[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වස්සානයෙන් ඔපවත් වූ කුසල් සිතිවිලි

වස්සානයෙන් ඔපවත් වූ කුසල් සිතිවිලි

දැන් මේ එළඹෙමින් පවතින්නේ වප් පුර පසළොස්වක පොහෝ දිනය යි. වප්පුර පසළොස්වක දිනෙන් පසු දින සිට තමා චීවර මාසය ආරම්භ වන්නේ.

එහෙම ආරම්භ වෙලා නොවැම්බර් මස 29 දාට යෙදෙන ඉල් පුර පසළොස්වක පොහොය දිනෙන් අවසන් වෙනවා. ඒවගේ ම තමා පසුවස් වසන භික්ෂූන් වහන්සේ වෙනදා ක්‍රමයට නම් මේ දින එනම් නොවැම්බර් මස 29 වැනි දින පසුවස් පවාරණය සිදු කළයුතු වෙනවා. මෙයට හේතුව තමා එකම මාසයේ පුර පසළොස්වක දින දෙකක් ම යෙදී අධි මාස පතනයක් වීම.

කොහොම වුණත් අපේ බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ මේ වස්සාන සෘතුවේ අවසාන මාසය කඨිනත්ථාර මාසය ලෙස ප්‍රකාශ වෙනවා. ඉතින් එහෙමනම් මෙවර වප් පුර පසළොස්වක දිනෙන් ආරම්භ වන ඉදිරි මාසය තුළ විශේෂයෙන් අපේ සැදැහැති දායක දායිකාවෝ බොහොම පින් සිතිවිලි උපදවා ගන්න කාලයක් බවට පත්වෙනවා.

ලංකාවේ පමණක් නොව ලෝකයේත් බෞද්ධ ථෙරවාදි රටවල දැන් ඉතින් වඩාත් ප්‍රබල ලෙස මේ ඉදිරි කාලය ගත කරන්නේ බොහොම පහන් සිතිවිලිවලින් යුක්ත ව, කුසල් සිත් ජනිත කර ගනිමින්. ඒ ඇතිවන සිතිවිලි ක්‍රියාකාරි කරගන්නට නොයෙක් සැලසුම් හදමින්, ඒ කරුණු ගැන දායක දායික පිරිස් සමඟ සාකච්ඡා කරමින් බොහොම හොඳ ආනිසංසදායක ක්‍රියාකාරි කුසල් සිත් පහළ වන මාසයක් ගත කරමිනු යි.

අප ඊ ළඟට විමසා බලන්නට අවශ්‍ය කරන්නේ වස්සාන සමයක් ගතවෙන කොට කොයිතරම් දුරට අපේ ජීවිතවල වෙනසක් ඇති වෙනවා ද? ඇති වුණා ද? කියන මේ කාරණය යි.

තම තමන්ගේ විහාරස්ථානවල වැඩ වාසය කළ උපසම්පන්න භික්ෂුන් වහන්සේට වස් ආරධනා කළ ආකාරය ඔවුන්ගේ සිතට නැඟෙනවා.

ඒ වගේ ම එදා එම ආරාධනාව පිළිගන්වා ඉදිරි මාසය තුළ වස්වසා වාසය කරන ලෙසත්, ඒ කාලය තුළ ආරාධනාව ඉදිරිපත් කරපු දායක පක්ෂය වශයෙන් එම පිරිස චීවර, පිණ්ඩපාත, සේනාසන හා ගිලානප්‍රත්‍ය යි කියන මේ සිව් වැදෑරුම් ප්‍රත්‍යයන් පූජා කරමින් ක්‍රියා කරපු ආකාරය ඔවුන් සිහියට නඟා ගන්නවා. ඉතින් ඒක බලවත් අධිෂ්ඨානයක්. පොරොන්දුවක්. ඒ විතරක් නොවෙයි මෙහි දී වැදගත් වන්නේ දායක පක්ෂය වශයෙන් මේ කාලය තුළ තම තමන් තුළ ඇති කර ගත යුතු ආධ්‍යාත්මික සංවර්ධනයේ ප්‍රමාණය ගැන මෙනෙහි කළයුතු වීම යි. වඩාත් වැදගත් වන්නේ.

අපේ බුදුරජාණන් වහන්සේ හැමවිට ම අපට පෙන්වා දුන්නේ ප්‍රතිපත්ති පූජාවේ තිබෙන වැදගත්කම යි. අප බොහෝ විට ආමිෂ පූජාවන් කෙරෙහි උනන්දු වෙනවා. ප්‍රතිපත්තියට වඩා. හැබැයි තේරුම් ගත යුතු දෙයක් තමා අපේ මේ හැම ආමිෂ පූජාවක් ම අවසානයේ එය ප්‍රතිපත්තියට හරවා ගත හැකි ආකාරය සිහියෙහි පිහිටුවා ගෙන ක්‍රියා කළ යුතු ව තිබෙන බව.

නිදසුනක් වශයෙන් ගත්තොත් වස් කාලය තුළ අප සිවුපසයෙන් උපස්ථාන කරනවා. මේ සිවුපසය කියන්නේ ඕනෑම ජීවී සත්ත්වයකුට අවශ්‍ය කරන මූලික ම අවශ්‍යතා හතරක්.

ගෙදර ඇති කරගන්නා බලු පැටියාට එහෙම නැත්නම් බළල් පැටිියට වගේ තිරිසන් සතුන්ටත් මේ ඇඳුම භාවිත නො කළත් ආහාර, ඉඳීන්ට හිටින්ට සුවපහසු තැනක්, අවශ්‍ය වෙලාවේ බේත්හේත් ලබා දෙනවා. ඒවා ඒ සතුනුත් පරිභෝග කරනවා. මිනිස් සත්ත්වයා මෙහි දී සම්මත ශිෂ්ටාචාර ලෝකයේ ඇඳුම පැළඳුම, ආහාරපාන, වාසස්ථාන, බේත්හේත් විශේෂයෙන් සපයා ගැනීම අවශ්‍ය වෙනවා.

භික්ෂූන් වහන්සේ සම්බන්ධ ව මෙය තරමක් වෙනස් වෙනවා. උන්වහන්සේ විනයානුකූල ව ඒවා පරිභෝග කළයුතු වෙනවා. ඒවා සම්පාදනය කර ගත යුතු වෙනවා. ඉතින් දායක පක්ෂය ඒ නිසා සැදැහැ සිත් ඇති කර ගෙන ඒ සියල්ල සපුරා දීමට උත්සාහවන්ත වන්නේ කුසල් සිත් වැඩෙන ආකාරයෙන්. කුසල් සිත් වැඩෙන කොට ස්වභාවයෙන් ම පුහුදුන් සිතට නැඟෙන අකුසල සිත් යටපත් වෙනවා. ඒ කියන්නේ රාගා දී සිතිවිලි.

ඒ නිසා භික්ෂූන් වහන්සේට වස් විසූ කාලය තුළ චීවර, පිණ්ඩපාත, සේනාසන හා ගිලාන ප්‍රත්‍යය පූජා කරන්නේ මහත් කුසල් සිත් උපදවා ගෙන සිත් පහන් කරගෙන යි. ඒ තුළ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති ආදි වශයෙන් ත්‍රිවිධ රත්නයේ අප්‍රමාණ ගුණ මහන්තතාව සිතට නඟාගෙන ක්‍රියා කළ හැකි නම් පින්වත්නි, එතන දී ඇතිවන්නේ සමථ භාවනාවක් කිවහොත් වඩාත් නිවැරැදි වෙනවා.

මොකද ඒ වගේ අවස්ථාවල සිතේ අකුසල් සිත් උපදින්නට ඉඩ නො දී සිත් කෙලෙස්වලින් ආරක්ෂා කිරීමේ ක්‍රියාව සිදු වෙනවා. මේ නිසා අප වස් කාලය තුළ ඒ අතින් ආධ්‍යාත්මික වශයෙන් යම් පමණකට පෙරමුණට යාමට හැකියාවක් ඇති කර ගන්නවා.

මේ සිවුපසය පරිත්‍යාග කිරීම කියන්නේ තමන් සතු වස්තුව යොදවා වස් විසූ භික්ෂූන් වහන්සේ කෙරෙහි ජීවිතයක් පවත්වා ගෙන යාමට අවශ්‍ය ම දේ පරිත්‍යාග කිරීම යි. ඒ තුළ ඇත්තේ දානය යි.

එම පරිත්‍යාගය තුළ අපේ ජීවිතවලට එකතු වන්නේ කුමක් ද කියා විමසුවොත් ඇත්තෙන් ම අත්හැරීම යන මේ ක්‍රියාවට හුරුවීම යි. අලෝභ චෛතසිකය පෙරමුණට විත් ද්වේෂ මෝහ තරමක් යටපත් වෙනවා.

අපේ බෞද්ධයෝ මේ අත්හැරීම කියන ක්‍රියාව බොහොම ඉහළින් සිදු කළත් අත්හැරීම සිතිවිල්ලක් වශයෙන් මෙනෙහි කිරීමට යොමු වෙනවා අඩුයි කියලයි බොහෝවිට පෙනෙන්නේ. මෙතැන දී අත්හැරීමට ඉදිරිපත් වෙලා ඒ තුළින් තමන්ගේ යසස, කීර්තිය, ප්‍රසිද්ධිය අපේක්ෂා කරන අවස්ථාත් අප දකිනවා. ඒ තුළ පවතින්නේ තවදුරටත් රාගාදී කෙලෙස් සිතිවිලි ඉපදීම යි. එය සතුටුදායක තත්ත්වයක් නම් නොවේ.

තවත් ආකාරයකින් බලනකොට වස් කාලය දිහා බලනවිට මේක කාල කළමනාකරණය පිළිබඳ අපූරු සැලැස්මක් වෙනවා. දැන් බෞද්ධ මාස ක්‍රමය අනුව සෘතු තුනක් වෙනවා. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙන්‘.

ඉතින් මේ සෘතු තුනට මාස හතරක් බැගින් අයත් වෙනවා. ඉතින් වස්සාන සෘතුවේ මාස තුනක් ම භික්ෂූන් වහන්සේලා සෙනසුනක් දායකයකු ලවා හෝ සපයා ගෙන එහි වස් වසා වැඩ සිටිනවා. ඉතින් ඒකෙන් එක පැත්තකින් අදහස් කරන්නේ භික්ෂූන් වහන්සේ තමන්ගේ සසර විමුක්තිය අරමුණු කරගෙන කාල කළමනාකරණය කර ගන්නවා කියන එක යි.

ඒ අනුව ඒ කාල සීමාවේ ජනපද චාරිකා නැහැ. ගමන් බිමන් නැහැ. විශේෂ ම හේතුවක් මත ගමනක් වැඩියත් සත්තාහකරණයෙන් තමා ඒ ගමනේ යෙදෙන්නේ. හැමවිට ම භික්ෂුව සිහියෙන් යුක්ත ව කාලය ගත කරනවා.

බුදුරජාණන් වහන්සේ දවස නම් ඒ ඒ ශ්‍රාවකයන් වහන්සේලා තමන් වහන්සේගේ චරිතයට සුදුසු වන ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙනු ලබන කර්්මස්ථානය වඩමින් ඒ වස් තුන් මාසය තුළ සිහියෙන් යුක්තව කාලය ගත කරනවා.

ඉතින් එම කාලය තුළ බුදුරජාණන් වහන්සේ දවස නම් බොහෝ භික්ෂුන් වහන්සේලා ලොකෝත්තර වශයෙන් අධි ගමයන්ට පත් වුණා. ඉතින් මේ කාලයෙත් වස් වසා වැඩසිටින භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් බලනවිට තම පැවිදි ජීවිතයේ ඵල නෙළා ගන්නා අවධියක් ලෙස සලකන්නට පුළුවන්කම තිබෙනවා.

එය අවුරුද්දේ මාස තුනක පමණ කාලයක් මනාව සැලසුම් කර ගන්නා කාලයක් බවට පත් වෙනවා. ඒ වගේ ම අද වුණත් බුදුරජාණන් වහන්සේ ජිවමාන නොවූවත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා කොපමණවත් වැඩ ඉන්නවා.

ඉතින් ආධුනික භික්ෂූන් වහන්සේලාට පවා හැකියාව තිබෙනවා එවැනි කල්‍යාණ මිත්‍ර ආශ්‍රයක් ලබා ගෙන, චාරිත්‍රානුකූල ව කමටහන් තෝරාගෙන මේ වස් කාලය අධිෂ්ඨානයක්, ඉලක්කයක් ඇති කරගෙන වස්කාලය අවසාන වීමට පෙර මගේ සිත මේ තරම් දියුණු තත්ත්වයකට ගෙන ඒමට උත්සාහ කරනවා කියලා වස් කාලය ගත කිරීමෙහි සැලසුමක් ඇති කර ගන්නට හැකියාව තිබෙනවා.

  වප් පුර පසළොස්වක 

     ඔක්තෝබර් 30 සිකුරාදා අපර භාග 05.45 න් පසළොස්වක ලබා 31 සෙනසුරාදා අපර භාග 08.19 න් ගෙවේ. 
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]