[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බක් පුර අටවක 2021.04.20

පසුතැවෙන දෙය නොකරන්න

අනුවණකම නිසා කයින් වචනයෙන් තමන් විසින් ම කරනු ලබන විපත්තීන් දැක අපේ පැරැන්නෝ කීවේ පනින්න පෙර සිතා බලන ලෙසට ය. සරල වදන් පෙළක් ගොනු කළ කියමනක් වුව උපදේශයේ වටිනාකම නම් මිල කළ නොහැකි ය. කුඩා දරුවාගේ පටන් තරුණ, වැඩිහිටි, වයෝවෘද්ධ පිරිස් දක්වා සියල්ලන්ට ම සිතා බලා කටයුතු කිරීමේ වැදගත්කමය මෙයින් හැඟවන්නේ.

මොන තරම් අසා දැන තිබුණ ද බොහෝ දෙනෙක් පුරුදු ව සිටින්නේ නම් සිතන්නට පෙර පනින්නටය. සරල ව කියනවා නම් දුරදක්නා නුවණින් කටයුතු නොකිරීම ය. පවුල් පසුබිමේ සිට, රැකියා ආයතන, ගොවිබිම්, වැඩබිම් තුළ සමාජය තුළ අප ඇස ගැටෙන කන වැකෙන බොහෝ අනර්ථවත් සිදුවීම් එහි ප්‍රතිඵල ය. අශ්වයා ගියාට පසු ඉස්තාලය වසා පළක් නොවන්නේ ය. අපගේ ක්‍රියාකාරකම් නිසා වන විපත්, කරදර, කනගාටුදායක සිදුවීම් හමුවේ හඬා වැළපීමෙන් ඇති පලය කුමක් ද? සිදුවූ දේ නැවත නිවැරැදි කළ නොහැකි ය. යමක් කරන්නට කියන්නට පෙර සිතා බැලිය යුතු එහෙයිනි.

මිනිසත් බව දුර්ලභව ලබාගත හැකි සම්පතක් බව, ඉතා අසීරු කාර්යයක් බව බෞද්ධයාට අමුතුවෙන් කියා දිය යුතු නැත. ඒ මිනිසත් බව නොමිනිස් ක්‍රියාවන්ගෙන් පහත් තැනකට ඇද නොදමා වටිනාකමක් දෙන තැනට මනැස මෙහෙයවීම ය අප විසින් කළ යුතු වන්නේ. මේ ජීවිතයත්, පරලොව ජීවිතයත් ජය ගත හැකි වන්නේ එවිටය.

ජීවිතයට නිසි මඟ පෙන්වන මාහැඟි සදූපදේශයන්ගෙන් අනූන අපූර්ව අත්පොතක් බෞද්ධයන් ලෙස අප සතුව ඇත. ඒ ධම්මපදය නම් හස්තසාර ග්‍රන්ථයයි. එය කුඩා දරුවාගේ සිට සියල්ලන් විසින් පරිහරණය කොට ජීවිතයට ප්‍රායෝගික කරගත යුත්තකි.

බුදුරජාණන් වහන්සේ ධම්ම පදයේ දී අපගේ අනුවණකම් අත්හරින ලෙස අනුශාසනා කොට ඇත. බෞද්ධ ධර්ම මාර්ගයේ ගමන් කරන්නකු නම් ඒ අවවාද, අනුශාසනා ජීවිතයට ආලෝකයක් කරගත යුතුම ය.

උන්වහන්සේ එක් අවස්ථාවක මෙසේ දේශනා කොට වදාළහ.

නතං කම්මං කතං සාධු - යං කත්වා අනුතප්පති
යස්ස අස්සුමුඛො රොදං - විපාකං පටිසේවතී

යම් දෙයක් කොට පසු තැවෙන්නට වේ ද, යම් දෙයක විපාකය කඳුළු පිරි මුහුණින් යුතුව, හඬමින් විඳින්නට සිදුවේ ද එබඳු පාප කර්ම නොකිරීම යහපත් බවය එහි අර්ථය වන්නේ.

සිතා නොබලා කටයුතු කිරීම නිසා ජීවිත කාලයම හඬා වැටෙන, පසුතැවෙන අය මොන තරම් ද? කෙනෙක් සිය දිවි හානි කර ගන්නේ ද එවැනි ක්‍රියාවන්ගේ ප්‍රතිඵල ලෙස ය.

පුද්ගලයා අයහපතට යොමු වන්නේ තණ්හාව, ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය ආදී සිතිවිලි නිසාය. එහිදී තමන් කරන කියන කුදු මහත් සියලු දැයෙහි වරද නොපෙනේ. එහෙයින් අලෝභ, අද්වේෂ, අමෝහ ද, සිතිවිලිවලින් සිත පිරිසුදු කර ගැනීම අත්‍යවශ්‍ය ය.

අධ්‍යාපනය කඩාකප්පල් කරගැනීම, මත් ද්‍රව්‍ය භාවිතය, සොරකම, වංචාව, දූෂණය, අඹු සැමියන් අතර ගැටුම්, ආදී කොට අනේකවිධ අනර්ථයන් සමාජය තුළ විද්‍යාමාන වනුයේ සිතා නොබලා කටයුතු කිරීම නිසාය.

කෙනෙක් තාවකාලික සතුට, ලාබය සොයා කරන ක්‍රියාවන් ඇතැම්විට සමාජයක් හඬවන විනාශය උදාකර දිය හැකිය. අද අපට අසන්න දකින්නට ලැබෙන ඇතැම් විෂ සහිත ආහාර එහි එක් ප්‍රතිඵලයකි. පුංචි දරුවාගේ පටන් ජීවිත ලෙඩ කරවන මෙවැනි අයහපත්කම් තුළ විනාශ වන්නේ පරිභෝග කරන පුද්ගලයා පමණක් නොවේ. ඊට සම්බන්ධ වූවන් ද පරිහානියට පත්වේ.

යහපත් ජීවනෝපාය විධි හා චර්යාධර්ම තුළ කිසිවකුගේ ජීවිතයට කඳුළක් එක් වන්නේ නැත. බෞද්ධයා උත්සාහ කළයුතු එවැනි ගුණ ඇති උතුම් මිනිසුන් වීමට ය.

  බක් පුර අටවක 

 අප්‍රේල් 20 අඟහරුවාදා පූර්ව භාග 00.01 පුර අටවක ලබා 21 බදාදා පූර්වභාග 00.43 ගෙවේ. අඟහරුවාදා සිල්.
 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 20

Full Moonපසළොස්වක

අප්‍රේල් 26

Second Quarterඅව අටවක

මැයි 03  

Full Moonඅමාවක

මැයි 10


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]