[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දානය පිළිබඳ දෙවිවරු ඇසූ ප්‍රශ්න

දානය පිළිබඳ දෙවිවරු ඇසූ ප්‍රශ්න

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ජීවිතය ගිනි ගත් ගෙයක් වගේ. ගෙයක් ගිනි ගනිද්දී යම් කෙනෙක් එහි තිබෙන භාගයක් ඒ ගින්නට හසු නොවීම පිණිස බැහැරට ගෙන යනවා ද එය ඔහුගේ පසුකාලීන ප්‍රයෝජනය පිණිස පවතියි. ඒ නිවසේ වෙන යම් දේ ඇද්ද ඒ සියල්ල ගින්නට දැවී යයි. ඒ කිසිවක් ප්‍රයෝජනය පිණිස නො පවතියි. එසේම ලෝක සත්වයා ජරා මරණයෙන් ගිනි ගන්නා ලද්දේ ය. නමුත් ඒ ජරා මරණයෙන් ගිනි ගන්නා වූ ලෝක සත්ත්වයා ගෘහයෙන් යමක් බැහැර කරයි ද ඒ වනාහි ඔහු විසින් දෙන ලද දානය යි.

අප සරණ ගිය තථාගතයන් වහන්සේ සත්ථා දේවමනුස්සානං වන සේක. උන්වහන්සේ දෙවියන්ගේත්, මිනිසුන්ගේත් එකම ශාස්තෘන් වහන්සේ ය. මිනිසුන් මෙන්ම දෙවියන් ද උන්වහන්සේ සමඟ සෘජු සම්බන්ධකම් පැවැත්වූහ.

එනිසා දිව්‍ය ලෝක යනු සංකල්පයක් නොවේ යැයි කියාදීමට එදා මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට පොදු ජනතාව වෙනුවෙන් දේශනා කොට වදාළ විමාන වස්තුව සහ ප්‍රේත වස්තු කතා තුළින් කර්මයේ ඇති සැබෑ ස්වභාවය මනාව පෙන්වා වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ දිව්‍ය ලෝක නම් වශයෙන් හඳුන්වා දී ඒ ඒ දිව්‍ය ලෝකවල ‍දෙවියන්ගේ ආයුෂ, වර්ණ, සැප, බල ආදියත් විස්තර කොට වදාළහ. විමාන වස්තුහි සම්පූර්ණයෙන් අපට මුණ ගැසෙන්නේ දෙවියන් පිළිබඳ දේශනා යි. එනිසා දිව්‍ය ලෝක තිබෙන්නේ කොහිද කියා හෝ දිව්‍ය ලෝක කතා සංකල්පයක් කියා හෝ අපට බැහැර කළ නොහැකි ය.

භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ වැඩ වසද්දී මධ්‍යම රාත්‍රීයේ මුඵ දෙව්රම් වෙහෙර බබුළුවාගෙන දෙවියෙක් පැමිණ තථාගතයන් වහන්සේට වන්දනා කොට මංගල කරුණු මොනවාදැයි අසා සිටියේ ය. භාග්‍යවතුන් වහන්සේ දෙවියන්ට වදාළ මංගල කරුණු අද අප මංගල සූත්‍රය ලෙස ඉගෙන ගනිමු.

ඒ වගේම දෙවියන් පිරිහෙන කරුණු විමසූ විටදී භාග්‍යවතුන් වහන්සේ වදාළ කරුණු පිළිබඳ අද අපි පරාභව සූත්‍රය ලෙස ඉගෙන ගනිමු.

භාග්‍යවතුන් වහන්සේ සහ දෙවියන් අතර වූ බොහෝ කතාබහ දේවතා සංයුත්තයේ සඳහන් ය. එහි සාධු සූත්‍රයේ දී දෙවියන් දන් දීම පිළිබඳ කී වර්ණනා අපට හමුවේ. මුඵ ජේතවනාරාමය ඒකාලෝක කරගෙන බොහෝ දෙවියෝ භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණ උන්වහන්සේට වන්දනා කොට මෙසේ ප්‍රකාශ කළහ.

නිදුකාණන් වහන්ස, දන්දීම කො තරම් හොඳ දෙයක් ද? බොහෝ අය මසුරුකමත්, ප්‍රමාදයත් නිසා දන් දෙන්නේ නැහැ. නමුත් පින කැමැති කෙනා පිනේ ආනිශංස දන්න කෙනා දන් දෙනවා,

එවිට අනෙක් දේවතාවා පවසනවා නිදුකාණන් වහන්ස, සමහර දෙනා ටිකක් තිබෙද්දී දන් දෙනවා. නමුත් තවත් පිරිසක් සැප සම්පත් බොහෝ තිබෙද්දීත් දන් දෙන්නේ නැහැ. ටිකක් තිබෙද්දී දෙන දානය මහා දානයක් තරම් වටිනවා.

එවිට අනෙක් දෙවියා කියනවා නිදුකාණන් වහන්ස, දන්දීම හොඳ වගේම ටිකක් තිබෙද්දී දන් දීමත් හොඳයි. නමුත් ශ්‍රද්ධාවෙන් දන් දෙන එක තමයි වඩාත් හොඳ. ස්වාමිනී දන්දීම යුද්ධයක් කරනවා වගේ වැඩක්. බොහෝ මසුරු පුද්ගලයන් පරදවා සුළු දෙනෙක් තමයි මෙය හිතන්නේ. ශ්‍රද්ධාවෙන් දන් දෙන්නේ ටික දෙනෙක් පමණයි. ඒ නිසා යි ඔවුන් පරලොව සැප ලබන්නේ.

එවිට අනෙක් දෙවියෙක් මෙසේ කීවේ ය. නිදුකාණන් වහන්ස, දන් දීම හොඳ තමයි. ටිකක් තිබෙද්දී දන් දීම හොඳයි. ඒ වගේම ශ්‍රද්ධාවෙන් දන්දීමත් හොඳයි. එලෙසම ධාර්මිකව උපයා ගත් දෙයින් දන් දෙනවා නම් එය කෙ තරම් හොඳද? යමෙක් උත්සාහයෙන්, වීර්යයෙන් හරි හම්බ කරගත් දෙය ආර්යයන් වහන්සේට පූජා කරනවා නම් ඔහු නිරය ඉක්මවා දිව්‍ය ලෝකයට යනවා.

එවිට තව දෙවි කෙනෙක් පෙනී සිට කියනවා නිදුකාණන් වහන්ස, ‍ දන් දෙන එකත් , ටිකක් තිබෙද්දී දෙන එකත්, ශ්‍රද්ධාවෙන් දෙන එකත්, ධාර්මිකව උපයාගත් ‍දේ දෙන එකත් හොඳයි. ඒ වගේ ම විමසා බලා දන් දෙන එක වඩාත් හොඳයි. මේ සත්ත්ව ලෝකයේ දන්පැන් ලැබීමට තරම් සුදුසු වූ උතුමන් සිටිත් ද, උන්වහන්සේලාට දෙන දානය මහත්ඵල වෙනවා. එය හරියට සාරවත් කුඹුරක වී වැපිරීමක් වගෙයි. මේ ආකාරයට දන්දීම ගැන ප්‍රශංසා කළ දෙවියන් නැවත අසා සිටිනවා, භාග්‍යවතුන් වහන්ස, අප සැවොම දානය පිළිබඳව අදහස කියා සිටියා. අප අතරින් කවුරුන් කී දේ ද ඉතා යහපත් වන්නේ?

භාග්‍යවතුන් වහන්සේ වදාළා දෙවිවරුනි, ඔබ සියලු දෙනාම යහපත් දේ තමයි කියා සිටියේ. නමුත් මගේ වචනය අසන්න. ශ්‍රද්ධාවෙන් දන්දීම තමා හැම විටම ප්‍රශංසා ලබන්නේ. නමුත් දානයට වඩා ඒ අමා නිවන තමයි උතුම්. ඒ අතරින් ධර්ම දානය තමා උතුම් වන්නේ කියා වදාළ සේක.

ආදිත්ත සූත්‍රයේ දී බොහෝ දෙවියන් පිරිසක් භාග්‍යවතුන් වහන්‍සේ ඉදිරියේ පෙනී සිට මෙසේ අසා සිටියා.

ස්වාමිනි, ජීවිතය ගිනි ගත් ගෙයක් වගේ. ගෙයක් ගිනි ගනිද්දී යම් කෙනෙක් එහි තිබෙන භාගයක් ඒ ගින්නට හසු නොවීම පිණිස බැහැරට ගෙන යනවා ද එය ඔහුගේ පසුකාලීන ප්‍රයෝජනය පිණිස පවතියි. ඒ නිවසේ වෙනයම් දේ ඇද්ද ඒ සියල්ල ගින්නට දැවී යයි. ඒ කිසිවක් ප්‍රයෝජනය පිණිස නො පවතියි.

එසේම ලෝක ස්ත්වයා ජරා මරණයෙන්් ගිනි ගන්නා ලද්දේ ය. නමුත් ඒ ජරා මරණයෙන් ගිනි ගන්නා වූ ලෝක සත්ත්වයා ගෘහයෙන් යමක් බැහැර කරයිද ඒ වනාහි ඔහු විසින් දෙන ලද දානය යි. දෙන ලද දානයේ සුබඵල ලබා දෙන්නේ වෙයි.

නො දුන් දේ එසේ නොවේ. නො දුන් දේ සොරුන් ගන්නවා. රජුන් ගන්නවා. ගින්න දවනවා. නැති නම් තිබූ තැනම වනසී යනවා. එලෙසම ශරීරයත් මරණයෙන් හැර දමා යනවා. ඤාණවන්ත පුද්ගලයා මෙය දැනගෙන තමාද අනුභව කරයි. දීම ද කරයි. එලෙසම තම ශක්ති පමණින් දන් දී පීඩා රහිත ස්වර්ගයට පැමිණේ. මේ දෙවිවරු දකිනා ධර්මය යැයි දේවපුත්ත සංයුක්තයේ සඳහන් වෙයි.

ඒ වගේම කිංදද සූත්‍රයේ දී දෙවියන්ට ඇති වූ ප්‍රශ්නයක් මෙසේ අසා සිටියහ. භාග්‍යවතුන් වහන්ස, කුමක් දුන්නාම ද බලය දුන්නා වෙන්නේ? කුමක් දුන්විට ද හැඩරුව දුන්නා වෙන්නේ? කුමක් දුන් විටද සැපය දුන්නා වෙන්නේ? කුමක් දුන් විටද ඇස් දුන්නා වෙන්නේ?

භාග්‍යවතුන් වහන්සේ වදාළා දෙවි‍ය, දන්පැන් දුන් විටයි බලය දුන්නා වන්නේ. වස්ත්‍ර දුන් විට හැඩරුව දුන්නා වෙන්නේ. යාන වාහන දුන්විට සැප දුන්නා වෙනවා. ආලෝකය දුන් විට ඇස් දුන්නා වෙනවා. යම්, අයෙක් ගේ දොර දුන්නා නම් ඔහු හැම ‍දේ දුන්නා වෙනවා.

ඒ වගේම වාසුදත්ත කියන දෙවියා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ අසා සිටිනවා, ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, ආයුධයකින් පහර කෑ අයෙක් ඉක්මනට සුව වෙන්න මහන්සි වෙනවා මෙන් හිස ගිනි ගත් කෙනෙක් ඒ ගින්න නිවන්නට මහන්සි වෙනවා ‍මෙන්, භික්ෂුව කාමරාගය ප්‍රහාණය කරන වැඩපිළිවෙළ සම්පූර්ණ කරගන්න මහන්සි විය යුතුයි නේද?

භාග්‍යවතුන් වහන්සේ වදාළා දෙවිය, ආයුධයකින් පහර කෑ කෙනෙක් එය සුවපත් කරන්න මහන්සි ගන්නවා වගේ, හිස ගිනි ගත් අයෙක් ඒ ගින්න නිවීමට මහන්සි ගන්නවා වගේ භික්ෂුව වැඩිපුර මහන්සි ගත යුත්තේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීමට යි.

මේ ආකාරයට දේවතා සංයුත්තයේ දෙවියන් පිළිබඳව විස්තර වශයෙන් සඳහන් වන අතර දිව්‍ය ලෝක පිළිබඳ ඉගෙනීමට ද අපට අවස්ථාව ඇත.

  පොසොන් පුර    පසළොස්වක

ජූනි 24 බ්‍රහස් පූ.භා 03.32 පසළොස්වක ලබා 25 සිකුරා පූ.භා 00.09 ගෙවේ.
 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 24

Second Quarterඅව අටවක

ජූලි 01  

Full Moonඅමාවක

ජූලි 09

First Quarterපුර අටවක

ජූලි 18

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]