[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

මැදින් අමාවක 2021.04.11

සංවරකම ආභරණයකි

ගත සැරසීමට බොහෝ දෙනෙක් විවිධාකාරයේ ආභරණ පළඳිති. විවිධ මෝස්තරයේ ඇඳුමෙන් සැරසෙති. අන්‍යයන්ගේ ආකර්ෂණය දිනා ගන්නට, සමාජයේ කැපී පෙනෙන්නට, ලස්සනට ඉන්නට මෙසේ ශරීරය සැරසුව ද සැබෑ අලංකාරය, බැබළීම ඇත්තේ එවන් භෞතික දේ තුළ නොවේ. ජීවිතය සරසන, එහෙත් කිසිදු වියදමකින් තොරව සෑම දෙනාටම එකසේ භාවිත කළ හැකි අපූර්ව ආභරණයක් ඇත. ඒ සංවරකම ය.

කතා බහ, ගමන බිමන, කෑම බීම ආදී සෑම ජීවන චර්යාවක දී ම සංවරව හැසිරෙන්නේ නම් ඒ තැනැත්තා ආයාසයකින් තොරවම සමාජයේ බැබළීමට පත්වේ. තමන්ගේ ජීවිතයට ද අර්ථයක් එක්කර ගන්නෙක් බවට පත්වේ. අප තථාගතයන් වහන්සේ ධම්මපදයේ දී දේශනා කොට වදාළේ,

“යස්සින්ද්‍රියානි සමථං ගතානි
අස්සා යතා සාරථිනා සුදන්තා
පහීනමානස්ස අනාසවස්ස
දෙවාපි තස්ස පිහයන්ති තාදිනො

දක්ෂ රියදුරෙක් විසින් මනාව හික්මවන ලද අසුන් මෙන්, යම් පුද්ගලයකුගේ ඉන්ද්‍රියයන් සංසිඳුණේ ද, මානය දුරු කළ, ආශ්‍රව ප්‍රහීණ කළ, අටලෝ දහමෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති බව ය.

මෙවන් ස්වභාවයන්ගෙන් පූර්ණ වන්නේ රහතුන් වහන්සේ ය. එහෙත් නිවන් මඟ දුර වුව ද, ඒ ගමන සොයා යන ගිහියාට ද තම ජීවිතයට සංවරකම අත්‍යවශ්‍ය ය.

දෙවියන්ට පි‍්‍රය වන්නට, දෙවියන්ගේ රැකවරණය ලබන්නට අපි බොහෝ දේ කරමු. ඇතැමෙක් දෙවියන් වෙනුවෙන් පුද පූජා තබති. බාරහාර වෙති. එහෙත් දේවාශිර්වාදය ලබන මඟ නම් ඉහත කී අයුරු ජීවිතය හසුරුවා ගැනීම ය. එවැනි පුද්ගලයා දෙවියන්ට සේ ම මිනිසුන්ට ද පි‍්‍රය ය.

එහෙත් අද බොහෝ දෙනකුට සංවරකම අමතක ය.

ඇතැම් තැනෙක මව්පිය දූදරුවන් අතර යහපත් සන්නිවේදනයක් නැත. ඇඳුම් පැළඳුම් භාවිත කළ යුතු විළි වසා ගන්නට වුව ද විශේෂයෙන් ඇතැම් කාන්තාවන්ට එය අගෝචර වී ඇති සැටියෙකි දකින්නට ලැබෙන්නේ. සමහරෙක් සමාජයේ ආකර්ෂණය දිනා ගන්නට උත්සාහ කරන්නේ දර දඬුකම්වලිනි. ඉන්ද්‍රිය සංවරයෙන් තොරව පුරුදු වූ ඇබ්බැහිකම් වන මත්ද්‍රව්‍ය ආදිය භාවිතය තුළ ඇතැම් වැඩිහිටියන්ගේ සේ ම තරුණ දරුවන්ගේ ජීවිත ද විනාශයට පත්ව ඇත. මහ මඟ දී බොහෝ පදිකයන්ට සේ ම රියදුරන්ට ද සංවරකම අමතක ය. රිය අනතුරු නිසා දිනකට සිදුවන මරණ ගණන මොන තරම්ද?

වර්තමානයේ කොරෝනා වසංගත උවදුරත් සමඟ සෞඛ්‍ය අංශ හා රජය මඟින් නිරන්තරයෙන් ජනතාව දැනුම්වත් කරන්නේ නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිත කරන ලෙසට ය. පොදු ප්‍රවාහන සේවයේ දී පවා ඇතැම් කෙනකුගේ හැසිරීම අන්‍යයන්ට ද බාධා වන්නේ මුඛ ආවරණ හෝ නොපැළඳ ගමන් යෑමට තරම් අසංවර වීම නිසා ය.

ජංගම දුරකථන භාවිතය තුළ වන අසංවරකම් මොන තරම් ද? මුහුණු පොත ඔස්සේ භාවිත කළයුතු දෙය, නොකළ යුතු දෙය තෝරා ගන්නට නොහැකි ව අතරමං වන බොහෝ දෙනා ඒ තුළ ද තම අසංවරකම ප්‍රදර්ශනය කරන්නේ අන්‍යයන්ගේ ද ජීවිත විනාශයට ඇද දමමිනි.

ඇතැම් තරුණ දරුවෝ ගුරුවර වැඩිහිටියන් ඉදිරියේ පවා සංවරශීලී නොවෙති. මෙවැනි බොහෝ අසංවරකම් නිසා සිදුවන්නේ පළමුව තමන් පරිහානියට යෑමය. අනතුරුව එහි අයහපත් බලපෑම් සමාජයට ය. අප එකිනෙකා දෙස අවංක සිතින් බැලුවේ නම් තමන් මොන තරම් දුරට සංවර ද අසංවර ද යන්න සිතා ගන්නට පුළුවන. උදාවන සිංහල අලුත් අවුරුදු දා ජීවිතයට අලුත් අදිටනක් ඇති කරගත හැකි ය. ඒ අතපසුවීම්, වැරැදීම් නිවැරැදි කොට සංවරකම තුළ ජීවිතය බැබළවීමට ය. එවිට වලා පෙළෙන් මිදී ගිය සඳ සේ ජීවිතය බබළනු ඇත.

  මැදින් අමාවක 

 අප්‍රේල් 11 ඉරිදා පූර්වභාග 06.03 ට අමාවක ලබා 12 සඳුදා පූර්වභාග 08.00ට ගෙවේ.
ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 11

First Quarterපුර අටවක

අප්‍රේල් 20

Full Moonපසළොස්වක

අප්‍රේල් 26

Second Quarterඅව අටවක

මැයි 03  


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]