[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුන්ට හිරිහැර කළොත් විපාක භයානක යි

අනුන්ට හිරිහැර කළොත් විපාක භයානක යි

දුවේ, පුතේ, අපේ ජීවිතේ ලස්සන කරගන්න ඕන තරම් රසවත් කතා ජාතක පොතේ සඳහන් වෙනවා.

හොඳ ළමයෙක් වෙන්න කවුද අකමැති. පොඩි කාලේ හොඳ කතා ඉගෙනගෙන ලොකු වුණාම ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. මේ කතාව පන්සිය පනස් ජාතක පොතේ තෘතීය කච්චප ජාතක කතාවේ එන කතාවක්.

ඔන්න එකමත් එක කාලෙක වඳුරුහාමි කෙනෙක් හිටියා. මේ වඳුරුහාමි ටිකක් දඟයි. දවසක් කැලයේ අත්තෙන් අත්තට පැන පැන ගියා. ඉදුණු ගෙඩිවල රස බලමින් ගහෙන් ගහට පනින්න පටන් ගත්තා. ගස්වල අතුත් කඩාගෙන කෑවා. බිම හිටපු හාවකුට ගෙඩිවලින් ගහන්නත් පටන් ගත්තා.

මෙහෙම දඟ කරමින් යනකොට කවුදෝ ගහක් යට භාවනා කරනවා දැක්කා. වඳුරු හාමි ඉක්මනට ගහෙන් බැහැලා ඒ භාවනා කරන කෙනා දිහා බලාගෙන හිටියා. “කවුරු ද මේ තාපසතුමා” කියලත් ඇහුවා.

වඳුරුහාමි ටිකක් කල්පනා කළා. තාපසතුමාත් සද්දයක් නෑ. සැප පහසුකම් ගැනවත බැලුවේ නැහැ. බොහොම සන්සුන් විදියට තමන්ගේ පාඩුවේ භාවනා කළා.

දඹදිව හිමාල වනයේ ගඟක් අයිනේ තවුස් දම් රැකි මෙම තාපසතුමා දුටු වඳුරුහාමි ඉක්මනට ගහට නැඟලා කොළ ටිකක් කඩලා තාපසතුමාගේ ඇඟට දැම්මා. ගස්වලින් ගෙඩි කඩලා තාපසතුමාට ගැහුවා. තාපසතුමා නිකමටවත් ඒ කිසිදෙයක් ගණන් ගත්තේ නෑ. ඊට පස්සේ වඳුරුහාමි ගසෙන් බැහලා තාපසතුමාගේ උරහිසට නැඟලා කන්වලට ඇඟිලි ගැහුවා. කරදර කළා. වඳුරුහාමි මොනවා කළත් තාපසතුමා කිසිම සද්දයක් නැතිව පාඩුවේ භාවනා කළා. මේ විදියට වඳුරු හාමි හැමදාම තාපසතුමාට කරදර කළා.

කාලයක් ගත වුණා. දවසක් වඳුරුහාමි තාපසතුමා දකින්නට එන දවසක මඟදී අව්ව තපිමින් සිටි ඉබිහාමි කෙනෙක් දැක්කා. අව්ව තපිමින් කට ඇරගෙනයි, ඌ හිටියේ. වඳුරුහාමිට හරියට හිනා ගියා. නිකම් ඉන්න බැරි දඟකාර මේ වඳුරුහාමිට හිතුනා හොඳ වැඩක් කරන්න ඕනෑ කියලා. ළඟට කිට්ටු වුණා. සද්ද නොකර හෙමිහිට ඉබිහාමිගෙ කටට අත දැම්මා. ඒ විතරක් නෙමෙයි. කටට අත දාගෙන ඉබිහාමිට හිරිහැර කරන්න පටන් ගත්තා. ඉබි හාමිට හොඳට ම තරහ ගියා. ඉබිහාමි තරහ ගිහින් අත දමාගෙන හිටිය කට එක පාරට වැහුවා. “ඌයි බුදු අම්මෝ” කිය කියා වඳුරුහාමි හයියෙන් කෑගැසුවා. ඒත් ඉබිහාමි පොඩ්ඩක්වත් කට බුරුල් කළේ නෑ.

“දැන් කොහොමද ගලව ගන්නේ...” කල්පනා කළා. අත එහෙට මෙහෙට දැම්මා. වැඩක් උනේ නෑ. ඊට පස්සේ වඳුරුහාමි ඉබිහාමිවත් ඇදගෙන තාපසතුමා ළඟට ගියා.

අසරණ වූ වඳුරුහාමි තාපසතුමාට බැගෑපත් ව මෙහෙම අඬ අඬා කිව්වා. “අනේ තාපසතුමනි, මගේ අත මේ ඉබිහාමිගේ කටින් ගලවා දුන මැනවි.මට අනුකම්පා කළ මැනවි".

තාපසතුමා ඇස් ඇර බැලුවා. වෙනදා තමන්ව කරදර කරන වඳුරුහාමි, කරදරයකට පත්වී සිටින බව දැක්කා. මෝඩකමට කරන වැඩ කියලා තාපසතුමා ඉබිහාමිට කිව්වා. කට ඇරලා ඔය අත ගලවන්න කියලා.ඊට පස්සෙ ඉබිහාමි කට ඇරලා වඳුරාගේ අත නිදහස් කළා.

“නිකරුණේ අනිත් අයට හිරිහැර කළාම වෙන විපාක දැන්වත් ඉගෙන ගන්න කිව්වා. මීට පස්සෙ කිසිම කෙනෙකුට හිරිහැර කරන්න එපා කියලා අවවාද කළා.

ඔන්න දුවේ, පුතේ කුඩා කාලේ ඉඳලා ම අපි ඉගෙන ගන්න ඕන කාටවත් කරදර හිරිහැර කරන්න හොඳ නෑ කියලා.

  උඳුවප්
අව අටවක 

 ජනවාරි 06 බදාදා පූර්ව භාග 04.03 අව අටවක ලබා 07 බ්‍රහස්පතින්දා පූර්වභාග
02.06 න් ගෙවේ.
බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 06

Full Moonඅමාවක

ජනවාරි 12

First Quarterපුර අටවක

ජනවාරි 20

Full Moonපසළොස්වක

ජනවාරි 28

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]