[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

චිත්ත පීඩාවෙන් මිදෙන්න නිතර මෙත් වඩන්න

චිත්ත පීඩාවෙන් මිදෙන්න නිතර මෙත් වඩන්න

මොනම හේතුවකින්වත් වෙනස් නො වන මහා මෛත්‍රියක් හිමි උතුමාණෝ අප භාග්‍යවත් අරහත් බුදුරජාණෝ ය.

මෙත් සිසිලසින් පිරි හද අරණින් හමා එන මද පවනක් සදිසි අමා බණ පදයේ මිහිරාවයෙන් දෙවි මිනිසුන්ගේ ජීවිත සුවපත් කළ ඒ විරාගී ධර්ම රාජයන් වහන්සේ හැර සත්ත්වයන්ට අන් පිළිසරණක් නැත්ම ය. අප ලැබූ මිනිසත්බවෙහි වටිනාකම පෙන්වා දුන් බුදුරජාණන් වහන්සේ දුකින් පිරුණු සසර ගමනින් අතමිදීම පිණිස පුහුණු කළ යුතු ගුණ ධර්ම අතර මෙත්සිත වැඩීමේ ආනිශංස එකොළහක් වදාළහ.

සියලු සත්ත්වයන් අරමුණු කරමින්, තරහවෙන්, වෛරයෙන් තොර වූ, මිතුදමින්, හිතෛෂීභාවයෙන් යුක්ත වූ සිතින් වාසය කිරීම මෙත්සිත වැඩීම නම් වේ.

එය ශාන්ත විහරණයකි, එමඟින් ලැබෙන පළමු ආනිශංසය නම් සුවසේ නින්දයාමයි. ලෝකයේ බොහෝ පුද්ගලයන්ට සුවදායක නින්දක් නො ලැබේ. නොයෙක් මානසික ආතතීන් හේතුවෙන් රාත්‍රිය පුරා කල්පනා කරමින්, හරිහැටි නින්දක් නො ලබා, ආයාසකර ජීවිත ගත කරමින් ජීවිතය වදයක් කරගත් උදවිය මෙත්සිත වැඩීම හුරු කරගතහොත් ඉතා සුවදායක නින්දක් ලැබෙනු ඇත.

කිසිදු අපහසුවකින් තොරව නින්දෙන් අවදිවීමට හැකිවීම මෙත් වැඩීමෙන් ලැබෙන දෙවන ප්‍රතිලාභය යි. උදෑසන අවදිවීම බොහෝ දෙනාට පීඩාවකි. එහෙත් මෛත්‍රී භාවනාව ටික වේලාවක් සිදුකොට නින්දට ගිය පුද්ගලයාට තමා කැමති වේලාවක කිසිදු ප්‍රමාදයකින් තොරව නින්දෙන් නැගිටීමේ හැකියාව ඇති වේ.

එහෙ මෙහෙ අත පෙරළෙමින්, නැවත නිදමින් කම්මැලි වී බොහෝ කටයුතු අතපසු කරගෙන පීඩා විඳීමට වඩා කලට වේලාවට අවදි වී තමා විසින් කළමනා කටයුතු අප්‍රමාදී ව සම්පාදනය කිරීම දියුණුවට කාරණයකි. ඒ සඳහා මෛත්‍රී භාවනාව අතිශයින් උපකාරක ධර්මයකි.

නපුරු සිහින නො පෙනීම මෙත්වැඩීමෙන් ලැබෙන තෙවන ආනිශංසය යි. ඇතැම්හු නින්දට වැටුණ මොහොතේ පටන් කෙඳිරිගාමින්, දොඩවමින්, දත්මිට හපමින් මුඛවිකාරයන් හා හස්තපාද විකාරයන් දක්වති. එහෙත් මෛත්‍රී භාවනාව ප්‍රගුණ වූ පුද්ගලයන්ට කිසිදු නපුරු සිහිනයක් නො පෙනේ. යම් හෙයකින් සිහිනයක් පෙනෙයි නම් චෛත්‍ය, බෝ මලු, පෙතිපිළිම, භික්ෂූන් වහන්සේලා යනාදී යහපත් දේ දක්නට ලැබේ. කිසිදු බියක් ඇති නොවේ. සුවපත් වූ නින්දක් ලැබීමට මෙත් සිත වැඩීම ඉවහල් වේ.

මිනිසුන්ට පි‍්‍රය පුද්ගලයකු වීම මෙත්තා භාවනාවෙන් ලැබෙන සතරවන ආනිශංසය යි. මෙලොව උපන් මිනිසාට කිසිදු පුද්ගල සබඳතාවකින් තොරව තනියම ජීවත් විය නො හැකි ය. බොහෝ දෙනාගේ පිහිට උපකාරය අවශ්‍ය වේ. එහිදී සමාජයේ බොහෝ දෙනාට පි‍්‍රයමනාප අයකු වීම ඉතා වැදගත් වේ. අන්‍යයන්ගේ ආදරය අනුකම්පාව ලැබීමට සියල්ලන්ම පාහේ කැමති වේ. එහෙත් මෛත්‍රියෙන් තොරව එය ලද නො හැකි ය. මෛත්‍රී අරමුණෙහි සිත වැඩීම මගින් එම පුද්ගලයා බොහෝ දෙනාගේ ආදරයට බඳුන් වේ. ඔහු හා කතා කිරීමට, කටයුතු කිරීමට කැමති වේ. සතුරන් නැත්තෙක් වේ. මිතුරන් ඇත්තෙක් වේ.

අමනුෂ්‍යයන්ට පි‍්‍රය වීම මෙත් වැඩීමෙන් ලැබෙන පස්වන ප්‍රතිලාභය යි. යක්ෂ, ප්‍රේත, කුම්භාණ්ඩ, දේව, බ්‍රහ්මාදීන්ගේ හිතවතකු වීමට හැකිවීම මිනිසකුට ලැබෙන වාසනා ගුණයකි. දේවාදීන්ගේ පිහිට ලබා අනතුරු, බාධක මඟහරවාගෙන ජීවත් වීමට නම් අනන්ත සත්ත්වයන්ට කිසිදු භේදයකින් තොරව මෙත්සිත පැවැත්විය යුතු ය.

මවක විසින් තම එකම පුතු රක්නාක් බඳුව දෙවියන් විසින් මෛත්‍රී වඩන්නා ආරක්ෂා කරනු ලබන බව බුදුරජාණන් වහන්සේ විසින් වදාරා ඇත. එය මෙත්සිත් වඩන්නාට ලැබෙන සවැනි ආනිශංසය යි.

දෙවියන්ගේ ආරක්ෂාව ලබන්නා වූ පුද්ගලයකුට කිසිදු චිත්ත පීඩාවකින් තොරව සුවසේ ජීවත් විය හැකි ය.

ගින්නෙන්, ජලයෙන්, වසංගතයකින්, අවි ආයුධයකින්, මදුරු වසංගතාදියකින් කරදරයක් නො වීම මෙත්තා භාවනාව වඩන්නකුට ලැබෙන සත්වැනි ප්‍රතිලාභය යි. මෙම යුගය ගිනිබිය, ජලබිය ආදියට නිතර නිතර මුහුණ පාන්නට සිදුවන කාලවකවානුවකි. පුද්ගලයන් අතර ද්වේශය බහුල වීම ඊට බලපාන ප්‍රධානතම හේතුව යි. එහෙත් ඒ පිළිබඳ බොහෝ දෙනාගේ අවධානයක් යොමු වී නැත.

මෙත්තානිසංස සූත්‍රයේ දැක්වෙන පරිදි යම් ජන සමාජයක පුද්ගලයන් ඔවුනොවුන්ට මෙත්තා සහගත කාය, වාග්, මනෝ, කර්ම පවත්වයි නම්, එකී සියලු අනතුරු අවම කරගත හැකි ය.

ඉක්මනින් ම සිත සමාධිමත් වීම මෙත් වැඩීමෙන් ලැබෙන අටවන ආනිශංසය යි. තමා පුරුදු කරනු ලබන ඕනෑම භාවනාවකින් සිතේ සමාධියක් ඇතිකර ගැනීමට මෛත්‍රිය උපකාර වේ.

ද්වේශය යනු නීවරණ ධර්මයකි. බලවත් කිලුටකි. එය ඇතිතාක් අරමුණෙහි ගැටෙනසුළු බව උත්සන්න වේ. පුද්ගලයකුට දිනක් තුළ මුහුණ දීමට සිදුවන අරමුණුවලින් වැඩි කොටසක් සිතේ ද්වේශය ඇතිවීමට හේතු වේ. මෙත්සිත ප්‍රගුණ නො කළහොත් දවස පුරාම ද්වේශයෙන් සිටීමට සිදුවේ. එවිට සියලු කටයුතු අවුල් සහගත වේ. සිතේ තැන්පත් බවක් ඇති නොවේ. එහෙත් මෙම මෙත්තා භාවනාව ප්‍රගුණ කරගැනීමෙන් තැන්පත් සිතකින් යුතුව ජීවිතය ගෙවාගත හැකි ය. ප්‍රථමාදී ධ්‍යාන සමාධීන් උපදවාගත හැකි වේ.

මුහුණේ වර්ණය ප්‍රසාදජනක වීම මෙත් වඩන්නාට ලැබෙන නව වන ආනිශංසයයි. ලස්සන වීමට සියල්ලෝ කැමති වෙති. ඒ වෙනුවෙන් බොහෝ වියපැහැදම් කරති.

එහෙත් තමා බලාපොරොත්තු වන දැකුම්කලු බව නො ලබති. ඇතුම්හු ස්වභාවිකවම ප්‍රසාදජනක වෙති. ඔවුන් පෙර ජීවිතයේ දී මෙත්තා භාවනාව ප්‍රගුණ කර තිබීම ඊට හේතුව යි. යමෙක් නිරන්තරයෙන් මෙත්සිත වඩයි නම් ඔහුට උපතින් දැකුම්කලු බවක් නො ලැබුණ ද අමුතු පැහැපත් බවක් ඇති වේ.

නුමුලාව කලුරිය කිරීම මෙත් වඩන්නාට ලැබෙන දසවන ආනිශංසය යි. මරණාසන්න මොහොත යනු ඉතා වේදනාකාරී අවස්ථාවකි. එහිදී බොහෝ දෙනාගේ සිත විසිරී ගොස් පාපී සිතිවිල්ලෙන් භරිත වේ. එවැන්නෙක් මරණින් මතු සුගතියට නො යයි. එහෙත් මෙත්තා භාවනාව ප්‍රගුණ කළ අයකු මරණාසන්නයේ දී කිසිදු තැති ගැනීමකට පත් නොවේ. මාරාන්තික වේදනාවේදී පවා සිහි ඇතිව කටයුතු කරයි. චිත්ත වික්ෂේපයකට පත් නොවී ජීවිතාවසානයට මුහුණ දීමට නම් මෙත් වැඩීම කළ යුතු බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදී.

මෛත්‍රී සිසිලසින් මරණ දුක පවා නිවාලන බැවින් වෛරය, තණ්හාව වෙනුවට මෙත්තා ගුණය හදවතේ ඇතිකර ගත යුතු ය.

මෙත්තා භාවනාව වඩන්නා එමඟින් විදසුන් නුවණ උපදවා මේ ජීවිතයේ රහත් වී පිරිනිවන් නො වැඩියහොත් මරණින් මතු බ්‍රහ්මලෝකයේ උපදින්නට හැකිවීම එකොළොස්වන මෙත්තානිසංසය යි. අයහපත් තැනක ඉපදීම බලවත් අනතුරකට වැටීමකි. එහිදී බුද්ධෝත්පාදාදී දුර්ලභ අවස්ථා බොහෝ සෙයින් මඟහැරී යනු ඇත. සුගතියක උපත ලැබීම ද පහසු නො වේ. මනුලොව ඉපදීමට වඩා දෙව්ලොව ඉපදීම අසීරු වේ. බඹලොව ඉපදීම ඊටත් වඩා අසීරු කටයුත්තක් වන්නේ ඒ උදෙසා ධ්‍යාන උපදවාගත යුතු බැවිනි.

එහෙත් ඉහත කී මෙත්තා භාවනාව වඩන්නාට එමඟින් ධ්‍යාන උපදවා අපහසුවකින් තොරව බ්‍රහ්මලෝකයේ උපත ලද හැකි ය. එහිදී ඔහුට බුද්ධෝත්පාදාදිය මඟහැරෙන්නේ ද නැත.

එකී එකොළොස් වැදෑරුම් ආනිශංසයන් ලැබීමට නම් පිළිවෙලකට මෛත්‍රී වැඩීම පුරුදු කරගත යුතු ය. එහිදී පළමුව තමාට ද, දෙවනුව පි‍්‍රයයන්ට ද, තෙවනුව මැදහත් සත්ත්වයන්ටද සතරවනුව අපි‍්‍රයයන්ටද මෙත් වැඩීම සම්මත ක්‍රමය යි. අනතුරුව එම පුද්ගල කොට්ඨාස සතරට ම වෙනසක් නොකොට සමතැන තබා මෙත් වැඩීමට හැකිවන පරිදි හොඳින් පුහුණුවීම වැදගත් වේ.

තමාට මෙත් සිත වැඩීමේ දී ‘මම වෛර නැත්තෙක් වෙමි, තරහා නැත්තෙක් වෙමි, දුක් පීඩා නැත්තෙක් වෙමි, සුවසේ ජීවත් වෙමි, යන අදහස් වෙන වෙනම සිතට කාවද්දා ගත යුතු ය. අනතුරුව ඉහත දැක්වූ හිතවත්, මැදහත්, අහිතවත් පුද්ගල කොට්ඨාසයන් අරමුණු කරමින් මෙත් වැඩීම සිදුකරනු ලැබේ. මෙලෙසින් දීර්ඝ කාලයක් සිත පුහුණු කිරීම මඟින් මෛත්‍රී ධ්‍යාන උපදවා එය විදර්ශනාවට පාදක කර ගනිමින් මගඵල නිවනින් සැනසීමේ වාසනාව හිමි වේ.

ද්වේශයේ ආදීනවයත්, මෛත්‍රියේ ආනිශංසයත් සිහි කරදීම මෙම කෙටි ලිපියේ අරමුණයි. මෛත්‍රී භාවනාව පුහුණු කරන්නා අවශ්‍යයෙන් ම විසුද්ධි මාර්ගයේ බ්‍රහ්මවිහාර නිර්දේශය කියවා ගැනීම මැනවි. සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා.

  උඳුවප් පුර
පසළොස්වක 

දෙසැම්බර් 29 අඟහරුවාදා පූර්වභාග 07.54 න් පසළොස්වක ලබා 30 බදාදා පූර්වභාග
8.58 න් ගෙවේ.
අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29

Second Quarterඅව අටවක

ජනවාරි 06

Full Moonඅමාවක

ජනවාරි 12

First Quarterපුර අටවක

ජනවාරි 20

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]