[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රෝමය මහාධිරාජ්‍යයක් කළ පතාක යෝධයා අවසන් ගමන් ගිය හැටි

රෝමය මහාධිරාජ්‍යයක් කළ පතාක යෝධයා අවසන් ගමන් ගිය හැටි

කි‍්‍රස්තු පූර්ව 51 වසර වන විට ජූලියස් සීසර් ගැලික් යුද්ධය දිනා, රෝම සිවිල් කැරලි ජයගෙන අධිරාජ්‍යත්වයට පත්වූයේ ය. සතුරන් නො අඩු වූ රෝම අධිරාජ්‍යයෙහි සීසර්ට සිටි මිතුරන් අතරින් ඔහු තදින් විශ්වාස කළේ මිතුරන් අතළොස්සක් පමණි.

ඒ අතරින් රෝම සෙනෙට් සභික ජූනියස් බෲට් ඔහු තදින් ම විශ්වාස කළ මිතුරෙක් විය. සීසර්ගේ රාජ්‍ය හා පෞද්ගලික රහස් පවා දැනසිටි කිහිපදෙනාගෙන් කෙනෙකු වූ හෙතෙම රෝම රාජකීයයන්, සෙනෙට් සභාව හා සීසර් එක් කළ එකම පාලම වූයේ ය.

කි‍්‍ර පූ. 48 වන වසරේ පැවති සීසර්ට විරුද්ධ කැරැල්ලට නායකත්වය දුන් නමුත්, එසේ කළේ රෝමයට ඇති ප්‍රේමය මතය යන්න විශ්වාස කළ සීසර් තම අතිජාත මිතුරාට සමාව පවා ප්‍රදානය කළේ ය. එම යුද්ධයෙන් පසුව ද අධිරාජ්‍ය බෲටස් තදින් විශ්වාස කළ අතර, මිත්‍රත්වය එලෙසම පවත්වාගෙන ගියේ ය.

එනමුත් බෲටස් දුර නොසිතන, ලෙහෙසියෙන් නම්මාගත හැකි, අනුවණ දේශප්‍රේමියකු වූයේ ය. රෝම කැබිනට් මණ්ඩලයේ කැසියස්, පොම්පේ ආදී සීසර්ට ඉරිසියා කළ නායකයෝ සීසර් රෝමය විනාශ කරතැයි ද, බෲස්ට පමණක් රෝමය බේරාගත හැකියැයි ද ඒත්තු ගන්වා ලෙහෙසියෙන් ම බෲටස් සීසර්ගේ විරුද්ධවාදියකු කළේ ය. කි‍්‍ර. පූ. 44 වසරේ මාර්තු 15 වනදා කුමන්ත්‍රණයකින් සීසර් පාර්ලිමේන්තුවට ගෙන්වාගත් ඔහුගේ සතුරෝ පිහි පහර දී සීසර් මරා දමන්නට පටන් ගත්හ. ඔවුන් හා සටනට සූදානම් වූ සීසර්ගේ පිටුපසින් ඇතුළු වූ කිණිසි පහරින් ඔහුගේ පපුව විනිවිද ගියේ ය.

සීසර් පිටුපස බැලුවේ ය.

“අනේ, බෲටස්, ඔබත්?“

ඔහුට කීමට හැකිවූයේ එපමණි. එම මිත්‍ර ද්‍රෝහීත්වයේ පහර අන් සියලු කිණිසි පහරවලට වඩා අධිරාජයාට දැනිණි. රෝමය මහාධිරාජ්‍යයක් කළ පතාක යෝධයා නිසලව බිම වැතිරිණි.

ජූලියස් සීසර්ගේ ආදාහනය දා රෝම යුධ හමුදාපති මාක් ඇන්තනි කළ ගුණ කතාවෙන් පසු සීසර් කළ මෙහෙය තේරුම්ගත් හෙතෙම පසුතැවිලි වූයේ ය. අධිරාජයාගේ අන්තිම කැමති පත්‍රයේ සීසර් පුත් ඔක්ටේවියස්ට පසු රෝම අධිරාජ්‍ය තනතුරට තමා පත්කර ඇති බව දැනගත් බෲටස් දෙදණ බිම ඇණ මහ හඬින් සමාව ඉල්ලා හඬන්නට පටන් ගත්තේ ය.

“අනේ සීසර්, මේ මිත්‍ර ද්‍රෝහියාට සමාවෙන්න.

ඕනෑම මිනිසකුට සතුරකුගේ ගැහැට ඉවසිය හැකි ය. එනමුත් මිතුරු වෙසින් සිටින පාප මිත්‍රයන්ගේ ගැහැට ඉසිලීම ඉතාමත් වේදනාකාරී වේ. එහෙත් අධම වූ පාප මිත්‍රයන්ගෙන් වෙන් ව, උතුම් කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීමට ම භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක්. පාප මිත්‍රයන් යනු කවුදැයි මනා පැහැදිලි කරදුන් සේක.පාප මිතුරා බාහිර පෙනුමෙන් කිසිසේත් හඳුනාගත නො හැකි ය.

අලංකාර ලෙස නිමවන ලද මැටි කුණ්ඩලාභරණයක් සේ, රත්තරන් ගෑ ලෝහ කාසියක් සේ ආදර බස් තෙපළාගෙන, මුව පුරා සිනාසීගෙන පැමිණෙන ඔව්හු සිය මිතුරාගේ, මිතුරියගේ ජීවිතය විනාශ කර දමන්නේ ලේ සාරය මදින් මද උරා බොන, රෝග බීජ පමණක් ඉතුරු කොට යන මදුරුවන් මෙනි. එවැන්නෝ සැඟවුණු සතුරන් හෙයින් වහා නොපෙනෙති. ඒ බව දත් අපේ පැරැන්නෝ

“ ගී කිය කියා ලේ බොන මදුරුවට වඩා

කොටියා හොඳයි එකපාරට පනින කඩා“ යනුවෙන් පැවසූයේ මේ කරුණ මුල් කොටය.

පාප මිත්‍රයෙකු සතු ප්‍රධාන ලක්ෂණ තුනක් භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

දුච්චින්තිතිචිත්තී - හෙතෙම සිතන්නේ වැරැදි අයුරිනි. ඇති අකුසල් දුරු කිරීමටත්, නැති අකුසල් දුරින් දුරු කර දැමීමටත්, ඇති කුසල් පවත්වාගෙන යාමටත්, නැති කුසල් ඇති කරගන්නටත් හෙතෙම උත්සාහ නොදරයි.

ඒ වෙනුවට හෙතෙම ඇති අකුසල් හෙවත් අයහපත දිගටම පවත්වාගෙන යාමටත්, නැති අයහපත ඇති කර ගැනීමටත්, ඇති යහපත නැති කරගන්නටත්, නැති යහපත දුරින් දුරැලීමටත් තම සිත මෙහෙයවයි.

දුබ්භාසිතභාසී - එම වැරැදි සිතීම් පටිපාටිය නිසාම යහපත් වදන් අත්හැර අයහපත් වදනම කතා කරන කෙනෙකු බවට පත්වේ. එවැන්නන්ගේ වදන් බොරුව, කේලම්, ඕපාදූප, වෛරය හා කෝපය අවුලවන, බස රළු, අසත්‍ය හා කටුක වදනින් පිරී තිබේ. එහෙත් සිය මිතුරා වරදින් මුදවා ගැනීමට කටුක වදන් තෙපළන්නා පාප, මිත්‍රයෙකැයි වැරැදියට නොගත යුතු ය.

“නැහැ, බැහැ හරියන්නේ නැහැ, ඕවා කරලා කාටද හරිගියේ“ වැනි අසුභවාදී වැකි මොවුන් නිතර භාවිත කරමින්, මිතුරන්ගේ වීර්යය මොටකිරීමට හපන් ය.

දුක්කත කම්මකාරී - සිත මුල්කර සියල්ල කෙරෙන හෙයින් එබඳු පාප මිතුරෝ හිංසනය, සත්ව ඝාතනය, සොරකම, වංචාව, කාමයේ වරදවා හැසිරීම, මත්ද්‍රව්‍යය භාවිතය, වැනි අකුසලයන්හි නිරතුරුව යෙදෙති. ඒවායේ ගුණ කියමින් තම මිතුරන් ඇතුළු අන් අය ද ඊට පොළඹවති. එයට සම්බන්ධ නොවේ නම් හිංසා කරති. ගර්හා කරති. ඇනුම්පද කියති. එබඳු අයට හසුව දුකට වැටුණ මෝඩ මිතුරෝ බොහෝ ය.

සත්පුරුෂ මිත්‍රයන් හා වන විරසක වහා සමනය වන නමුදු, පාප මිත්‍රයන් හා වන විරසක මැටි බඳුන් බි¼දීමක් බඳු බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. පාපී අදහස් හතක් ඔවුන් තුළ ඇති හෙයින් ඔවුන් හා මිත්‍රත්වය දිගුකල් නොපවතියි.

මහිච්ඡතාවය - මිතුරන්ගෙන් කොතෙක් ලදත් පාප මිත්‍රයා සෑහීමට පත් නොවේ.

මසුරුකම - තමාගේ දෙයක් තම මිතුරන්ට දීමට නො කැමැති ය.

අකෘතඥබව - කෙතරම් උපකාර කළ ද පාප මිතුරා ඒ පිළිබඳ ස්තූතිවන්ත නොවේ. කළගුණ නොසලකා අමතක කරයි.

අමනෝඥ බව - කිසිවක් සොයා නොබලා කටයුතු කරයි.

වංක අදහස - පාප මිතුරා කියන දේ නොකරයි. කරන දේ නොකියයි. නොකරන දේ කියයි. සඟවා ආත්මාර්ථව කටයුතු කරයි.

වරද නොදකින බව - තමා අතින් වරදක් වූ විට සමාව නොඉල්ලා ඊට දහසක් හේතු දක්වයි. වරද නොපිළිගනියි.

කේළාම් ඇදහීම - පාප මිත්‍රයා සිය මිතුරාට විශ්වාසය අඟවා සිටින හෙයින් කේළාම් අදහයි. එබන්දෝ කේළම් නිසා වහා මිත්‍රත්වය අත්හැර යති.

පුද්ගල වශයෙන් පාප මිත්‍රයෝ සතරාකර වන බව භාග්‍යවතුන් වහන්සේ සිඟාල සිටු පුත්‍රයාට විස්තර කළහ.

****

ගන්නට පමණක් බලා සිටියි

ගන්නට පමණක් බලාසිටන පාප මිත්‍රයෝ කිසිත් මිතුරාට නොදෙයි. දීමට සිදුවන තැන දෙන්නේ ඇඟෙන් ඇටයක් දෙන තරම් අමාරුවෙනි. සුළු දෙයක් දුන් පසු බෙහෝ දේ ඔවුහු යළි බලාපොරොත්තු වෙති. නැතිනම් තමාට භයක්, දුකක්, අපහසුවක්, අගහිඟයක් ආ විට ප්‍රයෝජනයට ගන්නට හෝ පක්ෂව තබා ගන්නට හෝ සුඵවෙන් දෙති. තම ප්‍රයෝජනය ගැන සිතා මිස මිත්‍රයාට ආදරයෙන් ඔව්හු උපකාර නොකරති.

අතීතයෙන් හා

අනාගතයෙන් සංග්‍රහ කරයි

වැඩ නැතත් කතාවෙන් පමණක් උපකාර කරන යහළුවෝ මොවුන් ය. අමාරුකමක් වූ පසු ඔවුන් වෙත ගිය විට “කලින් කියන්න තිබුණා නේද? අනේ ඊයේ පෙරේදා කීවානම් ඒ උදව්ව කරන්න තිබුණා. ඒත් දැන් නම් කීයටවත් බැහැය“ යනුවෙන් අතීතයෙන් ද, අනේ පස්සේ වෙලාවක නම් පුළුවන් වේ ය. දැනට නම් කරන්නට ගොඩක් වැඩ තිබෙනවා ය. කියා අනාගතයෙන් ද සංග්‍රහ කරන්නේ කටින් බතල සිටවන ආකාරයේ පාපී මිතුරෝ ය. තමාගේ වැඩකට ඉතා හදිසි කරතත්, මිතුරාගේ වැඩවල දී නොයෙක් අමාරුකම් නිසා මොව්හු මඟහරිති.

ඇති තැන ගුණ කතා කරයි

කොයි දෙයටත් හොඳ නරක නොසලකන, මිතුරාගෙන් ලැබෙන ලාභ ප්‍රයෝජන පිණිස, හොඳ හිත තකා තම මිතුරා කරන සෑම හරි වැරැදි දෙයට ම “ඒකත් හොඳයි, මේකත් හොඳයි“ කියා හූමිටි තබන මිතුරා මොහු ය. සියලු කටුතුවල දී හා හූ කියා, ඇතිතැන ගුණ කතාකොට, නැති තැන මිතුරා විවේචනය කරමින් සමච්චල් කරන, නින්දාවට අවඥාවට භාජනය කරන මොහු ඇසුරට භයානක ම මිතුරෙකි.

අපායේ මිතුරා

අපායට සහාය වන හෙයින් “අපායේ මිතුරා“ නම් විරුදාවලි ලබන මොහු පාප මිතුරන් අතර ඉතා භයානක ම පුද්ගලයා ය. යහපත් කටයුත්තෙහි මිතුරා මගහරින හෝ අයහපත් කටයුතුවල දී ගජ මිතුරකු වෙයි. සිය මිතුරාගේ ඇති යහපත නැති කිරීමටත්, අයහපත වර්ධනය කිරීමත් මොහු දැඩිව දායක වෙයි. මත්ද්‍රව්‍ය හා දුම්වැටිවලට අනාචාරයට, සොරකමට, සූදුවට හා නා නා අනෙක් ඇබ්බැහිවලට හසුව ජිවිතය විනාශ කරගත් හෝ කරගනිමින් සිටින බොහෝ දෙනෙකුගේ මුල අපාය සහායකයකුම වේ.

කෙතරම් බලවත්, තෙදවත් හා ධනවත් වූවත්, පාපමිත්‍රයා නුවණැත්තන් විසින් ආශ්‍රය නොකළ යුත්තේ ය. යහපත් මිතුරෙකු නැති නම් තනිව සිටිය යුතු ය. මන්ද වස රන් බඳුනක තිබුණ ද එය පානය මරණය පමණක් ගෙන එන හෙයිනි.

  උඳුවප්
අව අටවක 

 ජනවාරි 06 බදාදා පූර්ව භාග 04.03 අව අටවක ලබා 07 බ්‍රහස්පතින්දා පූර්වභාග
02.06 න් ගෙවේ.
බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 06

Full Moonඅමාවක

ජනවාරි 12

First Quarterපුර අටවක

ජනවාරි 20

Full Moonපසළොස්වක

ජනවාරි 28

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]