[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මානසික සුවය සොයනවා ද?

මානසික සුවය සොයනවා ද?

‘අප්පකිච්ඡොච සල්ලවුක වුත්තී’ ස්වල්ප කටයුතු ඇත්තකු වීම ජීවිතය ජය ගැනීමේ එක් මාර්ගයක් ලෙස ලෝකයට පැවසුවේ අදට වර්ෂ දෙදහස් පන්සියයකට පෙර ය. බුදු රජාණන් වහන්සේ විසින් දේශිත කරණීය මෙත්ත සූත්‍රය තුළ ඒ බව දීර්ඝව සාකාච්ඡා කරයි.

ස්වල්ප කටයුතු සිදු කිරීම ඕනෑම වයස් කාණ්ඩයකට, ඕනෑම සමාජ තරාතිරමකට, ඕනෑම වෘත්තියකට ,ඕනෑම මනුෂ්‍යයකුට අත්‍යවශ්‍ය ගුණයකි. එක් එක් පුද්ගලයන්ට ඔවුන්ට වෙන් වූ විවිධ වූ වෘත්තීන් හෝ වගකීම් පැවරී ඇත. මෙහිදී වඩා වැදගත් වනුයේ තමාට පැවරී ඇති වගකීම කෙරෙහිම අවධානය යොමු කොට ඒ තුළ නියැළීමය. එයට පරිබාහිර සියල්ල අනෙක් කටයුතු වේ.

එළඹි ඒ ඒ මොහොත තුළ අප කටයුතු කළ යුතු ය. කෙනෙකු කාර්ය බහුල බව තමාගේ ජීවිතයේ පැතිකඩක් කරගනුයේ එක වර ප්‍රමාණය ඉක්මවා කටයුතු කිරීම හෙවත් කාර්යයන් කිහිපයක් එකවර සිදු කිරීම හේතුවෙනි.

මෙසේ එකවර වැඩ කිහිපයක් කිරීමට උත්සහ කිරීමෙන් එකදු කාර්ය්‍යයක් වුව ද සාර්ථක වන්නේ නැත. එබැවින් ඔබ සාර්ථක වීමට නම් සෑම මොහොතකම තමා විසින්ම තමාගේ ජීවිතයට එකතු කරගෙන සිටින අනවශ්‍ය ජීවන පුරුදු වලින් මිදෙන්න. සෑම විටම ඔබගේ පූර්ණ අවධානයම ඔබ මේ මොහොතේ සිදු කරන දේටම පමණක් යොමු කරන්න. එමඟින් ඔබට මානසික සුවය මෙන්ම සාර්ථකත්වය ද ළඟා කරගැනීමට හැකි වනු ඇත.

සාර්ථකත්වය

බොහෝ දෙනාගේ තීරණය නම් තමන් සාර්ථකත්වයට පත් වීමට ඇති මග අනිකාව අනුගමනය කිරීම යන්න ය. එහෙත් සැබෑව නම් තමාටම අනන්‍යය වූ කුමන හෝ ක්‍රමවේදයක් ඇත. සෑම විටම එය කුමක්ද යන්න සොයා ගැනීමට උත්සුක වන්න. ලෝකයේ ආධ්‍යාත්මික සියලු ශාස්තෘවරුන් තම තමන්ට ආවේණික වූ ගමන් මාර්ග ඔස්සේ ගමන් කොට තම ඉලක්කය සපුරා ගත්හ. අපගේ ශාස්තෘවරයාණන් වහන්සේ වන ගෞතම බුදුරජාණන් වහන්සේ සිදුහත් බෝසත් අවධියේ ආලාර කාළාම, උද්දකරාමපුත්ත යන ගුරුවරු යටතේ මූලික ආධ්‍යාත්මික පුහුණුව ලදහ. අනතුරුව තම අවසන් ඉලක්කය මෙයින් පූර්ණ නොවන බවත්, තම අවසන් ඉලක්කය වෙත යෑමට නම් තමන් වහන්සේ තනිවම ඒ සඳහා අවැසි මග සොයා ගත යුතුය යන දැඩි තීරණය වෙත එළැඹුණහ. එහෙයින් තනිව තමන් වහන්සේ මාර්ගය සොයා යෑමේ ප්‍රතිඵලයක් ලෙස අවසානයේ ‘සම්මා සම්බුද්ධ’ නම් වූ ලොව ශ්‍රේෂ්ඨතම ආධ්‍යාත්මිකත්වය අවබෝධ කරගත්හ.

එමෙන්ම අතීත, වර්තමාන ලෝකය තුළ ඉතා ඉහළම ලෞකික පරමාර්ථ සාධනය කර ගත් අය බෝහෝ ය. එසේ වූයේ ඔවුන් තම තමන්ගේම මාවත් වල ගමන් කිරීමේ ප්‍රතිඵලයක් නිසා ය. එබැවින් ඔබ ඔබම වන්න. ඔබේ මාර්ගය ඔබම තෝරා ගන්න. කිසි විටෙකත් අනෙකා ගිය මාර්ගය ඔබට ගලපා ගැනීමට උත්සහ නොකරන්න. ඔබගේ සමාජ, ආර්ථික, සංස්කෘතික වට පිටාවට අනුව ඔබ ඔබේ සාර්ථකත්වය ළඟා කරගැනීම සඳහා උත්සුක වන්න.

පැණි රස මිරිස් කරල සෙවීම

මුල්ලා නස්රුදින් මිරිස් පොකුරක් කෑම ආරම්භ කළේ ය. එක ඇටයක් කනවා, තව එකක් කනවා, තවත් එකක් කනවා, ඔහු මෙසේ දිගටම මිරිස් කාගෙන කාගෙන ගියා. මූණ රතු වෙනකම් ම මිරිස් කෑවා. ඇස් වලින් කඳුලු එනකම්ම, නාසයෙන් දියර වැගිරෙන තුරුම මිරිස් කෑවා. කෙනෙක් ඇවිත් මෙසේ අහන තුරුම ඔහු මිරිස් කෑවා.

‘ඇයි ඔබ ඔච්චර ගොඩක් කට දන මිරිස් කන්නේ’

‘ මම මේ පැණිරස මිරිස් ඇටය හොයනවා’ යැයි නස්රුදින් පිළිතුරු දුන්නේ ය. මිනිසුන් ජීවිතයේ දී කරන්නෙත් මෙයයි. යම් කිසි සම්බන්ධකමක්, යම් රැකියාවක් යම් තත්ත්වයක් විය හැකි ය. මේ ඕනෑම දෙයක් තුළ පැණි රස මිරිස් කරල හොයනවා. එහෙත් මිරිස් යනු මිරිස් ම ය. සියලු මිරිස් වලින් කට දනවා මිස පැණි රස මිරිස් හමු නොවේ. ජීවිතය තුළ ද සතුට යන පැණි රස මිරිස් සෙවීම ඔබ නතර කරන්න. එයින් වන්නේ ඔබේ වටිනා කාලය විනාශ වීමක් හා ඔබ එයින් තවත් වෙහෙසට පත්වීමක් පමණි.

සතුට පරමං ධනයයි

මිනිසාට ඇති උතුම්ම ධනය සතුට බව බුද්ධ දේශනාව වේ. මෙහි ඉගැන්වෙන පරම සතුට බාහිරින් පැමිණෙන්නක් නොව එය තමා තුළම ඇති දෙයකි. වෙනස වන්නේ අප අප තුළ ඇති සතුට විඳිනවට වඩා බාහිර දේ තුළින් සතුට සෙවීම ආරම්භ කිරීම ය. එයින් ඔබ කිසිදා තෘප්තිමත් අයෙකු නොවේ. ඔබ ඔබ ළඟ දැනටමත් ඇති දෙයින් සතුටු වන්න. ඔබ දුර්ලබ මිනිසත් බවක් ලැබීම ගැන සතුටු වෙන්න. දැනටමත් ඔබ තුළ ඇති යහපත් හැකියාවන් පිළිබඳව සතුටු වන්න. සොයා යෑමෙන් නොව නතරවීම තුළින් උතුම් සතුට ළඟා වන බව බුද්ධ දේශනයයි.

අංගුලිමාල නැමැති මිනී මරුවෙකු උතුම් සතුට බුදුරදුන් හමුවේ ලබා ගත්තේ දිවීම නතර කළ පසු ය. පටාචාරා වැනි අතිශය ශෝකාකූල අය බුදු රදුන් හමුවේ උතුම් සතුට ලැබූවේ පසුතැවීමත්, අතීත ශෝකයත් අතහැර එළඹි මොහොත තුළ සිත පිහිට වූ නිසාය. ඔබත් ඔබේ සතුට ඔබ තුළින් විඳින්න. එවිට ඔබට ඔබේ දියුණුව ඉකිමණින් උදාවේවි.

කැමති දෙයට මත්වීම

න කහාපන වස්සේන තිත්ථිකාමෙසු විජ්ජති

කහවණු වැස්සක් ඇද හැලුණ ද මිනිසාට එයින් සෑහීමකට පත්විය නොහැකිය යන්න බුද්ධ දේශනයයි. මෙලෙස සෑහීමකට පත් නොවීමට ප්‍රධාන එක් හේතුවක් නම් තමන් විවිධ දේ තුළින් මත් වීමටත්, ඒ තුළ ජීවිතය ගෙවීමට පුරුදුව සිටීමත් නිසා ය. ඔබ ඔබව මත් කර ගැනීමට පුරුදුව සිටී නම් ඔබට සාර්ථක විය නොහැකි ය. එක් එක් පුද්ගලයා තම තමන් කැමති දේ කෙරෙහි මත් වීම දැක ගත හැකි ය. අයෙක් රාගයෙන් ද අයෙක් ද්වේෂයෙන් ද, අයෙක් මුළාවෙන් ද මත් වී ජීවිතය සොයති.

මත් වීම මත් වතුරෙන් පමණක් සිදු නොවේ. ස්ත්‍රින් කෙරෙහි මත් වීම, යම් යම් සූදු ක්‍රීඩාවන් කෙරෙහි මත් වීම මෙන්ම වර්තමානයේ අන්තර්ජාල මත් වීමත් දක්නට ඇත. මෙම මත් වීම් තුළින් ඔබ පමණක් නොව සමස්ත සමාජයම පරිහානියට ලක් වේ. එබැවින් ඔබ ඔබගේ ජීවිතය අයහපතට මෙන්ම අසාර්ථකත්වයට පත් කරවන මත් වීම් වලින් වැළකී ඔබගේ සාර්ථකත්වය සාධනය කර ගැනීම විෂයෙහි කටයුතු කරන්න.

  දුරුතු පුර පසළොස්වක 

ජනවාරි 28 බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.17 න් පසළොස්වක ලබා 29 සිකුරාදා පූර්ව භාග 00.46 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 28

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

Full Moonඅමාවක

පෙබරවාරි 11

First Quarterපුර අටවක

පෙබරවාරි 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]