[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

වප් පුන් පෝදා

පස් පව් වලින් දුරු වී කෙලෙසුන් සෝ දා
රැස් කොට බොහෝ පින්කම් තුන් සිත පා දා
ගොස් පන්සලට තෙමසක් දන් දුන් සා දා
වස් කාලයේ අවසන් දින වප් පෝ දා

මහා පවාරණ විනයෙහි දැක් වෙන වා
මහා සඟරුවන පෝ ගෙට රැස් වෙනවා
මහ බෝ සමිඳු ශාඛා වැඩ මවනවා
මහා අසිරි වප් පෝදා සිදු වෙනවා

****

මහ නගරත් ගොළුවූවා

බුද්ධියේ තිඹිරිගෙය වූ රට ඇතුළේ
වූහාන් නමක් ලැබූ නගරය පතුලේ
කොරෝනා නමින් හැඳින්වූ ලෙඩක් කළේ
වැනසුවා ගම් නගර රටවල් රැසක් තුළේ

ධනවත් දුගීකම් සැමගේ නොසැලකුවා
වේගයෙන් රටින් රටවල පැතිරුවා
අපගේ නොසැලකිල්ලට එය ළං වූවා
මිනිසුන් නැතුව මහ නගරත් ගොළු වුවා

****

බුදු සිරිතයි - පරිසරයයි

බුදු සිරිපා මත පියුම් පිපෙන්නේ
සමිඳු ලොවට වඩිනා බව පවසන්නේ
මෙත් කරුණා මහිමය ලොව වඩවන්නේ
බුද්ධාලම්භන පී‍්‍රතිය සැම පතුරන්නේ

ලෝදන රැස් වඩනා සම්බුදු පහසින්
අසරණ සරණ මිනිසත් ගුණ පතුරුවමින්
සමිඳුගේ දහම් ගුණ දම් බබළවමින්
බුදු හිමි ලොව්තුරා බුදු බව ලබමින්

****

පසළොස්වක පෝදා සඳ

පුර පස සඳ නැඟුණි
අඳුර පහ කරලමින්
නැගුණු ඒ සඳ කිරණ
නැවුම් සිසිලකි ලොවට
අඳුර පලවා හැර
මා ගතට සිසිලසට
දමා යන්නට දුකයි.
සඳ කිරණ මා නෙතට
ඇසිල්ලකි ගත වුණේ,
හද හාමි බැබළුණේ
කිරි පැණි දෙන්නට දරුවනට
එන්නකො සුදු සඳ එළියේ
ගණ අඳුර පහවමින්
ගලා යන සඳ කිරණ
ලොව සතුට සොම්නසට
ආ වඩයි නිරතුරුව

****

මෙත් කරුණා

උදා ළහිරු කිරණක් සේ
තුරුළිය මත කුසුමක් සේ
මලේ හමන සුවඳක් සේ
දෙනෙතින් ගලනා මෙත් කරුණා

රැයේ දිලෙන පුන් සඳ සේ
කඩා හැලෙන තරු කැට සේ
පිපී දිලෙන මල් කැල සේ
දෙනෙතින් ගලනා මෙත් කරුණා

දියෙහි පිපෙන නෙළුමක් සේ
පෙති මත ඇති පිනි කැටසේ
සුළඟෙ ලෙලෙන ලා දලුසේ
දෙනෙතින් ගලනා මෙත් කරුණා

****

බුදු මඟට අනුව යමු

ගොයුම්ගොත් මුනිඳුන් දෙසූ ලොව්තුරු දහම
සියුම් වූ ගැඹුරු වූ පබැඳුමකි අසම සම
ඒ උතුම් දහම් ගුණ වනා කළ නොහැක නිම
නිවන් දකිනා තුරා සිත දරමි ඒ දහම

සිත කය ද වචනය ද සංවරව සරසලා
පස් පවින් වැළකෙමින් මිනිස් කම් හුරුවෙලා
අරි අටඟි මග තුළින් දිවි පෙවෙත වඩවලා
‘බුදු මඟට අනුව යමු පිරුණු මිනිසුන් වෙලා

****

තල්පේ අරියජෝති නාහිමි

හැත්තෑ තුන් වසරක් සපුරන දිවිමඟට
පැමිණි බාධක කරදර නිමක් නැති කොට
වන්නට නොහැක කිසිවකු හට එලෙසට
ජය ගෙන වැඩි සේක සමිදුගෙ ඇති පිනට

පෙරුමන් පුරා භව දුක නසන්නට
තුති පුදනවා හද බැතියෙන් සමිඳුගෙ නමට
මෙදියත බෝධියක් වේ නම් මතු දිනට
තල්පේ අරිය ජෝති සමිඳු බුදුවේවා මතු දිනක

****

මව දුව සොයුරිය රැකගෙන

මොහොතක සැප සතුට සොයලා කරන පවේ
මෙලොවදි පරලොවදි දුක දෙයි භවින් භවේ
අඩුකර තණ්හාව රාගය සිතින් ලොවේ
චතුඅරි සච්ච අවබෝධය ලබනු නිවේ

මෙත් කරුණා ගුණෙන් තෙත් කර හද මඬල
මව ය දුව සොහොයුරි ය රැකගෙන නොම සසල
මනුදම් පෙරටු කොට මිනිසුනි තුමුල බල
උපදිනු උතුම් මිනිසුන් ලෙස මෙලොව තුළ

****

මෙවර ජයග්‍රාහී කවිය

වෙනස

තරුණ නෙතක කබ කඳුළු වැලක් මුත් මුතු ඇට වාගේ පිළිගන්නේ
වියපත් නෙතු අග කඳුළු බිඳක් විය නෑ ඒ ලෙසටම වැටහෙන්නේ
සැරව ගෙඩි වගේ වියපත් නෙතු අග එක කඳුලක් මුත් දිස්වන්නේ
මහලු බවම සරදමකි දනන් හට තිලකුණු දහමයි පෙන්වන්නේ

****

වචනයෙන් දඬුවම

වචනයෙ දඬුවම නුවණැති ගුරුවරයා දෙනවා
ගුරු බලයෙ ශක්තිය නැවතත් පෙන්වනවා
වේවැල වචනයේ සවියක් වී අත දෙනවා
යහපත් අනාගතයක ගුණවත් දරුවො බිහි වෙනවා

****

සිතන්න

හැකිද ඔබ හට සතුටු වන්නට අනුන්ගේ සැපතෙදි වහා
හැකිද ඔබ හට බෙදා ගන්නට අනුන්ගේ දුක සැප වහා
ඔබට හැකි නම් මුදා ගන්නට අනුන් විපතින් වහ වහා
සතුටු වන්නට ඔබට හැකි වෙයි නිවන එයි ඔබ වෙත වහා

****

සිල් සුවඳ

සදහම් චේතනා සැම සිත් තුළ වපු රා
මඟ ඵල නුවණ කිසි ලෙසකින් අත නොහැරා
හද තුළ කුසල් සිත තැන්පත් කළ ඉඳුරා
බව දුක නසමු සිල්වත් දිවියෙන් නිතරා

සිල්වත් සුවඳ විහිදා දිවි මල් ගොමු වේ
ගුණදම් රැකීමෙන් ජීවිත මල සරු වේ
මෙත් කරුණාව සත වෙත පා නිතර ලොවේ
රැකගෙන තිදොර නිවනින් සැම නිවෙමු භවේ

****

සසර කෙටි කරමු

ඇරඹුම අන්තය නොපෙනෙන සසරේ
පෙර අත්භවයක කළ කම් ඉතිරේ
මනුලොව ඉපදී දුක සැප අතරේ
දිවිමග ලඝු කර ගැනුමට සසරේ

****

කවි කිවිඳියනට සතර පෝ දාට ම දහම් තුටු පඬුරු

බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ. සතර පෝදාට ම හොඳම නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනකුට එම තිළිණ පිරිනැමෙනු ඇත.

  වප් පුර පසළොස්වක 

     ඔක්තෝබර් 30 සිකුරාදා අපර භාග 05.45 න් පසළොස්වක ලබා 31 සෙනසුරාදා අපර භාග 08.19 න් ගෙවේ. 
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]