේ තමන්ගේ අම්මා තාත්තා ඇතුළු පවුලේ අය බව මේ දිනවල අපේ දරුවො අත්දැකීමෙන්ම දන්නවා ඇති. ඉතින් ඒ අයත් එක්ක සතුටෙන් ඉඳලා මේ කාලයට නොබියව මුහුණ දෙන්න කියලා මම දරුවන්ට කියන්න කැමතියි.

  පොසොන් පුර    පසළොස්වක

ජූනි 24 බ්‍රහස් පූ.භා 03.32 පසළොස්වක ලබා 25 සිකුරා පූ.භා 00.09 ගෙවේ.
 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 24

Second Quarterඅව අටවක

ජූලි 01  

Full Moonඅමාවක

ජූලි 09

First Quarterපුර අටවක

ජූලි 18

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]lk