[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අපේ අනුබුදු මිහිඳු මාහිමියෝ...

අපේ අනුබුදු මිහිඳු මාහිමියෝ...

ථූපාරාම සෑ මලුවේ දී අකු ධාතූන් වහන්සේ යමාමහ පෙළහර පෑ දිනයේ දී ඇතුල් නුවරත්, පිට නුවරත් තිස් දහසක් දෙනා මිහිඳු මහරහතන් වහන්සේගෙන් උතුම් පැවිදි බව ලබා ගත්හ. මෙසේ ලක්දිව මහ රහත් පරපුරක් බිහිකොට කසාවතින් බබුළුවන්නට සියලු මාවත් විවිර කළෝ අපගේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ම ය.

ලංකාද්වීපය කෙරෙහි හිතානුකම්පී වූ අපගේ ශාක්‍ය මුනීන්ද්‍රයාණන් වහන්සේ විසින් පිරිනිවන්පානා අවස්ථාවෙහි ලංකාදීප ප්‍රසාදක ගුණයෙන් යුතු මිහිඳු මාහිමියන් ගැන වදාළ සේක. ලක්දිවට ශාස්තෘන් වහන්සේ බඳු අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවැසි දෙවියන්ගෙන් පිදුම් ලබමින් ලංකාවාසීන්ගේ යහපත උදෙසා මෙහි වැඩි සේක. එවිට අප භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පා දෙසිය තිස්හය වැනි වර්ෂයයි.

“මහරජුනි, අපි ධර්මරාජයාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ශ්‍රමණයෝ වෙමු.

ඔබ කෙරෙහි අනුකම්පාවෙන්ම දඹදිව සිට මෙහි පැමිණියෙමු.” කියා දේවානම්පියතිස්ස රජුට තමන් හඳුන්වා දුන් මිහිඳු මාහිමියන් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනාකොට රජු ඇතුළු පිරිස සරණ සීලයෙහි පිහිටවූ සේක. ගෞතම සම්බුද්ධ සංදේශය ලක්දිවට දායාද කරමින් ඇරඹි ධර්ම ප්‍රචාරය කෙතරම් සාර්ථක වී ද යත් සතියක් ඇතුළත මගඵලලාභීන් අටදහස් පන්සියයක් ලක්දිවින් බිහිවූහ.

මිනිසුන් අධර්මයෙන් මුදවා ධර්මයට පමුණුවාලීමේ දී අපගේ ශාස්තෘන් වහන්සේ හා සමාන වූ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාදීපයේ සම්බුදු සසුන පිහිටුවීමේ ඒකායන අදහසින් යුක්ත වූහ.

දේවානම්පියතිස්ස රජුගේ මැදුරේදීත්, රාජකීය ඇත්ගාලේදීත්, ලංකාවාසීන් කතා කරන දීප භාෂාවෙන් ම ධර්මය වදාළහ. අප මාතෘ භූමියට පිළිසරණ වූ උන්වහන්සේ ලංකාවාසීන්ට සද්ධර්ම මාර්ගයේ බැස ගන්නට මඟ හසර විවර කළ උත්තම කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ය. තමන් වහන්සේගේ උතුම් ගතිගුණ නිසා මහත් කීර්තියට පත්වූ මිහිඳු මහරහතන් වහන්සේ ගැනත්, උන්වහන්සේගේ ශිෂ්‍ය වූ රහත් භික්ෂූන් වහන්සේලාගේ ගුණවත්කම් ගැනත් බොහෝ පැහැදී උන්වහන්සේලා වෙත පැමිණ ගෞරවාදර දැක්වූ දෙවියෝත්, මිනිස්සුත් බොහෝ පින් රැස්කර ගත්හ.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද යන උතුම් බුද්ධ ශාසනය ඉතා යහපත් ලෙස ලක්දිව බැබළවූ සේක. ත්‍රිපිටක ධර්මය කටපාඩම් කරවීම ආදියෙන් භාණක පරම්පරාව බිහිකොට සම්බුදු සසුන චිරස්ථායී කළ සේක. මහා සඟ පිරිවරකින් යුක්තව ලක්දිවට මහත් පිහිටක් සලසා දුන් සේක. ලක්දිවට ශාස්තෘන් වහන්සේ නමක් හා සමාන ව දෙවි මිනිසුන්ට යහපත පිණිස බොහෝ කටයුතු සිදුකළහ.

මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩමකළ පසු දෙවනපෑතිස් රජුගේ අනුග්‍රහයෙන් මුලින්ම ඉදිකරවන ලද්දේ මහමෙව්නා උයනේ මහා විහාරයයි. දෙවනුව කරවන ලද්දේ මිහින්තලයේ චේතියගිරි විහාරයයි. තුන්වෙනුව කරවන ලද්දේ සුන්දර වූ ස්ථූපය මුල් කොටගත් ථූපාරාමයයි. හතරවැනි ව කරවන ලද්දේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටුවාලීමයි. පස් වෙනුව රුවන්වැලි මහා සෑය පිහිටුවන සැලැස්ම මනාව පිළියෙළ කොට මහා සෑය පිහිටන ස්ථානයේ ඒ බව සඳහන්කොට රජතුමා ලවා ගල්ටැඹ පිහිටවූහ.

මේ සියලු ශාසනික දායාදයන් ලබා දීමට මුල්වී ක්‍රියා කළේ, අනුශාසකත්වය සැපයූවේ අපගේ අනුබුදු මිහිදු මාහිමියන් ය.

අප භාග්‍යවතුන් වහන්සේ දන් වැළඳූ ශ්‍රී සම්බුද්ධ පාත්‍රයට සර්වඥ ධාතූන් වහන්සේලා පුරවා සුමන සාමණේර රහතන් වහන්සේ ලවා ලක්දිවට වැඩම කරවීමට මඟ සැලසුවේ ද මිහිඳු මහරහතන් වහන්සේම ය. දෙවනපෑතිස් රජතුමා මහත් ශ්‍රද්ධාවෙන් එම ධාතූන් වහන්සේලා වඩා හිඳුවා ලංකාදීපය පුරාවට යොදුනක් යොදුනක් පාසා වෙහෙර විහාර කරවී ය. එමෙන්ම අප භාග්‍යවතුන් වහන්සේගේ අකු ධාතූන් වහන්සේ තව්තිසා දෙව් ලොවින් සුමන සාමණේරයන් ලවා වැඩමවා මහා පෙළහර මැද ථූපාරාම සෑ රජාණන් වහන්සේ තුළ මහත් ගෞරවයෙන් වඩාහිඳවූයේ ද මිහිඳු මාහිමියන් ම ය.

තම ගිහි කල නැඟණිය වූ සංඝමිත්තා රහත් තෙරණිය ලවා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වැඩමවා මහත් හරසර මැද මහමෙව්නා උයනේ රෝපණය කරවූයේ ද අප කෙරෙහි මහත් දයා සිතැති උන්වහන්සේ ම ය.

ලක්දිව පළමු වස්කාලය ගත කිරීමට පෙර “වස් වැසීම” යනු කුමක්දැයි දෙවනපෑතිස් රජු හට පහදා දෙමින් මිහිඳු මාහිමියන් මහාවග්ග පාලියේ වස්සූපනායිකක්ඛන්ධකය දේශනාකළ සේක. එයට සවන්දුන් මහා අරිට්ඨ ඇමතිතුමා තම වැඩිමහලු බාල සහෝදරයන් පනස්පස් දෙනාත් සමඟින් මිහිදු මහරහතන් වහන්සේ සමීපයේ උතුම් පැවිදිබව ලබා ගත්හ. සසරේ රැස් කළ පිනෙන් මහා ප්‍රඥාවන්ත වූ ඒ සියලුදෙනාම පැවිද්ද පිණිස කෙස් රැවුල් බා අවසන් වනවාත් සමඟම උතුම් අරහත්වය සාක්ෂාත් කළහ.

අරිට්ඨ මහරහතන් වහන්සේ ප්‍රමුඛ එම සිංහල මහරහතන් වහන්සේලා ලවා ථූපාරාම සෑ මලුවේ දී විනය සංගායනාවක් කොට ගෞතම සම්බුදු සසුන ලක්දිව මුල් බැස ගන්නට සියලු කටයුතු සම්පාදනය කළේ ද දීපප්පසාදක පරම කල්‍යාණ මිත්‍ර මිහිඳු මහරහතන් වහන්සේ ම ය.

අප මිහිඳු මහරහතන් වහන්සේ සමීපයෙහි ඉසුරුමත් ක්ෂත්‍රිය කුලයේ පන්සියයක් කුමාරවරු පැවිදිව වාසය කළ තැන කරවූ විහාරය “ඉසුරුමුණිය” නම් විය.

වෛශ්‍ය හෙවත් වෙළෙඳ කුලයෙන් ආ පන්සියයක් දෙනා මිහිඳු මාහිමියන් සමීපයේ පැවිදිව වාසය කළ ස්ථානයේ ඉදිවූ විහාරය “වෙස්සගිරිය” නම් විය.

ථූපාරාම සෑ මලුවේ දී අකු ධාතූන් වහන්සේ යමාමහ පෙළහර පෑ දිනයේ දී ඇතුල් නුවරත්, පිට නුවරත් තිස්දහසක් දෙනා මිහිඳු මහරහතන් වහන්සේගෙන් උතුම් පැවිදිබව ලබා ගත්හ.

මෙසේ ලක්දිව මහ රහත් පරපුරක් බිහිකොට කසාවතින් බබුළුවන්නට සියලු මාවත් විවිර කළෝ අපගේ අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේ ම ය.

දෙවනපෑතිස් රජුගේ සහෝදරයාගේ බිරිඳ වූ අනුලා දේවිය ද, ඇයගේ පරිවාර කන්‍යාවන් පන්සිය දෙනා ද මිහිඳු මහරහතන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කොට දහම් ඇස පහළ කර ගත්හ. ඔවුහු දසසිල් සමාදන් ව, කසාවත් පොරවාගෙන, පිරිසිදු පැවිදි බව අපේක්ෂාවෙන්, ධර්ම මාර්ගය පුහුණු වෙමින් උපාසිකා විහාරයෙහි වාසය කළහ.

මිහිඳු මහ රහතන් වහන්සේ ධර්මාශෝක රජුට අරිට්ඨ ඇමතිතුමා අත සන්දේශයක් යවා සංඝමිත්තා තෙරණිය ද, ජය ශ්‍රී මහා බෝධි දක්ෂිණ ශාඛාව ද මෙරටට වැඩම වීමට මඟ සැලැස්වූ සේක. අනුලා බිසව ප්‍රධාන පිරිසට පැවිදි උපසම්පදාව ලබාදී ලක්දිව කතුන්ට ද විමුක්තියේ ද්වාරය විවර කළෝ මිහිඳු මාහිමියන් ම ය.

මිහිඳු මහරහතන් වහන්සේ ලක් දිවට වැඩමවූ මුල් සතියේ දී ම විමානවත්ථු, පේතවත්ථු දේශනා වලින් පිනෙහි විපාකයත්, අකුසලයේ ආදීනවත් මෙරට වැසියන්ට මැනවින් පහදා දුන්හ.

අනමතග්ග සංයුක්තයේ දේශනා තුළින් සසරේ දුක්ඛිත බවත්, බිහිසුණු බවත් පෙන්වාදී, සච්ච සංයුක්තයෙන් දහම් දෙසා චතුරාර්ය සත්‍යය අවබෝධයේ වැදගත්කම පෙන්වාදුන් සේක.

මිහිඳු මහරහතන් වහන්සේ වදාළ උතුම් සම්බුදු දෙසුම් වූ ඛජ්ජනීය සූත්‍රය, ගෝමයපිණ්ඩූපම සූත්‍රය, දම්සක් පැවතුම් සූත්‍රය ආදී දේශනා තුළින් දහස් ගණන් මගඵලලාභීන් ලක්දිවින් බිහිවූහ. මෙසේ බුදු සසුන බැබැළවූ මිහිඳු මහරහතන් වහන්සේ භික්ෂු - භික්ෂුණී, උපාසක -උපාසිකා යන සිව්වණක් ශ්‍රාවක පිරිසෙන් සුසැදි බුද්ධ රාජ්‍යයක් බවට මේ ලක්දිව පත් කළ සේක. යක්ෂ, නාග ආදී අමනුෂ්‍යයන් ඇදහූ දේශයක් තෙරුවන් සරණගත සිල්ගුණදම් වඩන දේශයක් බවට පත් කළ සේක.

යළි දඹදිවට නොවැඩ ලක්වාසීන් උදෙසා ම හතළිස් අට වසරක් මහත් මෙත් සිතින් කැපවූ , අපහට සියලු ශාසනික දායාද ලබාදුන් මිහිඳු මහ රහතන් වහන්සේ අසූවන වියෙහි දී මිහින්තලේ සෑගිරි වෙහෙරෙහි පිරිනිවන් පා වදාළ සේක. වප් මාසයේ පුර පක්ෂයේ අටවක දා උන්වහන්සේ පිරිනිවන් පෑ නිසා, එම දිනය “ශ්‍රී මිහිඳු පුර අටවක” යනුවෙන් සම්මත විය. භාග්‍යවතුන් වහන්සේගේ ළය මඬලෙන් උපන් ලංකාද්වීපයේ සම්බුදු සසුන බබුළුවා ලූ, අපහට අනුබුදු රුවන බඳු වූ දීපප්පසාදක මිහිඳු මහ රහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!

  පොසොන් පුර    පසළොස්වක

ජූනි 24 බ්‍රහස් පූ.භා 03.32 පසළොස්වක ලබා 25 සිකුරා පූ.භා 00.09 ගෙවේ.
 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 24

Second Quarterඅව අටවක

ජූලි 01  

Full Moonඅමාවක

ජූලි 09

First Quarterපුර අටවක

ජූලි 18

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]