[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනය සිදු වූ දුරුතු පෝ දා

බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනය සිදු වූ දුරුතු පෝ දා

හේමන්ත, ගිම්හාන හා වස්සාන යන ඍතු තුන අතුරෙන් සීතල දේශගුණයක් පවත්නා කාලවකවානුව හේමන්ත ඍතුවයි. එහි දෙවැනි මාසය මෙන් ම අධික සීතල මාසය වන්නේ දුරුතු මාසයයි. දිවා කාලය දැඩි සූර්ය තාපයෙන් ද, රාත්‍රී කාලය දැඩි සීතලෙන් ද යුත් දුරුතු මාසය හිතකර නොවූ කාලගුණයකින් යුතු මාසයකි.

දුරුතු මහේ උදාවන දුරුතු පුර පසළොස්වක පොහොය දිනයට ශාසන ඉතිහාසය තුළ ඉතා වැදගත් තැනක් හිමි වෙයි. බුදුරජාණන් වහන්සේ විසින් උරුවෙල් දනව්වේ සිටි දහසක් වූ තුන්බෑ ජටිල පිරිස දමනය කරනු ලැබීමෙන් පසුව ප්‍රථම වරට ලංකාවට වැඩමවීම හා එහිදී යක්ෂ ගෝත්‍රිකයින් දමනය කිරීම කේශ ධාතු නිධන්කොට මහියංගණ දාගැබ තැනවීම ආරම්භ කිරීම, බිම්බිසාර මහ රජු ගේ ආරාධනය පරිදි බුදුරජාණන් වහන්සේ දහසක් රහතන් වහන්සේලා ද සමඟ රජගහ නුවරට වැඩමවීම, මිය ගිය ඤාති පේ‍්‍රතයන්ට පින් අනුමෝදනා කිරීමේ චාරිත්‍රය අනුමත කිරීම, සිරිසඟබෝ කුමරු මහියංගණ චෛත්‍යය අසල දී රජ බවට පත් කරවීම යනාදිය දුරුතු පොහොය දිනය හා සබැඳි ඓතිහාසික සිදුවීම් අතර ප්‍රමුඛස්ථානයෙහිලා සැලකිය හැකි ය.

යක්ෂ නාග අසමගිය

බුද්ධත්වයෙන් නව වැනි මාසයේ දී දුරුතු පුර පසළොස්වක පොහොය දිනෙක බුදුරජාණන් වහන්සේ මහියංගණයෙහි මහවැලි ගඟ අසබඩ යොදුන් තුනක් දුරින් පිහිටි මහානාග වනෝද්‍යානයට වැඩම කරවීමේ පුවත මහාවංසයෙහි පළමු පරිච්ඡේදයෙහි දැක්වෙන්නේ මෙසේ ය.

බොධිතො නවමෙ මාසෙ
ඵුස්සපුණ්ණමියං ජිනො
ලංකාදීපං විසොධෙතුං
ලංකාදීප මුපාගමි

එදින මහානාග වනෝද්‍යානයෙහි යක්ෂ ගෝත්‍රිකයන් ගේ මහා සමුළුවක් පැවතිණ. ඒ වන විට ලක්දිව ඉතා බලසම්පන්න ව සිටියේ රාවණ සමයේ සිට පැවත ආ යක්ෂ ගෝත්‍රිකයින් ය. ඔවුන්ගේ දරුණූු ක්‍රියාවන් නිසා එම නම භාවිතයට පැමිණි බව පිළිගත හැකි ය.

මෙරට ප්‍රාග් ඓතිහාසික පුරවැසියන් ලෙස හඳුන්වා දිය හැකි වන්නේ නාග ගෝත්‍රිකයන් ය. මෙම දෙපිරිස අතර කාලාන්තරයක පටන් පැවැති අසමගිය දුරු කිරීම බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රථම ලංකාගමනයෙහි ප්‍රධාන අරමුණ විය. මේ සඳහා ලක්දිවට වැඩමවන ලෙස බුදුරජාණන් වහන්සේට ඇරයුම් කළේ සුමන සමන් දිව්‍යරාජයා වන බව ද බෞද්ධයෝ විශ්වාස කරති.

මියුගුණ සෑය

දැනට මහියංගණ චෛත්‍යය පිහිටි ස්ථානයෙහි පත්කඩය අතුරා වැඩසිටි බුදුරජාණන් වහන්සේ යක්ෂ සේනාව දමනය කිරීම සඳහා ධර්මය දේශනා කළ හ. එම බණ ඇසු ඉතා විශාල පිරිසක් ධර්මාවබෝධය ලැබූහ. යක්ෂ ගෝත්‍රිකයන් රුදුරු ගති පැවතුම් ඉවතලා යහපත් පිරිසක් බවට පත්වීම ද මෙහිදී ඉතා වැදගත් වෙයි.

බණ අසා සෝවාන් බවට පත් වූ සුමන සමන් දිව්‍ය රාජයා විසින් “ස්වාමීනි අපට පූජාර්හ වස්තුවක් දුන මැනවැ”යි, ආයාචනා කරන ලදී. බුදුරජාණන් වහන්සේ ඔහුට කේශ ධාතු මිටක් දී පෙරලා උරුවෙල් දනව්ව බලා වැඩම වූහ. ඉක්බිති සුමන සමන් දිව්‍ය රාජයා බුදුරදුන්ගේ කේශධාතුන් වහන්සේ ස්වල්පය රන් කරඬුවක තැන්පත් කොට සත් රියනක් උස සෑයක නිධන් කළේ ය. එම සෑය ඉදිකළේ එදා බුදුරදුන් ධර්මය දේශනා කරමින් වැඩ සිටි ස්ථානයේ ම ය. මෙසේ ලෝකයේ ප්‍රථම දාගැබ වූ මහියංගණ දාගැබ බුදුරදුන් ජීවමාන ව සිටියදී ම නිර්මාණය කොට පූජෝපහාර දැක්වීමේ ගෞරවය සුමන සමන් දිව්‍ය රාජයාට හිමි වෙයි.

මෙකී මහියංගණ සෑය හෙවත් මියුගුණ සෑය ලොව ප්‍රථම බෞද්ධ සංකේතය වන අතර, ප්‍රථම ථූප මූර්තිය ද වේ. මියුගුණ සෑය එදා පටන් යක්ෂ, නාග දෙපිරිස ගේ ම වන්දනාමානයට ලක් විය.

කඤ්චුක චෛත්‍යය

පසු කාලයක සැරියුත් මහරහතන් වහන්සේ ගේ අතවැසි වූ සරභූ රහතන් වහන්සේ විසින් කුසිනාරා නුවර පිරිනිවී බුදුරදුන් ගේ ශ්‍රී දේශය ආදාහනය කළ චිතකයේ ගී‍්‍රවා ධාතූන් වහන්සේ ගෙන නිධන් කොට මියුගුණ සෑය වටකොට දොළොස් රියන් චෛත්‍යයක් ඉදි කරන ලදහ. එය පළමු චෛත්‍යය වට කොට කළ හෙයින්”කඤ්චුක චෛත්‍යය” නම් විය.

පසුකාලීන ව දේවානම්පියතිස්ස රජු ගේ සොහොයුරකු වු උද්ධ චූලාභය රජු මහානුභාව සම්පන්න වූ මෙම මනෝහර මියුගුණ සෑය දැක බෙහෙවින් තුටුපහටු වී දොළොස් රියන් සෑය වසා තිස් රියන් කොට සෑයක් කරවීය. දුටුගැමුණුූ රජු එම තිස් රියන් සෑය වසා අසූ රියන් උස්කොට කඤ්චුක චෛත්‍යයක් කරවීය. ඉන් පසු නොයෙක් කාල පරිච්ඡේදවල දී ගරාවැටුණු මෙම චෛත්‍යය ධාතුසේන, සිරිසඟබෝ , අග්බෝ. පරාක්‍රමබාහු ආදි ශ්‍රේෂ්ඨ නරවිරුවන් විසින් ප්‍රතිසංස්කරණය කරවන ලදහ.මේ වනවිට ලෝකයා ගේ වන්දනාමානයට යෝග්‍ය වන අයුරින් මියුගුණ සෑයෙහි සියලු ප්‍රතිසංස්කරණයන් නිමකොට තිබේ. අද අප දකින මියුගුණ සෑය බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිහිපත් කරවන ප්‍රබලතම සාධකයක් වනු ඇත.

බිම්බිසාර රජු ගේ ඉල්ලීම

ප්‍රථම ලංකාගමනයෙන් පසු බුදුරජාණන් වහන්සේ මගධයේ අධිපති බිම්බිසාර මහ රජු ගේ ආරාධනයෙන් උරුවෙල් දනව්වේ සිට දහසක් ජටිල රහතන් වහන්සේලා ද සමඟ රජගහ නුවරට වැඩම කළහ. "කිංසච්චගවේසී ව" සිටි සමයේ බිම්බිසාර මහ රජු කළ ඉල්ලීම ඉටු කිරීම එහි වැඩමවීමට හේතුවයි. එහිදී බිම්බිසාර මහරජු බුදුරදුන් හමුවීමට පැමිණියේ විසි දහසක් පමණ වූ පිරිසක් ද පිරිවරාගෙන ය. බුදුරදුන් රජු ප්‍රමුඛ පිරිසට ධර්මය දේශනා කළ අතර, මෙය බිම්බිසාර මහ රජුගේ ප්‍රාර්ථනා පහම ඉටු වූ අවස්ථාව විය. පසුව බිම්බිසාර මහරජු වේළුවනාරාමය බුද්ධ ප්‍රමුඛ මහ සඟනට පූජා කළේ ය. මෙම ප්‍රථම ආරාම පූජාවෙන් පසු වාසය සඳහා ආරාම පිළිගැනීම යෝග්‍ය බව බුදුරදුන් භික්ෂූන් වහන්සේලා සඳහා නියම කළේ ද මෙම දුරුතු මහේ දී ය.

තිරෝකුඩ්ඩ සූත්‍රය

වේළුවනාරාමය පූජා කළ දින රාත්‍රී බිම්බිසාර මහ රජු මහ හඬින් වැලපෙන පේ‍්‍රතයන් රාශියක් දුටුවේ ය. පසුදා මහරජු මේ බව බුදුරදුන්ට දැන්වීය. එසේ වැලපෙන්නේ පින් බලාපොරොත්තුව සිටින මහ රජුගේ ඥාති පේ‍්‍රතයන් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. ඉක්බිති ව උන් වහන්සේගේ අවවාද පරිදි බුදුපාමොක් මහ සඟනට දානය පූජා කළ රජු ඥාති පේ‍්‍රතයන්ට පින් අනුමෝදන් කළේ ය. පේ‍්‍රතයන්ට පින් අනුමෝදන් කිරීමේ දී බුදුරදුන් දේශනා කළේ “තිරෝකුඩ්ඩ සූත්‍රය”යි.මේ අනුව මිය ගිය ඤාතීන්ට පින් අනුමෝදන් කරවීමේ චාරිත්‍රය ආරම්භ වූයේ ද දුරුතු මහේ දී ය.

සිරිසඟබෝ රජු

මහියංගණ චෛත්‍යය අසල දී සිරිසඟබෝ කුමරු රාජ්‍ය අභිෂේකය ලැබුවේ ද දුරුතු පුර පසළොස්වක පොහොය දිනෙක දී ය. සිරිසඟබෝ රජු ක්‍රි.ව. 247 සිට 249 දක්වා ඉතා කෙටි කාලයක් තුළ දැහැමෙන් සෙමෙන් රට පාලනය කළේ ය. ඉතිහාසගත තොරතුරුවලට අනුව මෙම රජු අත්තනගල්ලේ දී තම හිස දන් දුන් බව කියැවෙයි. බුදු බව පැතූ බෝසත්වරයකු වශයෙන් සිරිසඟබෝ රජු ඉතිහාසගත වී ඇත.

  දුරුතු පුර පසළොස්වක 

ජනවාරි 28 බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.17 න් පසළොස්වක ලබා 29 සිකුරාදා පූර්ව භාග 00.46 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 28

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

Full Moonඅමාවක

පෙබරවාරි 11

First Quarterපුර අටවක

පෙබරවාරි 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]