[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අටවිසි බෝධි පුරාණය 17: දෙතිස් ඵල රුහබෝධීන් වහන්සේ

දෙතිස් ඵල රුහබෝධීන් වහන්සේ

බෙල්ලන්විල

බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ සල්පිටි කෝරළයට අයත් මෙම පූජනීය ස්ථානය තුළ දෙවනපෑතිස් රාජ්‍ය සමයෙහි රෝපණය කරන ලද ඵල රුහ බෝධීන් වහන්සේ වර්තමානය දක්වාම විරාජමාන ව අතිපූනීයත්වයට පාත්‍රවෙමින් වැඩ සිටී.

වට්ටාරම

කෑගලු දිස්ත්‍රික්කයේ බෙලිගල් කෝරළයේ ගම්දොළහ පත්තුවේ පිහිටි මෙම පූජනීය ස්ථානය මලියදේව අරහත්ත රාජමහා විහාරය නමින් ප්‍රකට ව ඇති අතර, ඵල රුහ බෝධීන් වහන්සේ නමක් මෙම ස්ථානයෙහි රෝපණය කර ඇත.

රජමහ විහාරය

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙණි හත්පත්තුවේ උඩුකහ බටහිර කෝරළයේ විහාරේගම යන ග්‍රාමයෙහි පිහිටා ඇති ගල් පර්වත කිහිපයකින් වට වූ මෙම විහාරස්ථානය සඳකඩපහණ, දොරටුපාල රූප , නටඹුන් වූ ගල්ලෙන් යනාදියෙන් සමලංකෘත ව, මනස්කාන්ත ව පිහිටා ඇත. දෙවනපෑතිස් රාජ්‍ය සමයෙහි රෝපණය කරන ලද ඵල රුහ බෝධීන් වහන්සේ වර්තමානය දක්වාම විරාජමානව පූජනීයත්වයට පාත්‍ර වේ.

රැස්සේරුව

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන්නි හත්පත්තුවේ පිහිටි මෙම විහාරස්ථානය වනවාසී භික්ෂූන් වහන්සේගේ ආරාමයක් බව පැහැදිලි වේ. කටාරම් කෙටූ ගල්ලෙන් 99 ක් පමණ ද,සුවිශාල ශෛලමය බුද්ධ ප්‍රතිමාවක් සහිත පැරැණි බෝධීන් වහන්සේ ද විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ.

යාපහුව

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන්නි හත්පත්තුවේ පිහිටා ඇති මෙම ස්ථානය ඵලරුහ බෝධීන් වහන්සේ නමක් රෝපණය කිරීමෙන් පූජනීයත්වයට පාත්‍රව ඇති අතර, 13 වන සියවසේ දී “ශුභ” නැමැති සෙන්පතියා විසින් රාජධානියක් ගොඩනඟන ලද බැවින් සුභපබ්බත , යහපබ්බත,සුන්දගිරි යන නාමයෙන් හඳුන්වනු ලැබීය. ක්‍රි. ව. 1271-1283 බලයට පත් බුවනෙකබාහු නරේන්ද්‍රයන් විසින් දළදා වහන්සේ මෙහි වැඩමවා දළදා මැඳුරක් ද ඉදිකරවා පෙරහර ද පවත්වා ඇත.

කසාගලු වෙහෙර

දක්ෂිණ ලංකාවේ පිහිටි මෙම පූජනීය ස්ථානය දුටුගැමුණු රජුගේ යුද කටයුතුවලදී ප්‍රයෝජනවත් වූ බවට තොරතුරු සඳහන් වන බැවින් පැරැණි යුද්ධ මධ්‍යස්ථානයක් ද විය. වටිනා පුරා වස්තු රැසක් හා ඉපැරැණි බෝධි වෘක්ෂ ගණනාවක් ද දක්නට ලැබේ.

ඇඹලව රත්ගල් වෙහෙර

මහනුවර දිස්ත්‍රික්කයේ ගඟබඩ කෝරළයේ වටපුලුව ගමේ පිහිටා ඇති ඇඹලව නම් ස්ථානයක් පිළිබඳව විහාර අස්නෙහි සඳහන්ව ඇත. එහි පැරැණි බෝධීන් වහන්සේ නමක් ද පිහිටා ඇති නමුදු කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෑගම රත්මලේ රත්නසේල පිරිවෙනට ආසන්න ව ඇඹලව ගමක් ද, එම ස්ථානයෙහි, පැරැණි ඵල බෝධියක් පිහිටා තිබූ බවට ජන කතා ද, එම ස්ථානයෙහි නටඹුන් ද ශිලා ලේඛනයක් ද පිළිබඳ මූලාශ්‍ර ග්‍රන්ථයන්හි සඳහන් වේ.

විල්වල

විල්වල රාජමහා විහාරය නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොහොන කෝරළයේ පිහිටා ඇති අතර, ලෙණක් තුළ ගෙඩිගේ දැගැබක් හා පැරැණි බෝධියක් ද දක්නට ලැබෙන බවත්, වර්තමානයෙහි පවතින විහාරස්ථානය වළගම්බා රාජ්‍ය සමයට අයත් බවත් සඳහන් වේ.

  ඉල්
අමාවක 

දෙසැම්බර් 14 සඳුදා පූර්ව භාග 00.44 න් අමාවක ලබා එම දා අපර භාග 09.46 න් ගෙවේ.

සඳුදා සිල්..

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 14

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29

Second Quarterඅව අටවක

ජනවාරි 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]