[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හිටපු බුදුසරණ කර්තෘ පේ‍්‍රමසිරි අබේසිංහ

හිටපු බුදුසරණ කර්තෘ පේ‍්‍රමසිරි අබේසිංහ

පේ‍්‍රමසිරි අබේසිංහ මහතාගේ තෙවැනි වාර්ෂික ගුණ සමරුව නෙවැම්බර් 06 වැනි දිනට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

අපේ රටේ සතර පෝදාටම පළවන එකම බෞද්ධ පුවත්පත වන බුදුසරණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලෙස වසර 18 ක් කටයුතු කළා වූ ද අප විහාරස්ථානයේ ප්‍රධාන දායක මහතකු වූ ද සාමවිනිසුරු පේ‍්‍රමසිරි අබේසිංහ සූරීහු ලොව පුරා බුදු දහම ප්‍රචාරණයට ඇප කැපු වූ ගිහි පින්වතුන් අතර ප්‍රමුඛස්ථානයක් ගනිති.

බුදුසරණ පුවත්පත ජනපි‍්‍රය කිරීමටත්, එහි අන්තර්ගතය වැඩි දියුණු කිරීමටත්, එමඟින් ලොව පුරා බුදු දහම සන්නිවේදනයට පේ‍්‍රමසිරි අබේසිංහ මහතා කළ මහඟු සේවය අගයමින් මල්වතු මහා විහාරයීය සංඝ සභාවෙන් “බෞද්ධ පත්‍ර කලාසූරී” අභිධාන සම්මානය ඔහුට පිරි නැමිණි. එවැනි සම්මානයක් මාධ්‍යවේදියකුට ලැබුණු ප්‍රථම අවස්ථාව එය විය.

1934 ජනවාරි 8 වනදා උපත ලැබූ අබේසිංහ මහතා කහතුඩුව කනිටු විදුහලෙන්, හොරණ විද්‍යාරත්න පිරිවෙනින් හා කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් අධ්‍යාපනය ලැබී ය.

විද්‍යාරත්න පිරිවෙනේ රාජකීය පණ්ඩිත හොරණ වජිරඥාන හිමියන්ගේ හා ආනන්ද ශ්‍රාස්ත්‍රාලයේ ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහතාගේ ආභාසය ඇතිව පුවත්පත් කලාවට පිවිසියේ ය.

1977 දී ලේක්හවුස් ආයතනයට පැමිණ දිනමිණ උප කර්තෘවරයකු ලෙස සේවය කළේ ය. ඉන් අනතුරුව 1978 දී බුදුසරණ පුවත්පතේ කර්තෘවරයා ලෙස පත් විය.

එකල එතරම් ජනපි‍්‍රය ව නොතිබුණු උන්දුර්ගොඩ විජයනන්දාරාම විහාරස්ථානය පිළිබඳව ද තොරතුරු බුදුසරණ පුවත්පතින් රට පුරා ප්‍රචලිත කිරීමට ඒ මහතා ඇප කැප විය. විජය ධර්ම විද්‍යාලයේ ආරම්භයටත් ,දේවාල සමූහය ඉදිකිරීමට හා විවෘත කිරීමටත් අබේසිංහ මහතා ඉහළ මට්ටමේ සහයෝගයක් ලබා දුන් අයුරු අපට තවමත් මතක ය.

ලේක්හවුස් බෞද්ධ සංගමයේ ලේකම් ලෙස ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවේ ප්‍රධාන සංවිධායකවරයකු ලෙස වසර 16 ක් ඇප කැප වී කටයුතු කළ ඒ මහතා අනුරපුර ශ්‍රී මහා බෝධියට එල්.ටී.ටී. ඊ. ප්‍රහාරය එල්ලකළ 1985 වසරේ ද, ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව පැවැත්වීමට පෙරමුණ ගත්තේ ය.

කොළඹ යුගයේ කවියකු වූ අබේසිංහ මහතා අගනුවර තරුණ කවි සමාජයෙන් ‘කිවිපති’ සම්මානයෙන් ද සංස්කෘතික අමාත්‍යාංශයෙන් ‘කලාභූෂණ’ සම්මානයෙන් ද දේශමාන්‍ය ආචාර්ය යන සම්මාන වලින් ද පිදුම් ලැබී ය. බුදුසරණ පුවත්පතට ලියූ කතුවැකි එක්කොට ‘යහමඟට සිතුවිලි‘ නමින් පොතක් පළ කල ඒ මහතා මීපාගම මව්පිය සෙවණ’ හා ‘දිවිසෙවණ’ උපහාරය’ යන කවි සඟරාවල ද සංස්කාරකවරයා ලෙස ද කටයුතු කළේ ය.

වසර 3 ක් පමණ සිංහල බෞද්ධයා පුවත්පතේ ද කර්තෘවරයා ලෙස කටයුතු කළ අබේසිංහ මහතා සිය ජන්ම භූමිය වූ කහතුඩුව පොල්ගස්ඕවිට වෑතර යන ප්‍රදේශවලට ද අනුපමේය සමාජ සේවාවක් ඉටු කළේ ය.

දෙවරක් ම ශ්‍රී ලංකා වෘත්තිය පත්‍ර කලාවේදින්ගේ සංගමයේ සභාපති ධූරය ද හොබවනු ලැබු අබේසිංහ මහතා සිය වෘත්තිය සගයන්ට ද උපරිම අයුරින් සිය සේවය හා සහය නොපැකිලව ලබා දුන්නේ ය. ගමට රටට මෙලෙසින් ඉමහත් සේවයක් කළ, මීට වසර 3 කට පෙර අපෙන් වෙන්වු පේ‍්‍රමසිරි අබේසිංහ මහතාට නිවන් සැප ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු .

  වප් පුර පසළොස්වක 

     ඔක්තෝබර් 30 සිකුරාදා අපර භාග 05.45 න් පසළොස්වක ලබා 31 සෙනසුරාදා අපර භාග 08.19 න් ගෙවේ. 
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]