[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඕමාරේ ශ්‍රී කස්සප අනු නාහිමි

ඕමාරේ ශ්‍රී කස්සප අනු නාහිමි

මහා විහාරවංශික ස්‍යාමොපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරි සහ අනු නායක , කඹුරුපිටිය , සපුගොඩ ඉලංගම්ගොඩ පුරාණ රාජමහා විහාරය ඇතුළු පංච මහා විහාරාධිපති, විද්‍යා නිකේත විද්‍යායතන පරිවේණාධ්‍යක්ෂ , සද්ධර්ම කීර්ති ශ්‍රී සුගත ධම්ම විශාරද ශාස්ත්‍රපති ඕමාරේ ශ්‍රී කස්සපාභිධාන අනු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සසුනට, දැයට, වටිනා මෙහෙවරක නිරත වන ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයෙකි.

දකුණු පළාතේ හම්බන්තොට දිසාවේ ගිරුවාපත්තුවට අයත් වලස්මුල්ල, ඕමාර ග්‍රාමයේ විසු ජාතුංගේ හීන්හාමි මාතාවට සහ අමරකෝන් දිසානායක සර්දින් පියතුමාට දාව 1955 ජනවාරි මස 11 වන දින පින්වත් කුමරු උපත ලැබීය.

පුරාකෘත පුණ්‍ය මහිමය නිසාම පැවිද්දට සිත් යොමු කළ කුඩා දරුවා සපුගොඩ ඉලංගම්ගොඩ පුරාණ රාජමහා විහාරය වෙත පැමිණ පැවිද්දට අවශ්‍ය මූලික වත් පිළිවෙත් ඉගෙන 1968 ඔක්තෝම්බර් 30 දින ගැටමාන්නේ සෝභිත මාහිමි, කුඩාගොඩ චන්දරතන මාහිමි, ශාස්ත්‍රපති ගතාරේ සුගතපාල නා හිමි, මහාචාර්ය, ගතාරේ ධම්මපාල අනු නා හිමි යන හිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් ඕමාරේ කස්සප හිමි නමින් පැවිදි දිවියට ඇතුළත් විය.

සපුගොඩ විද්‍යා නිකේත පිරිවෙන, පැපිළියානේ සුනේත්‍රාදේවි පිරිවෙන යන විද්‍යස්ථාන තුළින් පැවිදි අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ. රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් දෑ අවුරුදු ගුරු පුහුණුව ද සම්පූර්ණ කළ අතර පසුව කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද දිනාගත්හ.

උක්ත ගුණ හිමිවරුන්ගේ ශිෂ්‍යවරයකු ලෙස 1974 ජුනි මස 05 වන දින මහනුවර මල්වතු මහා විහාර මංගල උපෝසථාගාරයේදී අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.

සපුගොඩ විද්‍යානිකේත පිරිවෙනේ ආචාර්යවරයෙකු ලෙස ගුරු සේවයට ඇතුළත්ව පසුව පරිවේණාධිපති ධුරයට පත්වූ අනු නා හිමියෝ සිය ගුරු දේවයන් වහන්සේලා විසින් ගොඩ නගා තිබූ කීර්තිය තවදුරටත් උද්දීප්ත කරමින් ප්‍රදේශයේ කීර්තිමත් විද්‍යස්ථානයක් බවට පත් කළහ. කඹුරුපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි ධූරය, මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලය ලේඛකාධිකාරි ධූරය ද සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ උප සභාපති ධුරය ද දරමින් දහම් පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයට දායක වූහ.

පිරිවෙන් ගුරුවරයා මුහුණපාන ගැටලුවලට විසඳුමක් ලෙස සමස්ත ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමය පිහිටුවා කටයුතු කළ උන්වහන්සේ අධ්‍යාපන අමාත්‍යංශයේ උපදේශක, ජ්‍යෙෂ්ඨ උපදේශක, ප්‍රධාන උපදේශක තනතුරුවලට ද පිළිවෙළින් පත්ව අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයට දායක විය. උතුරු නැගෙනහිර පළාත්වලට තෛ‍්‍රයිභාෂා විද්‍යාල ඇති කිරීමට පෙරමුණ ගැනීම ද අනු නායක හිමියන්ගේ අධ්‍යාපනික සේවාව අතරින් කැපී පෙනෙන

ලක්ෂණයකි.

ශ්‍රී රෝහණ මහා සංඝ සභාවට ද ආරම්භයේ සිට විවිධාකාරයෙන් දායක වු උන්වහන්සේ විධායක කාරක සංඝ සභික ධූරයට ද පසුව ප්‍රධාන ලේඛකාධිකාරි ධූරයට ද පත් විය. සංඝ සභාවේ උපසම්පදාව ලබන තරුණ භික්ෂූන්ට සංඝ සභාව තුළින් ගෞරවනීයත්වයක් මෙන්ම සිය හඬ අවදි කරමින් උන්වහන්සේලාගේ දායකත්වය සංඝ සභාවට ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී රෝහණ තරුණ භික්ෂු සංවිධානය ආරම්භ කළේ ය.

ජාතික, ආගමික, ශාසනික, අධ්‍යාපනික ආදී වශයෙන් උදාර සේවාවක නිරත වන උන්වහන්සේ වෙත ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය ද පසුව අනුනායක පදවියද, ප්‍රදානය කිරීමට මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව තීරණය කරන ලදී.

සංඝ සෝභන ගුණයන්ගෙන් මෙන්ම ධර්මානුධර්ම ප්‍රතිපදාවන්ගෙන් ද උපලක්ෂිතව රට, දැය, සසුනට වැඩදායක ලෙස අයුක්තියට, අසාධාරණයට එරෙහි සිය හඬ අවදි කරමින් රෝහණ දේශයට සවියක් වන අනු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිය උදාර දිවියේ හැට හය (66) වන විය සපුරණ වටිනා අවස්ථාවේදී තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුව දීර්ඝායු සම්පත් ලැබේවායි ආශිංසනය කරමි.

  දුරුතු පුර පසළොස්වක 

ජනවාරි 28 බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.17 න් පසළොස්වක ලබා 29 සිකුරාදා පූර්ව භාග 00.46 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 28

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

Full Moonඅමාවක

පෙබරවාරි 11

First Quarterපුර අටවක

පෙබරවාරි 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]