[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පින් පොතේ පින්කමක්

පින් පොතේ පින්කමක්

වසර දෙදහස් පන්සියයකට අධික බෞද්ධ ඉතිහාසයක් හිමි ශ්‍රී ලාංකේය බෞද්ධයෝ දිනයේ කවර හෝ මොහොතක අප මිය යන්නේ ය යන සිතුවිල්ල ඇති කර ගනිති. ජීවිතය අනියත බව හඳුනන නිසාම දන් දීම, සිල් රැකීම, ධර්මය ශ්‍රවණය කිරීම, අසරණයින්ට උදව් කිරීම, ආරාම තැනීම, ඇතුළු දහස් ගණන් පින්කම් කරති. අටමහා කුසල ක්‍රියා එහි පෙරමුණේ තබා ගනිති. ඉරිදා දහම් පාසලට දරුවන් යොමු කරමින් හොඳ ගුණ ධර්ම ඇති කිරීමට කටයුතු කරති.

වර්තමානයේ ඇතැම් බෞද්ධ මව්පියෝ තම දරුවන්ගේ කුසල ක්‍රියා ඇගයීමට පින් පොතක් පවත්වාගෙන යයි. දරුවන්ට එය හුරු කරවන්නේ කිරි අම්මා, හෝ කිරි අත්තාගේ හෝ පැරණි පින් පොත් ආදර්ශයට ගනිමිනි. ඇතැම් තරුණ මව්පියන් පින් පොත් පවත්වාගෙන යනු දැකීම ද වර්තමානයේ බොහෝ සතුටට කරුණකි. දහම් පාසල මෙහි පෙර ගමන්කරුවා බවට පත්ව ඇත.

ඇතැම් බෞද්ධ දෙමාපියන් දරුවාට ඉතිරිකිරීම පුරුදු කිරීමටත්, අන් අයට උපකාර කිරීමට හුරු කිරීමත් වෙනුවෙන් දරුවාට ලැබෙන මුදල් ඉතිරි කිරීමට පුංචි කැටයක් පවත්වාගෙන යති. වර්ෂයක් පුරා කැටයට මුදල් දමා පසුව එය එලෙසම විහාරයේ සංවර්ධනය වෙනුවෙන් පූජා කිරීම හෝ ඒ මුදලින් අසරණ දරුවන්ට ඉගෙනුම් උපකරණ හෝ ඇඳුම් පැළඳුම් ආදිය ගෙන පරිත්‍යාග කිරීමට හෝ දන්දීමට හෝ පුරුදුව සිටිති. ඇතැම් විට ඒ සියලු විස්තර පින් පොතේ සටහන් කරති.

ශ්‍රී ලාංකේය බෞද්ධයින්ට “පින් පොත” සංකල්පය මුලින්ම හඳුන්වා දෙන්නේ දුටුගැමුණු මහරජතුමාය. අදත් අපමණ බෞද්ධ ප්‍රබෝධයක් පවතින්නේ එතුමාගේ පින් පොත නිසා ය. මරණාසන්න මොහොතේ දී සිහිකළ යුතු මහාර්ඝ පින්කම් වෙනුවෙන් එතුමා කළ කුසල ක්‍රියා අපමණ ය. මිරිසවැටිය, රුවන්වැලිමහසෑය, ලෝවාමහාප්‍රාසාදය වැනි විශාල දාගැබ් සහ ගොඩනැගිලි ඉදිකිරීම, කඨින පින්කම් රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීම, ධර්ම ප්‍රචාර කටයුතු වර්ධනය කිරීම ඒ අතුරින් කිහිපයකි.

රජතුමා කළ පින්කම් විශාල සංඛ්‍යාවකි. පින් පොතේ ඒ සියල්ල සඳහන් කර තිබුණි. අවාසනාවට එම පොත අද දක්නට නොමැත. එහෙත් රජතුමාගේ පින් පොතේ සඳහන් වූ තොරතුරු කිහිපයක් පැරණි ධර්ම ග්‍රන්ථවල දක්නට ඇත. දුටුගැමුණු මරජතුමා මරණ මංචකයේ දී පින් පොත කියවනු අසා එහි සඳහන් වූ අතීත පින්කමක් සිහිකර අතිශය සතුටට පත් වූ පුවතක් සිංහල ථූපවංසයෙහි සහ සීහළවත්ථුවෙහි සඳහන් වෙයි.

එම කතා පුවත මෙසේ ය.

දුටුගැමුණු මහරජතුමා අනුරාධපුරයෙහි සූවිසිවසක් රාජ්‍ය කරමින් සිටින විට දරුණු රෝගයක් හටගත්තේ ය. එකල්හි සමීපයෙහි සිටි ඇමතියන් ආමන්ත්‍රණය කර “මා මහාවිහාරයට ගෙන ගොස් එහි මැද වම්පසින් ලෝවාමහාප්‍රාසාදය ද දකුණුපසින් රුවන්වැලි මහසෑය ද පෙනෙන සේ තබව්” යි කී ය. එහි රැගෙන ගිය පසු රජතුමා දකුණු පසට හැරී මිරිසවැටිය ද, උතුම් මහසෑය ද දකියි. වම්පසයට හැරී මනහර වූ ලෝවාමහාප්‍රාසාදය දකියි.

එකල්හි ථේරපුත්තාභය මහතෙරුන් වහන්සේ රජතුමා අසනීප ව සිටින බව දිවැසින් දැක ඍද්ධියෙන් පොළොවෙහි ගිලී අවුත් රජුගේ හිස පැත්තෙන් මතු වී අසුනක හිඳගත්හ. එසේ වැඩහුන් තෙරුන් වහන්සේ මහරජතුමා අස්වසමින් “මහරජතුමනි, බිය නො වුව මැනවි. ඔබතුමා විසින් බොහෝ පින්කම් කරන ලදී. මේ මහාසෑය චන්‍ද්‍රයා මෙන් පිරිසිදුව සක්ගෙඩියක් මෙන් සුදුව චන්‍ද්‍රසූර්යයන් මෙන් බබළමින් මෙහි තිබේ. මේ ප්‍රාසාදය හිමවතෙහි කෛලාශ පර්වතය මෙන් ද නන්‍දන වනයෙහි වෛජයන්ත ප්‍රාසාදය මෙන් ද මහමෙරමුදුන මෙන් ද බබළමින් තිබෙන්නේ ය. ත්‍රිවිද්‍යා සහ ෂඩ් අභිඥාවන් ද, පඤ්චාභිඥාවන් ද ලැබූ රහතන් වහන්සේලාට වාසස්ථාන වූ මේ මිරිසවැටි විහාරය ඔබ ඉදිරියෙහි පෙනෙන්නේ ය. භික්‍ෂූන් ලක්‍ෂයකට ද, භික්‍ෂුණීන් අනූනව දහසකට ද ඉතාවටිනා මෘදුස්පර්‍ශ ඇති තුන් සිවුරු ඔබ විසින් දෙන ලද්දේ ය. ඔබ විසින් රැස්කරන ලද මෙකී කුසල් ද, නොකී බොහෝ වූ කුසල් ද සතුටු සිතින් සිහිකළ යුතු බව පැවසී ය. තෙරුන් වහන්සේගේ කීම අසා රජතුමා “මා විසින් යම් දනක් දෙන ලද නම්, ඒ සියල්ල සිහි කරමි. නමුත් රාජ්‍යය ලැබූ පසු මෙ වැනි දේ කිරීම අපහසු නැත. සිය නිවසින් පිටවී සැඟවී සිටිය දී යමක් දෙන ලද නම්, එය අපහසු දීමකි.

පෙර කුමාර කාලයේ දී පියා මට පරිභව කළ බැවින් මම සේවකයකු සමග කඳුරටට ගියෙමි. එහි කංගුගම කංගුපර්‍වතය සමීපයෙහි ගසක් මුල හුන් මා කිසිවෙක් හැඳීන නො ගත්තේ ය. මාලෙය්‍යදේව තෙරනම ද, ධම්මගුත්ත තෙරනම ද, ධම්මදින්න තෙරනම ද, පූජ්‍ය වූ ව්‍යග්ඝ තෙරනම ද යන සතරනම අනාගතය බලමින් මට අනුකම්පා කොට ඇවිත් මා ඉදිරියෙහි වැඩසිටියහ.

ඒ අවස්ථාවෙහි දිරාගිය වස්ත්‍රයක් ඇඳගත් එක් දුගී ස්ත්‍රියක් කොංගු ධාන්‍ය පිරෙව් ලබුකැටයක් ගෙන වැපිරීම සඳහා කෙතට යමින් සිටියා ය. මම මාගේ සිංහ ලකුණ ඇති කඩුක්කමක් ගෙන එය ගලකින් තළා ඒ ස්ත්‍රියට දුනිමි. ඒ ස්ත්‍රිය මට එක් නැළියක් පමණ කොංගු ධාන්‍ය දුණි. මම ඒ කොංගු කොටා බතක් සම්පාදනය කළෙමි. එවිට මා හඳුනාගත් මිනිස්සු සතරදෙනෙක් දීකිරි කළයක් ද, මස් ද මට පඬුරු සඳහා ගෙනාහ. මම ඒ සියල්ල එක් කොට වර්ණගන්‍ධරසයෙන් යුත් ආහාරයක් සම්පාදනය කොට ඒ තෙරුන් වහන්සේලා සතර නමගේ පාත්‍ර ගෙන පුරවා සතුටු සිතැතිව නමස්කාර කොට පිළිගැන්නුවෙමි.

මාගේ දානය රැගත් දේව තෙරනමත්, ධම්මගුත්ත තෙරනමත් අහසට නැඟී ගියහ. ධම්මදින්න, ව්‍යග්ඝතෙර දෙනම දියෙහි ගිලෙන්නා සේ පොළොවෙහි ගිලී ගියහ. මේ දානය මට අද දුන් එකක් සේ පෙනේ. අන් සියලු දානයන්ට ඉදිරියෙන් එය සිටින බව මට සිහි වේ.

එපමණක් නොව තවත් දානයක් මට විශේෂ දානයක් ලෙස සිහිපත් වේ. තිස්සකුමාරයා සමඟ යුද්ධ කොට කිහිපවරක් පැරදී භටයන් විසින් ලුහුබඳීන විට සංඝයා මැවූ පර්‍වතයක් වෙත පැමිණ මම වනයට පිවිසියෙමි. තිස්ස කුමාරයා එතැනින් නැවතුණි. වන මැදට පිවිසි මම සාපිපාසා දෙකින් පීඩිත වූයෙමි. යම්කිසි ආහාරයක් සෙව්වෙමි. මාගේ කීම ඇසූ තිස්ස ඇමැතියා “ස්වාමීනි, මා අතේ බත්මුලක් ඇත. ආහාර අනුභව කළ මැනවැ” යි මට කීය. “යහපත මිත්‍රයයි කියා ඒ ආහාරය සතර කොටසකට බෙදා එයින් එක් කොටසක් මා වෙත ගෙනෙව”යි මම කීවෙමි.

එසේ ගෙනාවිට එය අතට ගත් මම “ යම් කාලයක සිට මා ගැන සිහිපත් කරන්ට සමර්‍ථ නම් එකල සිට ද, යම් කලෙක මා වැඩිවියට පැමිණියෙම් නම් එතැන් සිට ද මහා සංඝයාට නො දී කෑ බවක් නො දනිමි” යි මෙසේ සිතුවෙමි. මාගේ අදහස දැනගත් පුවඟු දිවයින් වැසි තෙරුන් වහන්සේ නමක් අහසින් වැඩමකර මා ඉදිරියෙහි පෙනී සිටියහ.

සතුටු වූ මම උන්වහන්සේට නමස්කාර කර දෙකොටසක් එක් කොට සියතින් ම පූජා කළෙමි. තිස්ස ඇමතියා ද එය දැක ඔහුගේ කොටසත් එහි දැමීය. අශ්වයාත් හිසසෙලවූ බැවින් උගේ කොටසත් එහි බහාලීමි. විචක්‍ෂණ වූ ඒ බුද්ධ පුත්‍ර තෙමේ ඒ භික්‍ෂාව රැගෙන අහසට නැඟී ආරාමයට වැඩියේ ය. උන්වහන්සේ ඒ ආහාරය තෙළෙස් දහසක් භික්‍ෂූන්ට වැළඳ වීය. නැවත පාත්‍රය පුරවා මා වෙත එවී ය. අපි තිදෙන ඒ ආහාරය අනුභව කොට පාත්‍රය මනා සේ සෝදා හරවා යැවීමු.

මෙසේ මම කරදර ඇති කාලයක සිටිමින් සාපිපාසාවෙන් පෙළී ජීවිතයෙහි බලාපොරොත්තු නැතිව පෙර දන් දුනිමි. සමූහයන්ට අග්‍ර වූ ශීලාදී නොයෙක් ගුණයන්ගෙන් යුක්ත බෞද්ධ සංඝයා කෙරෙහි පැහැදුණු සිතින් මම දානාදි නොයෙක් පින්කම් කෙළෙමි. මා රැස් කළ ඒ ශ්‍රේෂ්ඨ පින්කම් සියල්ල ඉක්මවා මාගේ ආහාර කොටස දුන් දානය ඉදිරියෙන්ම සිටිනු මට දැන් සිතේ.

ඒ දානය සිහිකරමින් මම රම්‍ය වූ තුසිතපුරයට යන්නෙමි. ඒ දෙව්ලොව වසන අජිත දේව පුත්‍රයා අනාගතයෙහි බුදුවන්නේ ය.” මෙසේ කියා ඒ රජතුමා කෘමීන්ට වාසස්ථාන වූ මේ ශරීරය හැරදමා උතුම් රථයකට නැඟී දෙව්ලොවට ගියේ ය.

මෙම කතා පුවතින් දුටුගැමුණු රජතුමා අතීත පින්කම් අසා යහපත් සිතිවිලි ඇති කරගනිමින් බොහෝ සතුටට පත්ව පිරිසුදු සිතින් යුක්තව පරලොව ගිය බව පැහැදිලිව පෙනෙයි.

ලෙඩ ඇඳට වැටුණ විට ඉතිරි වන්නේ කළ කටයුතුවල සිතිවිලි පමණි. එබැවින් පින් පොතක් පවත්වාගෙන යාම සැනසිලිදායි මරණයකට සූදානම් වීමක් මෙන්ම, දෙව්ලොව උපතක් සඳහා සූදානම් වීමක් ද වෙයි.

  නවම් අමාවක 

මාර්තු 12 සිකුරාදා අපරභාග 15.02 අමාවක ලබා 13 සෙනසුරාදා අපරභාග 15.50 ගෙවේ.
සිකුරාදා සිල්
 

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 12

First Quarterපුර අටවක

මාර්තු 21

Full Moonපසළොස්වක

මාර්තු 28

Second Quarterඅව අටවක

අප්‍රේල් 04  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]