[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සතුට තිබේ නම් පැල්පත ද දිව්‍ය ලෝකයකි

සතුට තිබේ නම් පැල්පත ද දිව්‍ය ලෝකයකි

නිවෙසක් දිව්‍ය විමානයක් කරගන්නටත්, අපායක් කරගන්නටත් පුළුවන. එහි මූලික වගකීම රඳාපවතින්නේ ස්වාමියා හා භාර්යාව මතයි. කෝටි ගණනක් වටිනා බඩු භාණ්ඩවලින් අලංකාර ලස්සන නිවසක ජීවත් වුව ද ස්වාමියා හා භාර්යාව අතර සමඟිය සුහදත්වය, ලෙන්ගතුකම, හෘදයාංගම භාවය, පි‍්‍රයශීලි දැක්ම නැත්නම් එම නිවස අපායකි.

කුඩා පැල්පතක සිටියත් එතැන සමඟිය, සුහදත්වය, සතුට, අන්‍යෝන්‍ය පි‍්‍රයශීලි දැක්ම ඇත්නම් ඒ පැල්පත දිව්‍යලෝකයකි.

අංගුත්තර නිකායේ සංවාස සූත්‍රයට අනුව ස්වාමියා, භාර්යාව ජීවත්වන ස්වභාවය දෙස බලා සතරාකාර පැවැතීමක් බුදුරදුහු පෙන්වා දුන්හ. මළමිනියක්, මළමිනියක සමඟ විසීම, මළමිනියක් දෙවියකු සමඟ විසීම, දෙවියෙක් මළ මිනියක් සමඟ විසීම හා දෙවියෙක් දෙවඟනක හා විසීම යනු මේ සතරාකාර පැවැත්මයි.

සදාචාරවත් නොවී පාපකාරී ජීවිත ගත කරන අය මළමිනී ලෙසත්, සදාචාරවත් ව පින් පව් තේරුම්ගෙන, පවින් වැළකී පුණ්‍යවන්ත ජීවිත ගත කරන අය දෙවියන් හා දෙවඟනන් ලෙසත් පෙන්නුම් කර ඇත.

සමහර අය විශාල මුදලක් වැය කර විවාහ මංගල උත්සව පවත්වා, දිව්‍ය මාලිගා වැනි නිවෙස් තුළ සමීප බැඳීමකින් යුත් අයුරින් විවාහ ජීවිත ආරම්භ කරති. එහෙත් වැඩිකල් නොගොස් එම විවාහ ජීවිත දෙදරා ගොස් දික්කසාද වන අවස්ථා ද අද සමාජය තුළ බහුල වශයෙන් දැකගන්නට පුළුවන.

සැනසිලිදායක විවාහ දිවියකට අවශ්‍ය කරුණූ තේරුම්ගෙන ඒ අනුව අවබෝධයෙන් විවාහ ජීවිතය ප්‍රසන්න දිවියක් බවට පත්කර ගත හැකි ය. එය ඒ අයගේ මව්පියන්ටත් සහෝදර සහෝදරියන්ටත්, ඥාතීන්ටත් මහත් සැනසිල්ලක් වනු ඇත. යහපත් යුග දිවියකට අදාළ කරුණුූ රාශියක් බුදුදහම තුළ පෙන්නුම් කර ඇත. සිඟාලෝවාද සූත්‍රය, පරාභව සූත්‍රය, ව්‍යග්ඝපජ්ජ සූත්‍රය , වසල සූත්‍රය, සංවාස සූත්‍රය, සත්ත භරියා සූත්‍රය වැනි සූත්‍ර රාශියකින් වටිනා පවුල් ජීවිතයක් ගොඩනඟා ගැනීමට අදාළ කරුණුූ රාශියක් පෙන්නුම් කර ඇත.

යහපත් සැමියකු ක්‍රියා කළ යුතු ආකාරය සිඟාලෝවාද සූත්‍රය අපට පැහැදිලිව පෙන්වා දෙයි. තම ධනයත්, කීර්තියත් නැතිකිරීමට හේතුවන කරුණු හයක් මෙහිදී පෙන්නුම් කර ඇත. අපාය මුඛ ලෙස සඳහන් වන මේ කරුණු තුළින් පුද්ගල ජීවිතය මෙන්ම පවුල් ජීවිතයත්, සමාජගත ජීවිතයත් පරිහානියට පත්වන ආකාරය ඉතා පැහැදිලි ය. මේ කරුණු හයෙන් පළමුවැන්න මත්පැන් හා දුම්වැටි කෙරෙහි ඇති ඇලීමයි. මත්පැන් හා මත්ද්‍රව්‍ය තුළින් තම ධනයත්, සෞඛ්‍යයත් විනාශ වනු අයුරු අමුතුමෙන් කිවයතු නැත.

මත්පැන් වලට පුරුදු වූ බොහෝ අය තම නිවසට එන්නේ සිහිවිකල්ව ය. තමන් කරන්නේ, කියන්නේ, සිතන්නේ කුමක්දැයි ඔහු ද නොදනී. කෑමට ගොස් රස නැතැයි කියමින් පිඟන් පොළොවේ ගසන අවස්ථා, බිරිඳත් සමඟ බහින් බස් වන අවස්ථා මෙන්ම ගුටි බැට ඇතිවන අවස්ථා ද කොතෙකුත් දැකගන්නට පුළුවන. මේවා දකින දරුවන්ගේ අනාගතය කුමක් වනු ඇත් ද? තමන් හම්බ කරන සියල්ල මේ තුළින් විනාශයට යන පවුලක දියුණුවක් පිළිබඳව සිහිනෙන් වත් සිතිය හැකි ද?

විවාහ ජීවිතයකට අහිතකර ලෙස බලපාන දෙවැනි කරුණ වන්නේ අවේලාවේ වීථි සංචාරය යි . නියමිත කාර්යයන් නොමැති ව රාත්‍රී කාලයෙහි නිවසින් බැහැරව ගතකිරීමත් මෙයට ඇතුළත් ය.

බොහෝ අපරාධ හා අපචාර සිදුවන්නේ රාත්‍රි කාලයෙහි නිසා එවැනි අවස්ථාවල නිවසින් පිට කාලය ගත කිරීම තුළින් අනවශ්‍ය කරදරවලට ලක්වීමේ අවස්ථා මතු වන්නට පුළුවන.

හොඳ ස්වාමියකු විසින් පිළිපැදිය යුතු තුන්වැනි චාරිත්‍ර ධර්මය වන්නේ සංගීත හා නාට්‍ය සංදර්ශනවල නො ඇලී කටයුතු කිරීමයි. මේ තුළින් තමා උපයන ධනය විනාශ වනවා මෙන් ම විවිධ අපචාර ක්‍රියාවලට හුරුවීමත්, මත්පැන්, මත්ද්‍රව්‍යවලට තව තවත් ඇබ්බැහි වීමත්, සිදුවීමට බොහෝ දුරට ඉඩකඩ ලැබෙනු ඇත.

සමාජ ශාලාවන්හි ඇති මෙවැනි අවස්ථා තුළින් විවිධ මාරාන්තික රෝගාබාධයන්ට ගොදුරුවීම් සිදුවී ඇති බව වාර්තාගත සිද්ධීන් තුළින් පෙන්නුම් කර ඇත. විශේෂයෙන් විවාහකයකු මෙවැනි අවස්ථා තුළින් මතුවන දුර්විපාක පැහැදිලිව අවබෝධකර ගත යුතුව ඇත.

පවුල් ජීවිතය දෙදරා යෑමට බලපාන හතරවැනි කරුණ වන්නේ සූදුවෙහි ඇලීමයි. ගමේ ගොඩේ බූරුවා පොළේ සිට සුපිරි කැසිනෝ දක්වා විවිධ සූදු ඇත. අද නිවසේ හෝ කාර්යාලයේ සිට තමන්ගේ ලැප්ටොප් පරිගණකය හෝ දුරකතනය මගින් සම්බන්ධ විය හැකි සූදු ක්‍රීඩා ඇත. කවදාවත් කැසිනෝ ශාලාවකට හෝ සූදු පලකට පා තබා නැති සමහර අය වැරැදි මිතුරන් ඇසුර තුළින් මෙවැනි දේට යොමුවන බව පෙනේ.

වේදනාත්මක විවාහ ජීවිතයකට බලපාන පස්වන කරුණ වන්නේ පාප මිත්‍ර සේවනය යි. පාප මිත්‍රයා යනු වැරැදි ජීවන රටාවකට ගමන් කරන්නෙකි. ඔහු ගේ ඇසුර ලබන්නා ද වැරැදි පැත්තට ඇදගෙන යාමට පාප මිත්‍රයා උත්සාහ කරයි. ඉතිහාසය පුරාම සමාජගත සිද්ධීන් තුළින් මෙය අපට ප්‍රත්‍යක්ෂව ම පෙන්වා දී ඇත. ඉහතින් සඳහන් කළ වැරදි සියල්ලම පාපී මිතුරන් ඇසුරෙන් සිදුවිය හැකි ය.

මේවා පිළිබඳව අවබෝධයෙන් සැලකිල්ලෙන් දුර්විපාක තේරුම් ගැනීම තුළින් විවාහ ජීවිතයේ ඉදිරි ගමන සුරක්ෂිත කරගන්නට පුළුවන.

විවාහ ජීවිතයේ විනාශයට බලපාන හයවැනි කරුණ වන්නේ කිසිදු වැඩක නොයෙදී නිකරුණේ කාලය ගත කිරීමයි. සමහර අයට රැකියාවක යෙදිය හැකි වුව ද රැකියාවක නොයෙදි අලසව කාලය කා දමති. සමහර අය රැකියාවක යෙදී සිටින භාර්යාවගේ වැටුපෙන් තම පවුල් යැපෙන්නට සලස්වා තමන් නිහඬව බලා සිටිති. සමහර අය ස්වයං රැකියාවක නියුක්ත වුව ද ඒ පිළිබඳ කැපවීමකින් කටයුතු නොකර අනවශ්‍ය ගමන් බිමන් හා ප්‍රයෝජනයක් නැති කතා බස්වල යෙදීමෙන් කාලය කා දමති. ගෙදර තියෙන වැඩක්වත් නොකරන සමහර අය දවස පුරාම නින්දට ඇලී සිටිති. මොවුහු කාලයේ ඇති වටිනාකම තේරුම් නොගැනීම නිසා මුළු පවුල් ජීවිතයම අපායට ඇද දමති. සැනසිලි දායක පවුල් ජීවිතය නැති කරන, විනාශ කරන මේ කරුණු හය තේරුම්ගෙන ඒ පවුල අපායට ඇද නොදමා සැනසිලිදායක සතුටෙන් පිරි පවුලක් සදහා ඉහත දැක්වු කරුණු හයෙන් වැළකී සිටීමට අධිෂ්ඨාන කරගත යුතුව ඇත.

සිඟාලෝවාද සූත්‍රයට අනුව සතුටෙන් පිරි පවුලක් සඳහා සැමියාගෙන් බිරිඳට ඉටුවිය යුතු කරුණු පහක් පෙන්වා දී ඇත. ඉන් පළමුවැන්න බිරිඳට ගරු බුහුමන් කිරීමයි. ඇයට අගෞරවයක් වන කිසිම කටයුත්තක නොයෙදීම යි. ගෙදර දොර කටයුතු මෙන්ම දරුවන් පිළිබඳ සියලු කාර්යයන් හ ිදීි භාර්යාවගේ අදහස් විමසා බලා කටයුතු කිරීම ඇයට කරන ගෞරවයකි.

ගෘහනියක ලෙස අද බිරිඳට විශාල කාර්ය භාරයක් ඉටු කිරීමට ඇත. ගේ දොර පිරිසුදුව තබාගැනීම .ආහාරපාන පිළියෙළ කිරීම, දූ දරුවන්ගේ සියලු කාර්යයන් ඉටුකිරීම. ඇඳුම් පැළඳුම් ගැන සොයා බැලීම හා ඒවා පිරිසුදු කිරීම. ලෙඩක් දුකක්, කරදරයක් සිදුවූ විට ප්‍රමුඛ ව අදාළ කාර්යයන් ඉටුකිරීම. ගෙදරට පැමිණෙන අයට සංග්‍රහ කිරීම වැනි විශාල කාර්ය භාරයක් ඉටුකිරීමට ඇත.

මේ ක්‍රියාදාමය ගැන ස්වාමියා නිසි අවබෝධයෙන් සිටිය යුතු ය. හැකි සැම අවස්ථාවක ම කළ හැකි උදව් උපකාර කළ යුතුව ඇත. පොඩි පොඩි අඩුපාඩු සිදුවු වද ඒවා මතු කරමින් හිත රිදෙන වචන භාවිත නොකර තම බිරිඳගේ කැපවීම අගය කළ යුතුව ඇත.

දෙවැනි කරුණ වන්නේ බිරිඳ කෙරෙහි අගෞරවයෙන් හිත් වේදනා ගෙන දෙන වචන පිට කිරීමෙන් වැළකී, තමන් කතා කරන සෑම වචනයක් ම සිහිබුද්ධියෙන්, අවබෝධයෙන් භාවිත කිරීමයි. ගෘහනියක වශයෙන් විශාල කාර්ය භාර්යක් දරන විට ස්වාමියා පිටකරන වචන තුළින් බිරිඳ වේදනාත්මක ලෝකයට පත්විය හැකි ය. සුවයක් සතුටක් ගෙනදෙන වචන භාවිතය සැමියාගේ වගකීමකි.

තුන්වැනි කරුණ වන්නේ පර ස්ත්‍රීන් සේවනය නොකිරීම යි. බුදුදහමට අනුව ස්වාමියා සිතිය යුත්තේ තම එකම හිතවතිය තම පතිනිය බවයි. මෙම අයථා සම්බන්ධතාවය පවුල ජීවිත දෙදරා යෑමට ප්‍රබලම හේතුවක් බවට පත්ව ඇත. මේ තුළින් මතුවන දුර්විපාක නිසා ගෙදර අපායක් වන අතර, දූ දරුවන් ද අනාථ බවට පත්වනු ඇත.

හතරවැනි කරුණ වන්නේ සැමියා විසින් තම නිවෙසේ පාලනය හා කළමනාකාරිත්වය තම බිරිඳට පවරාදීමයි. මෙහිදී ගැටලුවක් මතු වුවහොත් එය සුහදශීලී ව විසඳා ගැනීම ස්වාමිපුරුෂයාගේ වගකීමකි. සමහර විට අනවබෝධයෙන් අඩුපාඩු පෙන්වා දීම තුළින් නිවස යුද පිටියක් බවට පත්වන අවස්ථා ද දැක ගත හැකි ය. ගෘහ කළමනාකරණය සඳහා අවශ්‍ය මුදල් බිරිඳට දීම ස්වාමියාගේ වගකීමකි. ඒ තුළින් අන්‍යොන්‍ය හිතවත්කමින් විශ්වාසනීයත්වයක් තහවුරු වනු ඇත. භාර්යාවගේ ලෙඩට දුකට විශේෂ සැලකිල්ලක් දක්වමින්, ඒ සඳහා අවශ්‍ය දෑ සම්පාදනයත් ස්වාමියා සතු කාර්යයකි. අවසාන යුතුකම ලෙස තම බිරිඳගේ ඇඳුම් පැළඳුම් මෙන්ම කණකර අභරණ සම්පාදනය කරදීම ද සැමියාගේ වගකිමක් වනු ඇත.

කාන්තාවෝ ලස්සන ඇඳුමෙන් ආභරණ වලින් සැරසී සිටීමට කැමැත්තක් දක්වති. එය ඔවුන්ගේ ආසාවකි. මේ අවශ්‍යතා තේරුම්ගත් නිවසක ඇති අන්‍යෝන්‍ය බැඳීම, සතුට, සැනසිල්ල මොනතරම් සුවයක් ද?

මෙවැනි නිවසක හැදෙන වැඩෙන දරුවන් සමාජයට සම්පතකි. දැහැමි ගුණවත් අඹුසැමි යුවලක් එකතුව මේ ආත්මයට පමණක් සීමා නොවී නිවන් දකින තුරුම ඒ හෘදයාංගම බැඳීම පවත්වාගත හැකි බව බුදු දුහම අපට පෙන්වා දී ඇත.

  වප් පුර පසළොස්වක 

     ඔක්තෝබර් 30 සිකුරාදා අපර භාග 05.45 න් පසළොස්වක ලබා 31 සෙනසුරාදා අපර භාග 08.19 න් ගෙවේ. 
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]