[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රාජ පූජිත ඓතිහාසික මහනුවර මල්වතු මහා විහාරය

රාජ පූජිත ඓතිහාසික මහනුවර මල්වතු මහා විහාරය

සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනාගතයේ ශ්‍රී ලංකාද්වීපයෙහි සම්බුද්ධ ශාසනය පිහිටවන බව දැනගෙන බුද්ධත්‍වයෙන් නව වන මස දුරුතු පුන් පොහෝ දින ද, පස්වෙනි වස බක් පොහෝ දිනයෙහි ද අටවෙනි වස වෙසක් පොහෝ දිනයෙහි ද ශ්‍රී ලංකාද්වීපයට වැඩමවීමෙන් සිරිලක් දිව අති පාරිශුද්ධත්වයට පත් වූයේ යැයි දීපවංශ, මහාවංශ, ජිනකාලමාලි ආදී ඓතිහාසික ග්‍රන්ථයන්හි සඳහන් වේ.

බුදුරදුන් පිරිනිවී වසර 327 කට පසු ධර්‍මාශෝක මහරජතුමා භාරතයේ අධිරාජයා බවට පත්වී නිග්‍රෝධ කුඩා රහතන් වහන්සේ මුල්කොට බෞද්ධයෙකු බවට පත්වූයේ මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ අනුශාසනා ලබමින් මහකෙල නාගරාජයා විසින් මවන ලද බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කාය ද (බුද්ධ ශරීරයම) සියැසින් දැක අසීමිත බුද්ධාලම්බනප්‍රීතියට පත් වූයේ, බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්‍මස්ඛන්‍ධය සංඛ්‍යා වශයෙන් අසූහාරදහසක් බව දැනගත් රජතුමා අසූහාරදහසක් වෙහෙර විහාර ඉදිකොට රටවල් නවයකට දූතයන් යවමින් සම්බුද්ධ ශාසනය පිහිටු වීමට කටයුතු සැලැස්වීය.

ධර්‍මාශෝක මහරජ තුමන්ගේ පුතණුවන් වන මිහිඳු කුමාරයා පැවිදි වී උපසම්පදාවට පත්ව වස් 12 ක් සම්පූර්ණ වූයේ රජතුමා මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේගේ ද උපදෙස් ලබා ලක්දිව සම්බුද්ධ ශාසනය පිහිටුවීම සඳහා බු:ව: 237 දී මිහිඳු මාහිමියන් සමඟ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා හා සුමන සාමණේරයන් ද, භණ්ඩුක උපාසක ද ලක්දිව මිහින්තලයට වැඩම වූහ.

දේවානම්පියතිස්ස රජතුමන් ඇතුළු රාජකීයයන් තෙරුවන් සරණගත උපාසකයන් බවට පත්විය. සැදැහැවතුන්ගේ පූර්ණ අනුග්‍රහය ඇතිව අනුරාධපුර මහාවිහාර සීමාව තුළ ග්‍රාමවාසීමක් සම්මත කොට සුමන සාමණේරයන්ට පළමුකොට උපසම්පදාවත්, භණ්ඩුක උපාසකට පැවිදි උපසම්පදා දෙකම ලබා දුණි ඉන් අනතුරුව දේවානම්පියතිස්ස මහරජතුමාගේ සොහොයුරු අරිට්ඨකුමරුන් ඇතුළු රාජකීයයන් පැවිදි උපසම්පදා කොට ශ්‍රී ලංකාද්වීපයෙහි සම්බුද්ධ ශාසනය පිහිටුවීය.

මේ අයුරින් සම්බුද්ධ ශාසනය පිහිට වූ මුල්ම විහාරය අනුරාධපුරයේ මහා විහාරය යි. මෙම විහාරය මුල්කොට ආරම්භ කළ උපසම්පදාව මහා විහාර උපසම්පදාවයි. සම්බුද්ධ ශාසනය පිහිටුවීම යනු උපසම්පදාව පිහිටුවීම හෙයින් මිහිඳු මහ රහතන් වහන්සේ පළමු කොටම මහාවිහාරයත් සමඟම පැවිදි උපසම්පදාව ශ්‍රී ලංකාද්වීපයේ පිහිටවූයේ මේ නිසාම ය.

එතැන් පටන් මහා විහාරය මෙන්ම ථූපාරාමයත්, සීමාබන්ධනාදිය ද පිහිටුවමින් නන් දෙසින් පැමිණෙන පිරිස් පැවිදි උපසම්පදා කරමින් වැඩිදියුණු කිරීමට පටන් ගති. ධර්‍මාශෝක මහරජතුමාගේ දියණිය වන සංඝමිත්තා තෙරණිය ද ශ්‍රී මහා බෝධි අංකුරයක් රැගෙන වැඩමවා අනුලා දේවිය ඇතුළු රාජකීයයන් පැවිදි උපසම්පදා කොට භික්‍ෂුණී ශාසනය පිහිටු වීය.

මේ අයුරින් භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනය වැඩි දියුණු තත්ත්‍වයට පත් වන මොහොතේ රජකම පිළිබඳ ඇති වූ අර්බුධ තත්වය නිසා මහානාග කුමාරයා භික්‍ෂූන් වහන්සේ සහිත සිය පිරිවර සමඟ මහවැලි ගඟෙන් එගොඩ රෝහණයට පිටත්ව ගියහ.

රුහුණු රටට ඇතුල් වූ මොහොතේ මහවැලි ගඟ අසබඩ සිය නමින්ම නාගාරාමය (වර්තමාන සෝමවති විහාරය) නමින් විහාරයක් සාදා එහි භික්‍ෂූන් පදිංචි කොට යටාලතිස්ස ප්‍රදේශයට ගිය මහානාග රජතුමා එහි දී ලැබුණු ස්වකීය පුත්‍ර යටාලතිස්ස කුමාරයා ද හදා වඩා ගනිමින් රෝහණ රාජ්‍ය ස්ථාපිත කරගත්තේ ය. එකී යටාලතිස්ස රජුගෙන් පසු ඔහු පුත් ගෝඨාභය රජතුමා ද ඔහුගේ පුත් කාවන්තිස්ස කුමාරයා ද රාජ්‍යයට පත් වූයේ රෝහණ ප්‍රදේශයේ නාගාරාමය , සේරුවිල, මහියංගණ, තිස්සමහාරාම ආදී චෛත්‍යස්ථාන ඉදිවෙමින් සම්බුද්ධ ශාසනය වැඩිදියුණු තත්ත්වයට පත්වීය.

දේවානම්පියතිස්ස රජු දවස ආරම්භ වූ සම්බුද්ධ ශාසනය හා මහා විහාරයත් නැවතත් දුටුගැමුණු රාජ්‍ය කාලයේදී ඉතාමත් දියුණුවකට පත්විය. වළගම්බා රජ දවස ඇති වූ සොලී ආක්‍රමණ නිසා නැවතත් රාජ්‍ය හා ශාසනික පරිහානිය සිදු වූ අතර මහා විහාරයෙන් වෙන් වූ භික්‍ෂු පිරිසක් අභයගිරිය නමින් වෙන් වීය.

නැවතත් වංකනාසිකතිස්ස රජු කල සොළීන් පැමිණ සිංහල රාජ්‍යයත්, ශාසනයත් විනාශයට පත්කරමින් පාත්‍රා ධාතුවත්, දේවාභරණත්, සිංහලයන් 12000 ක් ද සොළීරටට රැගෙන ගිය බව ඓතිහාසික තොරතුරුවල සඳහන් වේ.

ගජබා රජතුමා එම සොළී රටට ගොස් පැහැරගෙන ගිය 12000 ක් හා සොළීන් 12000 යන 24000 ක් සෙනඟ හා පාත්‍රා ධාතුවත්, දේවාභරණත් ගෙනා බව සඳහන් වන අතර, එම රජතුමාට සෝමවතී රාජමහ විහාරයේ භික්‍ෂූන් ගාමිණී අභය යුදජී “යුද්ධ ජයාග්‍රාහක ගාමිණි අභය” යන ගෞරව නාමය පිරිනැමූ හැටි ක්‍රි.ව. 112 සෝමවතී මීන්විලු ශිලා ලේඛනයෙහි සඳහන් වේ. විදේශ ආක්‍රමණ හා සිංහල රාජ්‍යයේ අභ්‍යන්තර ගැටුම් නිසා නැවතත් රාජ්‍යයේත්, සම්බුද්ධ ශාසනයේත් පරිහානිය දක්නට ලැබෙන අතර, පොළොන්නරු යුගය වන විට සොළී ආක්‍රමණය නිසාම ලක්දිව සියලුම ජාතික, ආගමික, සංස්කෘතික හා ශබ්ද ශාස්ත්‍රත් අන්තපරිහානියට පත්විය.

උපසම්පදා විනය කර්‍මයට ප්‍රමාණවත් භික්‍ෂුන් පස්නමක් වත් සොයාගැනීමට නොහැකි වූ අවස්ථාවක මහලු විජයබා රජතුමා විසින් රක්‍ඛංග දේශයෙන් භික්‍ෂුන් ගෙන්වා උපසම්පදා විනය කර්‍මය සිදු කරවා ශාසනය වැඩිදියුණු කරන ලදි. මහා පරාක්‍රමබාහු මහ රජතුමා නිකායත්‍රයම සමඟි කරවා කතිකාවතක් ද ඇති කොට දහස් ගණන් සාමණේරයන් උපසම්පදා කරවා නැවතත් මහා විහාර උපසම්පදාව තහවුරු කරවීය.

මෙම ලිපියෙහි තවත් කොටසක් දුරුතු අව අටවක පෝදා ( පෙබ.04) පත්‍රයේ පළවේ.

  දුරුතු පුර පසළොස්වක 

ජනවාරි 28 බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.17 න් පසළොස්වක ලබා 29 සිකුරාදා පූර්ව භාග 00.46 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 28

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

Full Moonඅමාවක

පෙබරවාරි 11

First Quarterපුර අටවක

පෙබරවාරි 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]