[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කළු ධර්ම හා සුදු ධර්ම

කළු ධර්ම හා සුදු ධර්ම

"පවට දක්වන ලජ්ජාව හා බිය මනාසික දියුණුවේ ප්‍රතිඵලයකි. එසේම නීරෝගී මනසක් සහිත පුද්ගලයා හඳුනාගැනීමට එමඟින් පහසු වේ. වැරැදි කිරීමට පෙර තමා ගැන සිතීමෙන් ලජ්ජාවත්, ලෝකය ගැන සිතීමෙන් බියත් ඇතිකරගත යුතු වේ."

මහණෙනි සුදු ධර්ම (සුක්කා ධම්මා) දෙකක් ලෝකය පාලනය කරයි. ඒ කවරේද? පවට ලජ්ජා වීම හා පවට බිය වීමයි.

මහණෙනි මෙම සුදු ධර්ම විසින් ලෝකය පාලනය නොවන විට, ලෝකයෙහි මව යැයි කියා හෝ, සුළු මව යැයි කියා හෝ, නැන්දණියයැයි කියා හෝ, ගුරුවරයාගේ භාර්යාව කියා හෝ, ගරු කටයුත්තන්ගේ භාර්යාවෝ යැයි කියා හෝ වෙනසක් නොපෙනේ.

ලෝ වැසියා එළුවන් , කුකුළන් හා ඌරන් සේ ද, සුනඛයන් හා සිවල්ලු මෙන් ද සදාචාර සීමාවන් ඉක්මවත්.,

ඉතිවුත්තක පාලියේ දැක්වෙන මෙම බුද්ධ දේශනාවෙන් ඉදිරිපත් කෙරෙන කරුණු වර්තමාන සදාචාර පරිහානිය සම්බන්ධයෙන් විශේෂයෙන් වැදගත් වේ. ලෝක පාලක සුදු ධර්ම වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලජ්ජාව (හිරි) හා බිය (ඔත්තප්ප) යන දෙකයි.

මෙම සදාචාර ධර්ම සුදු යනුවෙන් හඳුන්වන්නේ වර්ණය පදනම් කරගෙන නොව සිත හෙවත් මනස පිරිසිදු කරන ධර්ම යන අර්ථයෙන් ය.

පවට දක්වන ලජ්ජාව හා බිය මනාසික දියුණුවේ ප්‍රතිඵලයකි. එසේම නීරෝගී මනසක් සහිත පුද්ගලයා කවරේදැයි හඳුනාගැනීමට එමඟින් පහසු වේ. වැරැදි කිරීමට පෙර තමා ගැන සිතීමෙන් ලජ්ජාවත්, ලෝකය ගැන සිතීමෙන් බියත් ඇතිකරගත යුතු වේ. එබැවින් ලජ්ජාව තමා අධිපතිකොට පවතින ධර්මතාවක් වන අතර, බිය ලෝකය අධිපතිකොට පවතින්නකි.

මේ අනුව පුද්ගලයා මෙන්ම ලෝකය පාලනය කරන සදාචාර ධර්ම දෙකක් ලෙස ලජ්ජාව හා බිය දැක්විය හැකි ය. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමා අධිපතිකොටගත් ලජ්ජාවත්, ලෝකය අධිපති කොටගත් බියත් නොමැති වූ විට පුද්ගලයා සදාචාරය ප්‍රතික්‍ෂේපකොට මව, සුළු මව, නැන්දනිය, ගුරු භාර්යාව හා වැදගත් කාන්තාවන් කෙරෙහි වරදවා පිළිපදින බවයි.

මෙසේ වරදවා පිළිපැදීම යනුවෙන් මූලික වශයෙන් අදහස් කෙරෙන්නේ අනාචාරයේ හැසීරීමයි. පවට ලජ්ජාව හා බිය නොමැති වූ විට පුද්ගලයා හැසිරෙන්නේ එළුවන්, කුකුලන්, ඌරන්, සුනඛයන් හා සිවලුන් වැනි තිරිසන් සතුන් හැසිරෙන ආකාරයට බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. එදිනෙදා විවිධ මාධ්‍ය වලින් අසන්නට හා දකින්නට ලැබෙන පුවත් පිළිබඳ අවධානය යොමුකළවිට බුදුරදුන්ගේ මෙම අදහස තහවුරු වේ. සියලු සදාචාර ධර්ම බිඳ දමමින්, කාන්තාවන්ගේ විලිබිය සිඳින විවිධ වයස් වලට අයත් පුද්ගලයන් පිළිබඳ කොතෙකුත් වාර්තා දක්නට ලැබේ. මේ සිදුවීම් කෙරෙහි බලපාන විවිධ හේතු අතර පුද්ගලයා තුළ ලජ්ජා බය දෙක නොමැති වීම එක් ප්‍රධාන හේතුවක් ලෙස අවිවාදයෙන් ම පිළිගත හැකි ය.අටුවාචාරීන් වහන්සේලාගේ විවරණය අනුව කරුණු හතරක් පදනම් කරගෙන ලජ්ජාව ඇතිකරගත යුතුවේ.

එනම් ජාතිය, වයස, දක්ෂතාව හා උගත්කමයි. මෙහි ජාතිය යනුවෙන් අදහස් වෙන්නේ තමන් අයත් ජනවර්ගයයි. එම ජන වර්ගය සතු ඓතිහාසික වටිනාකම් තේරුම් ගෙන, තම වයස හා පරිණත බව ගැන අවධානය යොමුකොට, තමා සතු විවිධ කුසලතා හා හැකියාවන් සැලකිල්ලට ගෙන, තමන්ගේ අධ්‍යාපන මට්ටම හා උගත්කම පිළිබඳ කල්පනා කොට පව්කිරීමට හා වැරදි කිරීමට ලජ්ජාව ඇති කරගතයුතු හෙයින් එය තමා අධිපතිකොට පවතින්නකි. එය පුද්ගල හෘදය සාක්ෂිය මත පදනම් වූවකි.

ඔත්තප්ප යනුවෙන් දැක්වෙන පව්කිරීමට ඇති බිය වනාහි, ලෝකාධිපති ධර්මයකි. එහිදී බාහිර සමාජය පිළිබඳ සාධකය සැලකිල්ලට යොමුවේ. තම ක්‍රියාව සම්බන්ධයෙන් සමාජය කුමන ආකල්පයක් දරන්නේ ද යන්න මෙමඟින් සලකා බැලේ. මේ යටතේ තමන් වෙත සාමාන්‍ය සමාජයෙන් එල්ලවන බලපෑම කෙරෙහි පමණක් නොව, ආධ්‍යාත්මික ඇස දියුණුකරගත් (දිබ්බචක්ඛු) ආධ්‍යාත්ම වේදීන්ගේ නිරීක්‍ෂණයට පවා තම සාවද්‍ය ක්‍රියාව යොමුවිය හැකිබව කල්පනා කළ යුතුයැයි දැක්වීමෙන් පැහැදිලි වන්නේ සමාජමය සාධකය කොතරම් ගැඹුරු අර්ථයකින් බුදුසමය සැලකිල්ලට ගෙන තිබේද යන්නයි. වරදක් කිරීම සම්බන්ධයෙන් සිව් ආකාරයක බියක් පුද්ගලයා තුළ ඇතිකරගත යුතුවේ. ඒ අනුව අත්තානුවාද භය හෙවත් තමාම තමන්ගේ සිතට චෝදනා කර ගැනීම පළමුවැන්නයි. නැතහොත් ආත්මාවලෝකනයයි. දෙවැන්න පරානුවාද භයයි. එනම් සමාජයෙන් තමාට ලැබෙන ගැරහුම් නින්දා අපහාස ගැන සැලකීමයි. වරදක් කළහොත් එයට කවර ආකාරයේ හෝ දඬුවමක් විඳීමට සිදුවේ.

ඇතැම් විට තර්කය උපයෝගී කරගෙන නීතියෙන් බේරිය හැකි අවස්ථා තිබුණත් හෘදය සාක්‍ෂියෙන් මෙන් ම කර්ම විපාකයෙන් නිදහස් විය නොහැකි ය. එසේ දඬුවමට ඇති භය දණ්ඩභය නම් වේ. බුදුසමයට අනුව කෙනෙකු කළ පාපයේ, අකුසලයේ ඵලවිපාක මේ ජීවිතයෙන් ම කෙළවර නොවේ. මරණින් පසුව දුගතියේ ඉපදීමට එය හේතුවක් විය හැකි ය. මරණින් පසුව තමාට විඳීමට සිදුවන සතර අපායාදී දුක් පිළිබඳ සැලකිල්ලට ගෙන, වරදින් නිදහස් වීම දුග්ගති භය නම් වේ.

මේ අකාරයට හෘදය සාක්‍ෂිය, සමාජමය බලපෑම, නීතිය හා කර්මය ගැන සැලකිලිමත් වී වරදට හා පාපයට බියක් ඇතිකරගැනීම සදාචාරමත් ජීවිතයකට අවශ්‍ය වේ.

හිරි යනුවෙන් හැඳීන්වෙන පව් කිරීමට ඇති ලජ්ජාවත් -ඔත්තප්ප යනුවෙන් දැක්වෙන පව් කිරීමට ඇති බියත් යන දෙකම නුවණැති පුද්ගලයා විසින් සැලකිල්ලට ගතයුතු ආකාරය පැහැදිලි කෙරෙන උපමා දෙකක් අටුවාචාරීන්වහන්සේලා විසින් ඉදිරිපත්කර තිබේ.

ඒ අනුව යකඩ ගුලි දෙකක් ගැන සැලකූ කල එක් යගුලියක් සිසිල් ය. නමුත් එය අසූචියෙන් තැවරී ඇත. අනෙක ගිනි ගෙන දිළිසෙන එකකි. නුවණැති පුද්ගලයා අසුචියෙන් තැවරී තිබෙන හෙයින් සිසිල් ය. ගුලිය ස්පර්ශ නොකරයි. එසේම රත් වී දිළිසෙන යගුලිය ස්පර්ශ කිරීමෙන් වළකින්නේ එයින් තම අත පිළිස්සෙන බැවිනි.

මේ ආකාරයට නුවණැති පුද්ගලයා පව් කිරීමට ලජ්ජාවෙන් එය පිළිකුල් කරයි. පව් කිරීමෙන් මෙලොව වශයෙන් ලැබෙන නින්දා අපහාස, ගැරහුම්, දඬුවම් ආදිය ගැන සැලකිලිමත් වීමෙන් පමණක් නොව මරණින් පසු දුගතියෙහි ඉපදීමෙන් ලැබෙන විවිධ දුක් වේදනාවන් ද සිහිකොට පව් කිරීමට බියක් ඇතිකර ගනී.

ගිහි වුව ද, පැවිදි වුව ද වැරැදි, පිළිවෙත වැරදියැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. එසේම ගිහි වුව ද පැවිදි වුව ද නිවැරදි පිළිවෙත නිවැරදි බවත්, එය උන්වහන්සේගේ පැසසුමට ලක්වන බවත් දේශනා කළහ. එබැවින් ගිහි පැවිදි සැම අයෙක්ම තමා තුළ වර්ධනය කරගතයුතු කුසල සහගත චෛතසික ධර්ම දෙකක් ලෙස හිරි ඔත්තප්ප දෙක නම්කළ හැකි ය.

මෙම කුසල සහගත චෛතසික ධර්ම පුද්ගල සන්තානයෙන් ඉවත් වූ විට නිර්මාණය වන්නේ ඉහතින් දැක් වූ බුද්ධ වචනය අනුව තිරිසන් ගති ඇති තිරිසනුන් මෙන් විලි බිය නැතිව හැසිරෙන මිනිසුන් ය.

එවන් මිනිසුන්ගෙන් යුක්ත සමාජයකින් සදාචාරය, නීතිය, යුක්තිය මෙන්ම හැදියාව, විනයගරුක බව අපේක්‍ෂා කළ නොහැකි ය. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය වූයේ පාපයට ලජ්ජා නොවීම (අහිරික) පවට බිය නොවීම (අනොත්තප්ප) යන කලු ධර්ම සන්තානයෙන් බැහැර කොට ඒ වෙනුවට පාපයට හා අකුසලයට ලජ්ජා වීම (හිරි), පවට හා අකුසලයට බිය වීම (ඔත්තප්ප) යන සුදු ධර්ම මනස තුළ වර්ධනය කරගැනීමයි. පුද්ගල සන්තානය තුළ මෙකී උත්තම සිතුවිලි වර්ධනය වූ පමණට සදාචාර සම්පන්න සමාජයක් නිර්මාණය වනු ඇත.

  උඳුවප්
අව අටවක 

 ජනවාරි 06 බදාදා පූර්ව භාග 04.03 අව අටවක ලබා 07 බ්‍රහස්පතින්දා පූර්වභාග
02.06 න් ගෙවේ.
බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 06

Full Moonඅමාවක

ජනවාරි 12

First Quarterපුර අටවක

ජනවාරි 20

Full Moonපසළොස්වක

ජනවාරි 28

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]