[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුක සේ ලැබිය යුතු මිනිසත්බව

දුක සේ ලැබිය යුතු මිනිසත්බව
 


මෙම දීර්ඝ වූ සසර ගමන තුළ අවයවයන්ගේ විකල බවක් නොමැතිව මිනිස් සිරුරක් ලැබීම ඉතා අපහසු කරුණකි. සීසෑම්, වෙළදාම් කිරීම් ආදී නොයෙක් කම්කටොලු විඳිය යුතු බැවින් ද, ජරාවෙන් පෙළෙන බැවින් හා මඳ කලක් පවත්නා බැවින් දිවි පැවැත්ම ද ඉතා දුෂ්කර ය. කප්කෙළ සුවහස් ගණනකිනුදු සදහම් දන්නකු හෝ දෙසන්නකු නො ලද හැකි බැවින් සදහම් ඇසීම ද දුලබ ය.

බුදුවරයන්ගේ ලොව පහළවීම කප්කෙළ සුවහස් ගණනකිනුදු සිදු නොවන බැවින් බුදු උපත ද ඉතා දුර්ලභ ය. එසේම මෙම සියලු දුර්ලභ කාරණා මනාව බැඳී පවතිනුයේ මනුෂ්‍ය ලෝකය හා සම්බන්ධ ව බැවින් මනුසත් ආත්ම භාවයක් ලබා ගැනීම ලොව පවත්නා අතිශය දුර්ලභ ම කාරණාව වේ.

එබැවින් එවැනි උතුම් මිනිසත් බවක් ලැබීම කණකැස්බෑවකු වියදඬු සිදුරෙන් අහස බැලීමටත් වඩා ඉතා දුෂ්කර කාර්යයකි.

මහ මුහුදෙහි දැමූ වියදඬුව සිව් දිශාවෙන් හමන සුළඟින් ඒ ඒ දිසාවට ගෙන යයි. මහ මුහුද පත්ලෙහි වෙසෙන කණ කැස්බෑවා අහස බලනුයේ අවුරුදු සිය ගණනකට පසුව වන අතර, සතර දිශාවට සුළඟේ වේගයෙන් ගෙන යනු ලබන එම වියදඬුවෙහි සිදුරින් අහස බැලීමට ඒ කණකැස්බෑවාගේ ඇසට එල්ලවීම යම් සේ දුෂ්කර වේ ද, එයටත් වඩා මිනිසත් බව ලැබීම වනාහී සසර ගමන තුළ ලැබිය හැකි ඉතාමත් දුෂ්කර ම මෙන්ම, දුර්ලභම කාර්යය වන්නේ ය.

කාමසුගති භූමි වශයෙන් සැලකෙනුයේ චාතුර්මාහාරාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මානරතිය, පරනිම්මිත වසවර්තිය සහ මනුෂ්‍යය ලෝකය යන සප්තවිධ කාම ස්වර්ගයයි. මිනිස් ලොව පරමායුෂ ඇතැම් කල්පවල අවුරුදු ලක්‍ෂය දක්වා වර්ධනය වන බවත්, එහෙත් එය වර්තමානයේ එකසිය විස්සක් වූ පරමායුෂයට අවරෝහණය වී ඇති බවත් පෙනේ. එම ආයුෂ ප්‍රමාණය ද තවදුරටත් ක්‍රමක්‍රමයෙන් නොනවත්වා ම අඩුවෙමින් පවතිනු දැකිය හැකි ය.

එක් අවස්ථාවක දී දෙව්ලොව සියලු දෙවියන්ට අධිපති ශක්‍රදේවේන්ද්‍රයා තම රථාචාර්ය වන මාතලී දිව්‍ය පුත්‍රයා සමඟ ගමන් කරන අවස්ථාවක දී පෘථිවිය දෙසට හැරී තෙවරක් නමස්කාර කළේ ය. එවිට එයට හේතුව විමසූ කල්හි ශක්‍ර දේවේන්ද්‍රයා මාතලී දෙව් පුතු අමතා ප්‍රකාශ කරනු ලැබුවේ,

“යේ ගහට්ඨා පුඤ්ඤකරා - සීලවන්තා උපාසකා

ධම්මේන ලද්දං පෝසෙන්ති - තං නමස්සන්ති මාතලි” යනුවෙනි.

පූර්වෝක්ත ගාථා ධර්මයට අනුව එසේ නමස්කාර කොට ඇත්තේ මිනිස් ලොව බොහෝ ලෙස පින්දහම් කරන, එසේම ධර්මානුකූල ව ජීවත් වන මනුෂ්‍යයන්ට මිස වෙන කිසිවකුටත් නොවන බව එහි සඳහන් වේ.

මේ අනුව දෙවියන්ට පවා පින් අනුමෝදන් වියහැකි නමුත්, කාමාවචර කුසල් දහම් කිරීමේ හැකියාව ඇත්තේ ද මනුලොව උපන් මිනිසුන්ට පමණී.එසේම බුදු, පසේබුදු, මහරහත් යන තුන්තරා බෝධියට පත්වන්නේ ද මිනිස් ලොව උපන් මනුෂ්‍යයකු මිස දෙව්ලොව උපන් දෙවියකු නොවේ.

ඒ නිසාම තථාගත ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ද බෝසත් අවදියෙහි කිඹුල්වත් නුවර උපත ලබා උතුම් බුද්ධත්වය අවබෝධ කිරීමට පෙර වැඩ සිටියේ තුසිත දෙව් ලොව සන්තුසිත නම් දිව්‍ය පුත්‍රයා වශයෙනි.

එහෙත් දිව්‍ය ආත්මයේ දී බුදුවිය නොහැකි වන අතර, මිනිස් ආත්මභාවයක් ඒ සඳහා ලැබිය යුතුම වේ. ඒ ලබන්නාවූ මිනිස් ආත්මය පුරුෂයෙක් ව ඉපදීම ද, එසේම එම පුරුෂ තෙම පැවිද්දෙක් විය යුතු බව ද අභිනීහාරය සමෘද්ධ වීමට හේතුවන කරුණු අතර ප්‍රධානතම කරුණු ය.

“මනුස්සත්තං ලිංග සම්පත්ති - හේතු සත්ථාර දස්සනං

පබ්බජ්ජා ගුණ සම්පත්ති අධිකාරෝ ච ඡන්දතා” යන ගාථාවෙන් එය පැහැදිලි වේ.

දෙවිවරු දිව්‍ය ලෝකයෙන් චුත වීමට ආසන්න අවස්ථාවේ එසේ චුතවීමට ආසන්න දෙවියන් කැඳවාගෙන ගොස්, දෙව්ලොව නන්දන නම් උද්‍යානයට සියලු දෙනා රැස්ව ඒ දෙවිඳු වටකරගෙන “මෙයින් චුතව ගොස් සුගතියෙහි උපත ලබා දුර්ලභ මිනිසත් ආත්ම භාවයක් ලබමින් ධාර්මිකව ජීවත් වී පින් දහම් කරනු මැනවි” යනුවෙන් මෙවැනි අනුමෝදනාවක් කරති.

දිව්‍ය ලෝකයේ වාසය කරන දෙවියන් පෙන්වන මෙන්ම හඳුන්වා දෙනු ලබන සුගතිය වනාහී මෙම මනුෂ්‍ය ලෝකය බව ඉන් පැහැදිලි වේ.

දෙව් ලොවින් චුතවන බොහෝ දෙවිවරු එයින් චුතව නැවත උපත ලබනුයේ වැඩි වශයෙන්ම මෙම මනුෂ්‍ය ලෝකයේ වන බැවින්ද, දෙවියන්ට පවා සිදුකළ නොහැකි ලෙස මහත් දන් පින්කම් ආදි කුසල කර්ම කිරීමට හැකියාව ඇති බැවින්ද, එසේම තුන් ලොවටම උතුම් වූ බුදු පදවිය ලබාගත හැකි එකම ස්ථානය වන බැවින් ද දෙවිවරු මනුෂ්‍යය ලෝකය මෙසේ සුගතියක් යැයි සලකති.

දෙවියන් වනාහි ඕපපාතික ව පහළවන අතර, නියමිත කාල සීමාවක සිට ඉන් චුත වී මිනිස් ලොව හෝ වෙනත් සත්වයකු වී හෝ නැවත උපත ලබයි.පෘථිවි වර්ෂ ගණන්වලින් දින හතකට මත්තෙන් චුතවන පෙර නිමිති පමණක් පහළ වෙතැයි අටුවාව කියයි.

එසේම ඉහත සඳහන් මෙම දිව්‍ය ලෝකයන්හි කාල නිර්ණය කර ඇත්තේ පෘථිවි වර්ෂවලින් වන අතර චාතුර්මහා රාජිකයෙහි දිනයක් යනු පෘථිවි වර්ෂ 50 කි. තාවතිංසයෙහි එක් දිනයක් පෘථිවි වර්ෂ 100 කි. පෘථිවි වර්ෂ 200 ක් යාමය දෙව් ලොවෙහි එක් දිනයකි. තුසිතයෙහි එක් දිනක් පෘථිවි වර්ෂ 400 කි. පෘථිවි වර්ෂ 800 ක් නිම්මාණරතියෙහි එක් දිනයකි. පරනිම්මිත වසවත්තියෙහි එක් දිනක් යනු පෘථිවි වර්ෂ 1600 කි. ඒ අනුව,සදිව්‍ය ලෝක තුළ මිනිස් ලොවට සාපේක්‍ෂ ව ආයුෂ කෙබඳු වන්නේ ද යන්න අවබෝධ කරවීම කෙරෙහි පහත දැක්වෙන කථා පුවත ඒ සඳහා මහත් ආලෝකයක් සපයයි.

සැවැත් නුවර එක් කුල ගෙයක උපන්නා වූ එක් ළදැරියකට පෙර ජාති සිහිකරන නුවණ පහළ විය. පසුව දෙවඟනක් ව සිට මිනිස් අඟනක් ව උපන් බව දැනගත් ඇය තව්තිසා දෙව් ලෝ වැසි මාලාභාරි දෙවියන්ගේ දහසක් දෙවඟනන් අතුරෙන් කෙනෙකි.

දිනක් ඒ දෙවිහූ දහසක් දිව්‍යාංගනාවන් පිරිවරා මල් නෙළනු සඳහා උයනට පිවිසියහ. ඒ අතරින් මැයගේ පින් ගෙවී ආයූෂ ගෙවුණු බැවින් මල් උයනෙහිම දමා මෙසේ සැවැත් නුවර කුල ගෙයක දියණියක් ව ඉපදුණි. පසුව තමා තව්තිසා දෙව්ලොව සිට පැමිණි බවත්, එසේම මාලාභාරි දිව්‍ය පුත්‍රයා තම ස්වාමියා බවත් දැනගත් ඇය එතැන් පටන් සැදැහැයෙන් යුතුව මල් පහන් පුදා එම දෙව්පුත් අභියසම නැවත ඉපදීමට නිරන්තරයෙන් ප්‍රාර්ථනා කළා ය. එනිසාම ඇය පතිපූජිතා යන නමින් ද ප්‍රසිද්ධ විය.

පතිපූජිතාව සඟ උවටැන් නිරතුරුව ම කළ අතර හැමදීම්, අසුන් පනවා තැබීම්, පැන් පෙරා තැබීම්, දන් පිළියෙල කිරීම් මනාව කරනු ලැබී ය. එසේම පුත් කුමාරවරු සිව් දෙනකු ලැබූ ඇය හදිසියේ හටගැනුණු රෝගයකින් මියගොස් තව්තිසා දෙව්ලොව මාලාභාරී දෙව්පුත් අභියසම නැවත ඉපදුණි. එතෙක් උදෑසන පැමිණි දෙව්ලොව මල් නෙළන දෙවඟනෝ මල් නෙළති. මල් පළඳවන දෙවඟනෝ මල් පළඳවති. මිනිස් ලොවින් අවුරුදු සියයක් තව්තිසා වැසි දෙවියනට එක් දවසක් බැවින් අවුරුදු සියයක් මිනිස් ලොව සිටියත් ඒ දෙවියනට එය එක් දවසකි. එබැවින් පතිපූජිතාව මිනිස් ලොව ඉපිද විසූ කාලය දෙව්ලොවට ඇසිල්ලක් බදු කාලයකි. එනිසා ඒ දෙවඟනගේ චුතවීම හා පහළවීම පිළිබඳ ඇසුරු කළ දෙව් පිරිසට දැනගත නොහැකි විය. සඟ උවටැනෙහි ළැදිව සිටි ඒ කුළඟනගේ මරණය බුදු රදුන්ට සැළවීමෙන් ඒ නිමිති කොටගෙන,“පස්කම්හි ඉතා ගිජුව ඇලුණු මිනිසා එහි සෑහීමකට නොපැමිණීම මරු වසඟ කරන්නේ ය”යැයි දහම් දෙසූහ.

මේ අනුව මෙසේ අතිශයින් දුර්ලභ ව ලැබිය යුතු මිනිසත් ආත්මයක් ලබා ඇති අප සෑම දෙනා ද එහි වටිනාකම හා වැදගත්කම මනා ලෙස අවබෝධ කොටගෙන මෙලොව යහපත් ව ජීවත්වීමට නිරතුරුව ම උත්සාහ කරමු.

  වෙසක් අමාවක 

ජුනි 09 බදාදා අ.භා 13.58 අමාවක ලබා 10 බ්‍රහස් අ.භා 16.22 ගෙවේ.
 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 09

First Quarterපුර අටවක

ජුනි 18

Full Moonපසළොස්වක

ජුනි 24

Second Quarterඅව අටවක

ජූලි 01  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]