[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මල් පිපෙන සදහම් අරණ

තුන්ලොව දිනූ සේක

බුදුවන බවට සලකුණු දැක සිහින පසින්
මිදුමට කෙලෙස් තිර අදිටන තැබුවෙ නිතින්
වැඳුමට දහම් කඳ සත වෙත සතර දෙසින්
සිදුවිය මාරසෙන් පැරදුම කුලුණු හදින්

වනසා ලෝ සතුන් කප් කෙළ විඳපු දුක
සනසා සියලු සත දම් ඔසුවකින් එක
සුන්කර කෙලෙස් මර සෙන් පුන් පෝදාක
තුන් ලොව දිනූ බුදු පිරිනිවී වැඩි සේක

****

කරුණාවයි කරුණාවයි සමන් දෙවිඳු කරුණාවයි

මහවැලි, කැලණි, කළු, වලවේ යන සිව් මහා නදී ආරම්භය සනිටුහන් කරන සමනොළ ගිරි සිරස මත අති රමණීය වූ තැනෙක ගෞතම බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී පා සටහන පිහිටුවා තිබේ. ඉන්ද්‍රනීල මාණික්‍යයක් මත පිහිටුවා ඇති සිරිපතුල සහිත පුණ්‍ය භූමිය සමන්ත කූට, සමන් කුළ, සමන් ගිර, සුමනමල, ශ්‍රී පාදය ආදී නොයෙකුත් නම්වලින් හඳුන්වනු ලබයි.

“කට පරිස්සම් කරගෙන” ශ්‍රද්ධාවෙන් වන්දනා කළ යුතු ශ්‍රී පාදය කරුණා කිරීමට ප්‍රධාන මාර්ග ද්විත්වයක් පවතී. ගෙත්තම්පාන, සීත ගඟුල, අහස් ගව්ව, මහගිරිදඹය පසුකර අතිදුෂ්කර ගමනකින් පසු සිරිපා මලුව තුළට පැමිණෙන්නන්ගේ සිතට දැනෙන්නේ බුද්ධාලම්බන පී‍්‍රතියකි. අඳුර දුරු කරන දොළොස් මහේ පහන, ඝණ්ඨාරය ශ්‍රී පාදයටම අනන්‍ය වූ සංකේත දෙකක් බඳු ය.

උඳුවප් පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ දී ඇරඹෙන සිරිපා වාරය වෙසක් පුන් පොහෝ දිනයෙන් අවසාන වේ. මැදින් පුර පසළොස්වක පොහෝ දා ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් ශ්‍රී පාද පුද බිමට පැමිණේ.

මෙසේ පැමිණෙන ඇතැම් පිරිස් ශ්‍රී පාද පරිසරයට පොලිතීන්, ප්ලාස්ටික් අපද්‍රව්‍යය මුදා හරිති. මේ නිසාම එම පරිසරය දූෂණය වී යන අතර, මෙම අයට සිරිපතුලේ මෙන්ම සුමන සමන් දිව්‍ය රාජයාගේ ද පිහිට ආරක්ෂාව නො ලැබී යයි. එම නිසා ලොව ගෞරවාදරයට පත් වූ, ආගමික සහජීවනයේ කේන්ද්‍රස්ථානය බඳු වූ මේ පුණ්‍ය භූමිය රැක ගැනීම බෞද්ධයන් වන අපගේ පරම පූජනීය වගකීමක් වේ.

****

වැඩිහිටියන්ට ගරු කරමු

වැඩිහිටියන්ට ගරු කරමු කී විගස මතකයට නැඟෙන්නේ වටු කුරුලු ජාතක කතාවයි. ශරීරයෙන් ඉතා කුඩා වුවත් වටු කුරුල්ලාට, අලියා සහ වඳුරා වැඩිහිටියකු ලෙස පිළිගෙන ගරු කරන්න සිතා ගත්තා. ඒ වගේම අපට නිතර ළඟින් මුණ ගැහෙන වැඩිහිටියන් වන්නේ අම්මා, තාත්තා, සීයා, අත්තම්මා, පාසලේ ගුරු භවතුන් සහ පන්සලේ හාමුදුරුවන් වහන්සේ ය.

අප ඒ අයගේ වචනයට ගරු කළ යුතුයි. ඔවුහු අපට ඔවදන් දෙමින්, ආදර්ශ දෙමින් බොහෝ උපකාරවෙති. ඒ අය ගැන දුක සැප සොයා බැලීම අපගේ යුතුකමයි. වැඩිහිටියන් ඉදිරියේ දෙදණ බිම තබා දොහොත් මුදුන් දී වැඳීමට පුරුදු විය යුතුයි. වැඩිහිටියන්ට සැලකිය යුතු බවට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ සේක.

****

අනගාරික ධර්මපාලතුමා

අපගේ පිනට පහළ වූ මෙතුමා සම්බුදු සසුන රැක ගැනීමට මහත් වෙහෙසක් හා උත්සාහයක් ගත් උත්තමයෙකි. මෙතුමා තමන්ගේ වාහනයේ ගව මස් නොකව්, මත්පැන් නොබොව් යනුවෙන් ප්‍රදර්ශනය කරමින් රට වටේ ගමන් කරන්නට විය. නිදාගෙන සිටි සිංහලයන් අවදි කරවමින් රට දැය බේරා ගන්නට කටයුතු කළ ශ්‍රේෂ්ඨවරයකු ලෙස ද මෙතුමා හඳුන්වන්නට පුළුවන්. මෙතුමාගේ පියා දොන් කරෝලිස් හේවාවිතාරණ ය. මව මල්ලිකා හේවාවිතාරණ ය. මෙතුමා කුඩා කල හඳුන්වා තිබෙන්නේ ඩේවිඩ් හේවාවිතාරණ යන නමිනි. මෙතුමා තම නම වෙනස් කරමින් අනගාරික ධර්මපාල යන නම භාවිත කළේ ය. පසුව මෙතුමා සම්බුදු සසුනේ උතුම් වූ පැවිද්ද ලබා ගත්තේ ය. අනගාරික ධර්මපාලතුමාට අපි සදා ණය ගැති වෙමු.

****

ආලෝකයක් වෙමි

ඉපදී මැරී යළි ඉපදෙන සසර පුරා
අනියත ජීවිතය පැවසේ දහම පුරා
හදවත් කුටියෙ බුදුහිමි වැඩ සිටින තුරා
මම හැම දිනයකම සිල්පද රකිමි සදා

හොඳ දේ නරක ලෙස පෙන්වන ලෝකයක
ජීවත්වීම අසීරුයි කළඹයි මනස
මම සිසුවෙක්මි දහමට බර නැණ පියස
ආලෝකයක් වෙමි දිනකදී මව් බිමට

****

පියුම් විල

****

අපේ ගම

  උඳුවප්
අව අටවක 

 ජනවාරි 06 බදාදා පූර්ව භාග 04.03 අව අටවක ලබා 07 බ්‍රහස්පතින්දා පූර්වභාග
02.06 න් ගෙවේ.
බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 06

Full Moonඅමාවක

ජනවාරි 12

First Quarterපුර අටවක

ජනවාරි 20

Full Moonපසළොස්වක

ජනවාරි 28

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]