[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දරුවන් නිසා පැවිදි බිමට ගිය රාධ බමුණාගේ කතාව

දරුවන් නිසා පැවිදි බිමට ගිය රාධ බමුණාගේ කතාව

බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලයේ රජගහ නුවර එක්තරා බමුණු කුලයක රාධ නමින් බමුණෙක් ජිවත් වුණා. මේ බමුණාටත්, ඔහුගේ බිරියටත් දරුවන් බොහෝ දෙනෙක් සිටියා. ඔවුන් බොහෝ දුක් ගැහැට විඳමින් මේ දරුවන් ලොකු මහත් කළා.

වයසට යත්ම මේ බමුණාට පෙර මෙන් වැඩපළ කරන්නට නොහැකි වුණා. දැන් දරුවන් ලොකු යි. එහෙත් මේ දරුවන් තම පියාට සැලකුවේ නැහැ. ගරු සරු කළේ නැහැ. මේ නිසා තමා ගැන මේ බමුණාට බලවත් විදිහට කළකිරුණා.

“අනේ” මට මේ ජීවිතයෙන් ඇති පලය කුමක් ද? මම මේ දරුවන් ලොකුමහත් කරන්නට මොන තරම් දුකක් වින්දා ද? දැන් ඔවුන් ඒ සියලු දේ අමතක කරලා. මම තවත් මේ වගේ දුක් විඳීන්න ඕනේ නෑ. ගිහි ජීවිතයෙන් මිදිලා බුදු සසුනේ පැවිදි වෙනවා. ඒක මට සැපක් වේවි, කියා බමුණා සිතුවා. ඔහු නිවසින් පිටත්වෙලා පැවිදි වීමට කැමැති ව විහාරයට ගියා.

විහාරයේ වැඩසිටි ස්වාමින් වහන්සේලාට වැඳ නමස්කාර කර,

“ස්වාමිනි”, මම කාගේවත් පිහිටක් නො ලබන අසරණ තැනැත්තෙක්. එනිසා මා බුදු සසුනේ පැවිදි කර ගන්නා සේක්වා” යි ඉල්ලා සිටියා. ඉතා වයස්ගත වල දුර්වලව සිටි මේ බමුණා පැවිදි කිරීමට කිසිදු භික්ෂූන් වහන්සේ නමක් ඉදිරිපත් වූයේ නැහැ.

රාධ බමුණාගේ සිත තවත් කළකිරුණා. අනේ මම වගේ පව්කාරයෙක් කොහෙවත් නැතුව ඇති, කියා තමාට ම දෙස් තබා ගත්තා. ඒත් ඔහු උත්සාහය අත හැරියේ නැහැ.

ඉඩ ලැබුණ මොහොතක මම පැවිදි වෙනවා, යි අධිෂ්ඨාන කරගෙන විහාරස්ථානයේ ම නැවතුණා. භික්ෂූන් වහන්සේලාට ආවතේව කළා. විහාරයේ වතාවත් කළා. ධර්මය ඉගෙන ගත්තා. කාලයක් ඔහු මෙලෙස ගත කළා. නමුත් ඔහුට තවම පැවිදි වීමට අවස්ථාවක් උදා වුණේ නැහැ. මේ නිසා ඔහු දැඩි ලෙස දුකට පත් වුණා. කලකිරීමක් මෙන්ම කෝපය ද ඔහුගේ යටි සිතේ කැකෑරෙමින් තිබුණා. නිතර ම තමාට කවදා පැවිදි වීමට අවස්ථාව ලැබෙයිද කියා සිතමින් ඔහු සිටියේ. එනිසා ම ඔහුගේ සිරුර තිබුණාටත් වඩා දුර්වල වුණා. රළු වී දුර්වර්ණ වුණා. නහරවැල් පවා ඉලිප්පී පෙනුණා. ශරීරය ක්‍රම ක්‍රමයෙන් පිරිහී යමින් තිබුණා.

දසබලධාරී මහා කාරුණික අපගේ බුදුරජාණන් වහන්සේ දිනෙන් දින දුර්වල වන රාධ බමුණා දුටුවා. විහාරයේ වැඩ සිටි භික්ෂූන් වහන්සේ කිහිප නමක් කැඳවා,

මහණෙනි, අර රාධ බමුණා ගේ ශරීරය බොහෝම රළු යි. දුර්වල යි. සමේ වර්ණ පඬු පාටයි. නහර වැල් පවා ඉලිප්පී තිබෙන්නේ. මහණෙනිල ඔහුට එසේ වීමට හේතුව ඔබලා දන්නවා ද?,යි විමසුවා.

ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, ඔය රාධ බමුණා කලකට පෙර භික්ෂූන් වෙත පැමිණ පැවිදි බව ඉල්ලා සිටියා. වයස් ගත ව සිටින ඔහු පැවිදි කර ගැනීමට කිසිම භික්ෂූන් වහන්සේ නමක් ඉදිරිපත් වූයේ නැහැ. පැවිදි බව ලබා ගැනීමට බැරි වූ දා පටන් ඔහුගේ සිරුර දිරා යමින් තිබෙන්නේ. අව්වට දැමූ බට ගසක් මෙන් ඔහු ගේ සිරුර පිරිහී ගොස් මේ තත්ත්වය උදාවී තිබෙනවා’ යි භික්ෂූන් වහන්සේ කියා සිටියා.

ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේ ලවා විහාරයේ වැඩ සිටි සියලුම භික්ෂූන් වහන්සේ රැස්වීම් ශාලාවට එක්රැස් කොට

මහණෙනි, දැන් මෙහි රැස්ව සිටින ඔබ සැම අතරින් කිසියම් දිනෙක මේ රාධා බමුණා කිසියම් ආකාරයක කෙනෙකුට උදව්වක් කර තිබෙනවා ද? තිබෙනවා නම් එය මතකයට නංවාගෙන පවසන්නැ’යි කියා සිටියා. එය ඇසූ අපගේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ නැඟිට බුදුරජාණන් වහන්සේට වන්දනා කොට “ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, මේ රාධ බමුණා මට කළ උපකාරයක් තිබෙනවා. එය ගලේ කෙටු අකුරක් මෙන් අද දක්වා ම මගේ මනසේ රැඳීි පවතිනවා. මට එය දැනු ද සිහිපත් කළ හැකියි.” යැයි පැවසුවා.

සාරිපුත්තයෙනි, එසේනම් පවසන්න. ඔබට මේ අසරණ බමුණා කළ උපකාරය කුමක්ද?,

ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, මෙයින් බොහෝ කලකට පෙර, එක් දිනෙක මම රජගහ නුවර පිඬුසිඟා වඩින කල්හි මේ රාධ බමුණා මා වෙත පැමිණ මගේ පාත්‍රයට එක ම එක බත් හැන්දක් පූජා කළා. ස්වාමිනි, මේ රාධ බමුණා මට කළ උපකාරය එය යි. ඒ උපකාරය මගේ මතකයේ හොඳීන් තිබෙනවා’ යි කියා සිටියා.

,සාරිපුත්ත, බොහෝම හොඳයි. ඔබගේ සිහිපත් වීම බොහෝ ම හොඳයි. සාරිපුත්ත සත්පුරුෂයෝ කළගුණ හොඳීන් ම දන්නවා. ඒ නිසා ඔබ මේ අසරණ වී සිටින බමුණ ට කළගුණ සලකන්න. ඔහු පැවිදි කරන්න. පැවිදි කරවා උපසම්පදාව ලබා දෙන්න.

සාරිපුත්ත මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ උපදෙස් පරිදි රාධ බමුණා විහාරයට කැඳවා ගෙන ගොස් පැවිදි කරවා උපසම්පදාව ලබා දුන්නා. රාධ තෙරණුවෝ කෙලෙස් තවන වෙර ඇතිව විදසුන් වඩා නොබෝ කලකින් ම මහ රහත් භාවයට පත්වුණා.

පසු දිනෙක භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ කැඳවා, සාරිපුත්ත, රාධ තෙරුන් කෙසේද?යි විමසුවා,

භාග්‍යවතුන් වහන්ස, අපේ රාධ තෙරුන් වහන්සේ බොහෝම කීකරු යි. බොහෝම කරුණාවන්ත යි. කිසි විටෙකත් කිසිම දෙයකට තරහ නො ගනියි. කෝප නො ගනියි. කුමක් පැවසුවත් තරහ නො ගනියි. ආදී වශයෙන් රාධ තෙරුන්ගේ ගුණ කියා සිටියා.

එවිට භාග්‍යවතුන් වහන්සේ රාධ තෙරුන් වහන්සේ සතුව පවත්නා උසස් ගුණ සාධුකාර දී අනුමෝදන් වුණා.

පසු කලෙකදී සැවැත්නුවර දෙව්රම් වෙහෙරේදී භික්ෂූන් වහන්සේලාට අග්‍රස්ථාන පිරිනමන කල්හි

මාගේ ශාසනයේ මනා වැටහීම් ඇති භික්ෂූන් අතරින් මාගේ පුත්‍ර රාධ තෙරුන් අග්‍ර වන්නේ යි, වදාරමින් රාධ තෙරුන් අග්‍රස්ථානයේ තැබූ සේක. ඒ වගේම උන්වහන්සේ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලබාගත් මහ රහතන් වහන්සේ නමක් බවටත් පත් වුණා.

සාරිපුත්තයන් වහන්සේගේ කෙළෙහි ගුණ සැලකීමේ උතුම් ගුණය නිසා කිසිවකුගේ පිහිටක් නැතිව සිටි අසරණ රාධ බමුණාට මේ දුක් විඳීන සසරින් එතෙරවීමට අවස්ථාව උදා වුණා.

  ඉල්
අමාවක 

දෙසැම්බර් 14 සඳුදා පූර්ව භාග 00.44 න් අමාවක ලබා එම දා අපර භාග 09.46 න් ගෙවේ.

සඳුදා සිල්..

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 14

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29

Second Quarterඅව අටවක

ජනවාරි 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]