[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සැනසුම සඳහා සිතින් සිත දෙස බලන්න

සැනසුම සඳහා සිතින් සිත දෙස බලන්න

" එතරම් වේලාවක් ගතවූයේ නෑ. තමන් ඔටුනු පළන් රජකු සේ හැඟීමක් ඇති වුණා. ඉතා රූමත් නළඟනන් තමා වටා පිරිවරාගෙන නුරා බැලුම් හෙළමින් කෙළි බස් දොඩන බව හැඟුණා. මේ රූපසුන්දරියන් නිසා කාම සිතිවිලි ඇතිවෙන්නට වුණා."

“මේ අඹ උයන ලස්සනයි. සුන්දරයි. රමණීයයි. බවුන් වඩන්න, සිත සමාධිගත කරන්න හොඳම තැන මෙතන ඉදන් භාවනා කරන්න ඕනෑ.”

මෙහෙම සිතූ මේඝිය හාමුදුරුවෝ පා සිවුරු පසෙක තබා එක් අඹ ගසක් මුල වැඩ හිඳ විදසුන් වඩන්න ආරම්භ කළහ

එතරම් වේලාවක් ගතවූයේ නෑ. තමන් ඔටුනු පළන් රජකු සේ හැඟීමක් ඇති වුණා. ඉතා රූමත් නළඟනන් තමා වටා පිරිවරාගෙන නුරා බැලුම් හෙළමින් කෙළි, බස් දොඩන බව හැඟුණා. මේ රූපසුන්දරියන් නිසා කාම සිතිවිලි ඇතිවෙන්නට වුණා.

මෙන්න හොරු දෙන්නෙක් . බඩුත් සමඟ අල්ලා ගෙනැවිත් රජතුමා ඉදිරියට ගෙනවිත් හොඳට අතපය, ඇස්, කන් තියෙද්දීත් කිසිම වැඩක් පලක් නොකර හොරකම් කරන මොවුන්ට මගේ රටේ ඉන්න දෙන්න හොඳ නෑ. රජතුමාට ක්‍රෝධ සිතිවිලි ඇති වුණා. මොවුන්ට කස පහර දෙන්න ඕනෑ. දඟගෙයි දමන්න ඕනෑ. මෙහෙම හිතන විට හිංසා සිතිවිලි ඇති වුණා.

මේ සිතිවිලි දාමයන් නිසා වැල්ගොඩකින් වෙළුණු ගසක් වගේ, මී මැස්සන් වට කළ මී කඩන්නෙක් වගේ උන්වහන්සේට දැනෙන්නට වුණා. විදසුන් වඩා සිත ජය ගන්නට ආ උන්වහන්සේ ලාමක අකුසල් සිතිවිලි වලින් වට වෙළා. අරමුණ සාක්ෂාත් කරගත නො හැකිව පසු බැස්ස මේඝිය තෙරුන් ආපසු දෙව්රම් වෙහෙරට ගොස් බුදුපියාණන් වහන්සේට ඒ වග දන්වා සිටියා.

“මහණ, සිතට යටත්වීම යුතු නැත. ඉතා සැහැල්ලු වු මේ සිත වසඟයට ගැනීමට නුවණැති පුද්ගලයා වෑයම් කරයි. ස්වභාවයෙන් ම සිත චපලයි. චංචලයි. නොමඟ යයි. රැක ගැනීමට අපහසුයි. සිතේ මේ ස්වභාවය තේරුම් ගෙන සිත දිනා ගැනීමට උත්සාහ කරන්න.”

මෙසේ බුද්ධාවවාද ලැබූ උන්වහන්සේ සෝවාන්හි පිහිටිය හ.

මෙසේ බුද්ධාවවාද ලැබූ උන්වහන්සේ ට මේ විදියට කාම විතර්ක ව්‍යාපාද විතර්ක සහ විහිංසා විතර්ක, පහළ වීමෙන් භාවනාව අසාර්ථක වු බව පැහැදිලි ය. අපේ සිතේ විවිධ විතර්ක ඇති වූ විට අප පිළිපැදිය යුතු ආකාරය මජ්ක්‍ධිම නිකායේ ද්වේදාවිතක්ත සහ විතක්ක සණ්ඨාන සූත්‍ර මගින් උගන්වා තබේ.

අප බුදුපියාණෝ සිතිවිලි හෙවත් විතර්කයන් කොටස් දෙකකට බෙදූහ

පළමු කොටස නම්

කම් සිතිවිලි හෙවත් කාම විතර්ක

ක්‍රෝධ සිතිවිලි හෙවත් ව්‍යාපාද විතර්ක හා

හිංසා සිතිවිලි හෙවත් විහිංසා විතර්ක යි

දෙවැනි කොටස,

විරාගි සිතිවිලි හෙවත්

නෙක්ඛම්ම විතර්ක

මෛත්‍රී සිතිවිලි හෙවත්

අව්‍යපාද විතර්ක හා

කරුණා සිතිවිලි හෙවත්

අවිහිංසා විතර්ක යි.

සම්බුද්ධත්වය ලබන්නට පෙර අප මහ බෝසතාණන්ට මෙම කාමාදි අකුසල විතර්ක කොතෙකුත් පහළ විය. එවිට “මට කාම විතර්කයන් උපන්නේ ය. එය මට ද අනුන්ට ද දුක ඇති කරයි. ප්‍රඥාව සිඳ දමයි. දුකට ම අයිති වෙයි. නිවනට ඉන් වැඩක් නැත. මෙය සිතා උපනුපන් කාම විතර්කාදිය දුරු කළහ. බැහැර කළහ. අවසන් කළහ.

මේඝිය හිමියන්ට වු පරිද්දෙන් අපට ද කම් සිතිවිලි ආදිය නැවත නැවත හටගත් විට එය බහුලීකරණය වෙයි . මේ සිතිවිලි අනුව සිත නැඹුරු වීමෙන් නෛෂ්ක්‍රම්‍ය විතර්කාදිය ඈත් වෙයි. එය නිවනින් ඈත්වීමකි.

එසේ නම් කළ යුත්තේ කුමක් ද?

ගොපල්ලා අවශ්‍ය වූ විට ගවයන්ට පහර දෙමින් හොඳින් බලා ගනී. එසේ කොට ගව පාලනයේ වරදින් තමාට පැමිණිය හැකි වධ බන්ධන , ධනහානි, ගර්භාදිය පවා වළක්වා ගනී.

ඒ අයුරින්ම යෝගාවචරයා ද කටයුතු කළ යුතු ය.

බෝසතාණන් වහන්සේ ද සිත රැක ගනු පිණිස අකුසලයන්ගේ දොස් මෙනෙහි කළහ. ඒවා ලාමකය. එමගින් සිත කිළිටි වේ. එහෙත් කුසලයෝ අලාමක ය. එමඟින් චිත්ත පරි ශුද්ධිය ලබගත හැකි යැයි සිතූහ.

මෙසේ සිතීමත් සමඟ කම් සිතිවිලි ආදිය දුරුවී විරාග සිතිවිලි ආදිය උපන්නේ ය. මේ නෛෂ්ක්‍රම්‍ය විතර්කාදිය නිවන සඳහා පවතින්නකි. එබැවින් රෑ දවල්හි නැවත නැවත එම විරාගී සිතිවිලි ම ඉපිද විය යුතු ය. එවිට කළ යුත්තේ සන්තානයෙහි ම මැනවින් තැබීම යි. මගේ සිත නොසන්සුන් නොවේවා.

මගේ සිත නොසන්සුන් නොවේවා යනුවෙන් සිතීමයි.

මේ අයුරින් ව්‍යාපාද විතර්කය හෙවත් තරහ සිතිවිලිවල ද ආදීනව සලකමින් ඒවා දුරු කොට අව්‍යාපාද විතර්කය හෙවත් මෛත්‍රි සිතිවිලි ද විහිංසා විතර්ක හෙවත් හිංසා සිතිවිලිවල ආදිනව සලකමින් ඒවා දුරුකොට අවිහිංසා විතර්කය හෙවත් කරුණා සිතිවිලි ද උපදවා රෑ දාවල් හි එහි අනුසස් සලකමින් එම සිතිවිලි නැවත හසුරුවා බහුලීකරණය කළ යුතු ය. පෙර පරිද්දෙන්ම ඔහුගේ සිත සන්තානයෙහි ම මැනවින් පිහිටුවා ගනී. මෙසේ නෙක්ඛම්ම අව්‍යපාද අවිහිංසා විතර්කයන්ට ඔහුගේ සිත නැමෙයි.

මෙසේ කෙනෙක් කම්මාදී විතර්කයන් බහුලීකරණයෙන් සිත ඒ කෙරෙහි යොමු කිරීමෙන්. වීර්ය වැඩීමෙන් ලෞකික ධ්‍යානාදී ත්‍රිවිද්‍යා උපදවමින් නිවන සාක්ෂාත් කරන අයුරු ‘ද්වේධා විතක්ක” සූත්‍රයේ දී පැහැදිලි කරන ලදී.

සම්බුදු පියාණෝ මජ්ක්‍ධිම නිකායේ එන විතක්ක සණ්ඨාන” සූත්‍රයේ දී කාම සිතිවිලි ආදිය පහකොට විරාගී සිතිවිලි ආදිය උපදවන්නට අනුගමනය කළ යුතු ආකාර පහක් දැක්වූහ. ඒවා සැකෙවින් මෙසේ ය.

ලෝභ ,දෝස, මෝහ යන අකුසල විතර්කයන් උපන් විට අන්‍යවූ කුසල නිමිත්තක් මෙනෙහි කිරීම

එකී අකුසල විතර්කයන්ගේ දෝෂ පරික්ෂා කිරීම

එකී අකුසල විතර්කයන් සිහි නොකිරීම

එකී අකුසල විතර්කයන් ගේ මූලස්ථානය මෙනෙහි කිරීම

කුසල් සිතින් අකුසල් සිත වෙසෙසින් නිග්‍රහ කිරීම ද වේ.

මෙලෙසින් සිත මනාව පිහිටුවා එකඟකොට සමාධිගත කරගත හැකිවනු ඇත.

මේ සූත්‍ර දෙකෙන්ම සිත හික්මවා ගන්නා අයරු අපට උගන්වයි. ආශාව, තරහව මුල්කරගෙන ඇතිවන සිතිවිලි අනුව දිගට සිතමින් අවැඩ සිදුකරගන්නා අයුරු ඉන් පැහැදිලි විය.

ඇත්තෙන්ම අපත්, අප ඇසුරු කරන අයත් මේ බව වටහා නොගන්නා නිසා අනේක විධ විපත්වලට පැමිණෙමු. අඹු සැමි කලහ, අසල්වැසියන් අතර අසමාදානය, එකිනෙකා කෙරෙහි ඇතිවන ඊර්ෂ්‍යාව , පළිගැනීම යනාදියේ උපත කොතැන ද? මිනිස් සිත ය.

මෙසේ මිනිස් සිතට වැළඳෙන මනෝව්‍යාධීන් මනාව හඳුනාගත් අසහාය මනෝ වෛද්‍යවරයා අප බුදු පියාණෝ ය. උන්වහන්සේ දුන් හොඳම ප්‍රතිකාරය ඉහත විස්තර කළ පරිදි සිතින් සිත දෙස බැලීමයි. එවිට අකුසල් දුරුව කුසල් සිතිවිලි පහළව සිත නිමෙන්නේ ය.

මේ නිසා අප ද හැමවිටම හැමදාම සිතින් සිත දෙස බලන්නට වෑයම් කළ යුතු ය. සැනසුම ඇති එකම මඟ එය යි.

  වප් පුර පසළොස්වක 

     ඔක්තෝබර් 30 සිකුරාදා අපර භාග 05.45 න් පසළොස්වක ලබා 31 සෙනසුරාදා අපර භාග 08.19 න් ගෙවේ. 
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]