[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සීලය ජීවිතයට සැනසීමකි

සීලය ජීවිතයට සැනසීමකි

භාග්‍යවත් බුදුරජාණන ් වහන්සේ නමක් පහළ වීමෙන් දෙව් මිනිස් ලෝකයාට ආර්ය සීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව ගැන දැන ගන්නට ලැබෙනවා. එහිදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වාචා,සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන කොටස් තුන සංග්‍රහ වන්නේ සීලස්කන්ධය තුළයි.

සීලයආරක්ෂා කිරීම තුළ කාය සුචරිතයත්, වචී සුචරිතයත්, සම්මා ආජීවයත් දියුණු වනවා.

සීලය අපේ ජීවිතය සාර්ථක කර ගැනීමට බොහෝ උපකාරී වන දෙයකි. බුදුරජාණන් වහන්සේ සීලය පෙන්වා දී තිබෙන්නේ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයාට ධර්ම මාර්ගයට උපකාරී වන ප්‍රධාන ම කරුණක් ලෙසයි. එහිදී ගිහි ශ්‍රාවකයකු නිත්‍ය සීලය වශයෙන් ප්‍රාණ ඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරැදි කාම සේවනයෙන් වැළකීම, බොරුකීමෙන්

වැළකීම, මත්පැන් මත්ද්‍රව්‍ය පානයෙන් වැළකීම කියන පංච සීලය ආරක්ෂා කරගත යුතුයි.

එසේ සීලය ආරක්ෂා කිරීම තුළින් සිල්වතාට ලැබෙන ප්‍රධාන ආනිශංස පහක් භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කොට වදාළා.

* සිල්වතාගේ අප්‍රමාදී විහරණය නිසා මහත් වූ භෝගස්කන්ධයක් උපදවා ගන්න හැකියාව ලැබෙනවා.

(මහන්තං භෝගක්ඛන්ධං උප්පජ්ජති.)

* ඔහු ගැන යහපත් කීර්ති රාවයක් සමාජයේ පැතිරී යනවා.

(කල්‍යාණෝ කිත්ති සද්දෝ අබ්භුග්ගච්ඡති)

* ඕනෑ ම තැනකට, ඕනෑ ම පිරිසක් අතරට නිර්භයව විශාරදව එළඹෙන්නට පුළුවන්.

(යං යදේව උපසංකමති, විසාරදෝ උපසංකමති)

* සිහිමුළා නොවී මරණයට පත් වෙනවා.

(අසම්මූළ්හෝ කාලං කරෝති.)

* කය බිඳී මරණින් මතු සුගතියෙහි උපදිනවා.

(කායස්ස භේදා පරම්මරණං සුගතිං සග්ගං ලෝකං උප්පජ්ජති.)

බුදුරජාණන් වහන්සේ තිසරණ පන්සිල් ආරක්ෂා කරන පුද්ගලයාගේ ජීවිතයට පුණ්‍ය ගංගාවන් අටක් නිරන්තරයෙන් ම ගලන බව “පුඤ්ඤාභිසන්ද” සූත්‍රයේ දී පෙන්වා වදාළා.

නිති පන්සිල් - පොහොය අටසිල්

තිසරණ පංච සීලයට අමතරව උපෝසථ දිනවල දී උපෝසථ අට්ඨාංග සීලය සමාදන් වන ලෙස භාග්‍යවතුන් වහන්සේ ගිහි ශ්‍රාවක, ශ්‍රාවිකාවන්ට අනුශාසනා කොට වදාළා. උපෝසථ සීලයේ දී උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින් පංච සීලයට අමතරව විශේෂිත සිල්පද කිහිපයක් සමාදන් වෙනවා. වැරැදි කාම සේවනයෙන් වෙන්වීම වෙනුවට බ්‍රහ්මචාරී සීලය සමාදන් වෙනවා.

ඒ වගේ ම විකාළ භෝජනයෙන් වැළකීම, නැටුම්, ගැයුම්, වැයුම්, විසූක දර්ශන, වලින් වැළකීම, මල්සුවඳ විළවුන් වලින් ශරීරය සරසා ගැනීමෙන් වැළකීම, උස් අසුන් මහ අසුන් (සැප පහසු සුඛෝපභෝගී ආසන) පරිහරණයෙන් වැළකීම කියන සිල්පද සමාදන් වෙනවා. උපෝසථ සීලය ආරක්ෂා කිරීමෙන් විශාල පිනක් අපේ ජීවිත වලට රැස් වෙනවා වගේම නෙක්ඛම්ම සංකල්ප දියුණු කරගන්නත් අවස්ථාව ලැබෙනවා. උපෝසථ සීලය ආරක්ෂා කරගැනීමේ වටිනාකම ගැන බුද්ධ දේශනාව තුළ නොයෙක් වර පෙන්වා දී තිබෙනවා.

දිනක් නිග්‍රෝධාරාමයේ බුදුරජාණන් වහන්සේ වැඩසිටින අවස්ථාවක ශාක්‍ය වංශික පිරිසක් ආරාමයට පැමිණියා. බුදුරජාණන් වහන්සේ ඒ පිරිසගෙන්

“ශාක්‍යවරුනි, ඔබ උපෝසථ සීලය සමාදන් වී ආරක්ෂා කරනවාද” යනුවෙන් අසා වදාළා. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, අපට උපෝසථ සීලය ආරක්ෂා කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ගෙදරදොර අඹුදරුවන්ගේ වැඩකටයුතු නිසා අපට සිල් ආරක්ෂා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ කලාතුරකින්”

යැයි ඔවුන් පිළිතුරු දුන්නා. එවිට බුදුරජාණන් වහන්සේ වදාළා

“ශාක්‍යවරුනි, එය ඔබලාට මහා විශාල පාඩුවක්, අලාභයක් මයි” බුදුරජාණන්

වහන්සේ ඔවුන්ට උපමාවක් දේශනා කොට වදාළා.

“යම් කෙනකු රැකියාවක් කොට එම රැකියාවෙන් කහවනුවක් දිනකට ඉපයූවොත් ඔහු ගන්නේ ලොකු වැටුපක් ද?” යනුවෙන් විමසුවා.

“ස්වාමීනි, එය ලොකු වැටුපක්” යැයි ඔවුන් පිළිතුරු දුන්නා.

“රැකියාවක් කර දිනකට කහවනු දහයක් ලැබුවොත් ශාක්‍යවරුනි, අර වැටුපට වඩා වැඩියි නේද?” යැයි නැවත විමසුවා.

“ස්වාමීනි එය ගොඩක් වැඩියි” කියා පිළිතුරු ලැබුණා.

ඒ ආකාරයට දිනක වැටුප කහවණු සීයක්, දාහක්, කහවනු ලක්ෂයක් වශයෙන් ගන්නවා නම් ඔහු විශාල ආදායමක් තිබෙන කෙනෙක් නේදැයි යළිත් විමසුවා.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස කහවනු ලක්ෂයක් ලබනවා නම් මහා ධනයකට හිමිකාරයෙක්. විශාල ධන සම්පත්තියක් ලැබූ කෙනෙක්” කියා ශාක්‍යවරු පැවසුවා. එවිට බුදුරජාණන් වහන්සේ

“එසේ නම් ශාක්‍යවරුනි, දිනක වැටුප ලෙස කහවනු ලක්ෂයක් ලබන කෙනකු අවුරුදු සියයක් ඒ රැකියාව කළොත් ඔහු කො තරම් ධනයක් උපයයි ද?” කියා විමසුවා.

“ස්වාමීනි, ඔහු කියන්න බැරි තරම් ධනයකට උරුමකම් කියන මහා ධනවතෙක්” කියා පිළිතුරු ලැබුණා. එවිට බුදුරජාණන් වහන්සේ වදාළා,

“ශාක්‍යවරුනි, කෙනෙක් අෂ්ඨාංග උපෝසථ සීලය දිනක් ආරක්ෂා කරයි නම්, ඔහු සියල්ලන්ට ම වඩා ධනවත්” කියා බුදුරජාණන් වහන්සේ උපෝසථ සීලය ගැන මේ ආකාරයෙන් දේශනා කරද්දී, ශාක්‍යවරුන්ට සීලය පිළිබඳව මහත් ශ්‍රද්ධාවක් හටගත්තා.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මෙතැන් සිට අපි හැකිතාක් උපෝසථ සීලය ආරක්ෂා කරනවා. මෙ තරම් ආනිශංස තියෙන දෙයක් වශයෙන් අප සීලය දැනගෙන සිටියේ නෑ” කියා ඔවුන් පැවසුවා.

වර්තමානයේ බොහෝ ගිහි අයගේ තිබෙන්නේ අර්ධ උපෝසථ සීලයක්. උදේ හයට සිල්පද සමාදන් වෙලා සවස හයට සිල් පවාරණය කරනවා. මෙය මහත්ඵල-මහානිශංස නැහැ. සම්පූර්ණ උපෝසථයක් (උදේ 06 සිට පසුවදා 06 වන තෙක්) මනාකොට ආරක්ෂා කරනවා නම්, එය මහත්ඵලයි. මහානිශංස යි. ඒ වගේ ම හතර පෝයට ම සිල් සමාදන් වුණොත් මාසයකට උපෝසථ හතරක් ආරක්ෂා කළා වෙනවා.

කුසල සීලය කුමක් පිණිස ද?

දිනක් අග්‍ර උපස්ථායක ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විමසා සිටියා.

“ස්වාමීනි, කුසල සීලයෙන් ලැබෙන යහපත කුමක්ද? ආනිශංසය කුමක්ද?” එම පැනයට පිළිතුරු ලෙස භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.

“ආනන්දයෙනි, කුසල සීලයෙන් ලැබෙන ආනිශංසය නම් පසුතැවිල්ල නැතිකමයි. පසුතැවිල්ල නැතිකමින් ප්‍රමුදිත බව ලැබෙනවා. ප්‍රමුදිත බවින් නිරාමිස ප්‍රීතිය ලැබෙනවා. නිරාමිස ප්‍රීතිය නිසා කය සංසිඳී ගොස් සැහැල්ලු වෙනවා. කය සංසිඳී ගොස් සැහැල්ලු වීමෙන් සැපය ලැබෙනවා. සැපය නිසා සිත එකඟ වී සමාධියට පත් වෙනවා. සිත එකඟ වී සමාධිමත් වීමෙන් ඇත්ත ඇති සැටියෙන් ම දන්නා නුවණ උපදිනවා. ඇත්ත ඇති සැටියෙන් ම දන්නා නුවණ ලැබීමෙන් අවබෝධයෙන් ම එපා වී නො ඇල්ම ඇති වෙනවා. අවබෝධයෙන් ම එපා වී නො ඇල්මට පත් වීමෙන් නො ඇලුනු දෙයින් නිදහස් වී තමා සදහට ම නිදහස්ව ගිය බව දන්නා නුවණ ලැබෙනවා.

මෙසේ ආනන්දයෙනි, එසේ නම් සීලයෙහි අග්‍ර ඵලය ධර්මාවබෝධය යි. සීලය මත පිහිටා වඩන සමාධිය මහත්ඵලයි මහානිශංස යි. සමාධිය මත පිහිටා වඩන ප්‍රඥාව මහත්ඵලයි, මහානිශංස යි. මනාකොට වැඩූ ප්‍රඥාව තුළ සියලු ආශ්‍රව දුරුකොට සියලු දුකින් නිදහස් විය හැකි බව භාග්‍යවතුන් වහන්සේ නිතර නිතර පෙන්වා දුන්නේ එබැවිනි.

පින්වත්නි, අප ලැබූ මේ මිනිස් ජීවිතය ඉතාමත් කෙටි එකක්. ලෙඩවෙන, වයසට යන, මරණයට පත්වෙන ධර්මතාවයට යටත් එකක්.

එම නිසා ජීවත්වෙලා ඉන්න කෙටි කාලය තුළ දී අපේ ජීවිතය තුළ සීලය දියුණු කරගත යුතුයි. එසේ සීලය ආරක්ෂා කරමින් සීලානුස්සතියේ යෙදෙන්නට හැකි නම් එය ජීවිතයට විශාල සැනසිල්ලක්. උපෝසථ සීලය ආරක්ෂා කළොත් තමන්ගේ ජීවිතය දෙස ආපසු හැරී බලද්දී විශාල සතුටක් උපදිනවා. ජීවිතයේ අවසාන කාලයේ දී මම උපෝසථ සීලය මෙතරම් ප්‍රමාණයක් ආරක්ෂා කළා කියා බොහෝම තෘප්තියට පත්විය හැකියි.

භාග්‍යවතුන් වහන්සේ වදාළේ “යම් කෙනෙක් දුස්සීල අසමාහිත සිතින් අවුරුදු සියයක් ජීවත් වෙනවාට වඩා සිල්වත්ව සමාහිත සිතින් එක් දවසක් වාසය කිරීම ශ්‍රේෂ්ඨ බවයි” එම නිසා භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය ගිහි ශ්‍රාවක, ශ්‍රාවිකාවන් වශයෙන් ඔබත් උපෝසථ සිල් ආරක්ෂා කරන්නට උනන්දු වෙන්න.

  වප් පුර පසළොස්වක 

     ඔක්තෝබර් 30 සිකුරාදා අපර භාග 05.45 න් පසළොස්වක ලබා 31 සෙනසුරාදා අපර භාග 08.19 න් ගෙවේ. 
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]