[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

චීවර මාසය ඇරඹෙන පින්බර වප් පොහොය

චීවර මාසය ඇරඹෙන පින්බර වප් පොහොය

" කොස් කොළයේ හෝ අඹ කොළයේ නැට්ට පෙනෙන තරමට යන්තම් හිරු උදා වීම කඨින පෙරහර විහාරස්ථානයට ඇතුළුවීම සඳහා නිශ්චිත වේලාව ලෙස පුරාතනයේ පටන් සැලකිණි."

වස්සාන ඍතුවේ වැසි සාර මාසය අතුරෙන් මුල් මාස තුන තුළ උපසපන් භික්ෂූන් වහන්සේලා වස් සමාදන් ව වැඩ සිටිති. මෙම සාර මාසයේ අවසාන මාසය ආරම්භ වන්නේ වප් පොහොයෙනි.

සෑම වසරකම ඇසළ මහේ සිට වප් මහ දක්වා යෙදෙන වස් කාලය සැදැහැවතුන් ගේ පුණ්‍ය කාලය යි. වස් පින්කම් මාලාව අවසන් වනුයේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයෙනි. වප් පුර පසළොස්වක පොහෝදා සිට මෙම කඨින මහා පින්කම් ඇරඹෙයි. එහෙත් මෙම වසරේ වප් පොහොය උදා වනුයේ ඔක්තෝබර් 30 වැනිදා ප.ව. 5.45 ට ය. පොහොය අවසන් වනුයේ ඔක්. 31 ප.ව. 8.19 ට ය. වප් පුර පසළොස්වක පොහොය පවතිනුයේ මෙම කාලය තුළ වන බැවින් භික්ෂූන් වහන්සේලා පෙරවස් පවාරණ මහා විනය කර්මය සිදු කරනුයේ මෙම කාලය තුළ දී ය.

සැදැහැවත් පිරිස පොහොය අටසිල් සමාදන්වනුයේ ඔක්තෝබර් 30 වැනිදා ය. එහෙත් එදින උදෑසන හෝ දවල් පොහොය උදාවී නොමැති හෙයින් පෙරවස් පවාරණ මහා විනය කර්මය සිදුකළ නො හැකි ය. එබැවින් එම උතුම් විනය කර්මය ඔක්තෝබර් 30 වැනිදා රාත්‍රියේ හෝ ඔක්තෝබර් 31 වැනිදා රාත්‍රී 8.20 ට පෙර සිදු කළ යුතු ව පවතියි. මේ අනුව මෙම වසරේ කඨින චීවර පූජාවන් සිදු කරනුයේ නොවැම්බර් 01 වැනිදා සිට යි. එය සිදු කළ හැකි අවසාන දවස වනුයේ නොවැම්බර් 29 වැනිදා එළඹෙන ඉල් පුර පසළොස්වක පොහොය දිනය යි.

මෙම වස් මහට චීවර මාසය යන නම ද ව්‍යවහාර කෙරෙයි. කඨිනය හැර වෙනත් ඕනෑම බෞද්ධ පූජෝත්සවයක් වර්ෂයේ නියම කරගත් දිනක දී හෝ වර්ෂයේ කිහිප අවස්ථාවක දී ම සිදු කළ හැකි වුවද කඨිනය සිදු කළ හැක්කේ එක් වර්ෂයක් තුළ එක් වරක් පමණකි.

මේ පිළිබඳ අවධානය යොමු කිරීමේ දී කඨිනය විහාරස්ථානයක වර්ෂයක් තුළ සිදුකෙරෙන පින්කම් අතර වඩාත් උත්කර්ෂවත් පින්කම ලෙස සැලකිය හැකි ය.

පුරාතන යුගයේ පටන් ම කඨිනය සඳහා වැඩමවන භික්ෂූන් වහන්සේලාට කැඳ ,බත් ආදිය පිරිනැමීමෙන් සංග්‍රහ කිරීමට සැදැහැවත්හු හුරුපුරුදු වී සිටියහ. පසුකාලීන ව එම චාරිත්‍රය වඩාත් දියුණුවී භික්ෂූන් වහන්සේලාට සංඝගත දක්ෂිණාවක් පිළිගැන්වීම අනිවාර්ය අංගයක් බවට පත්විණැයි, විශ්වාස කළ හැකි ය. කඨින පූජෝත්සවය හා සබැඳි චාරිත්‍රයන්හි ඇතැම් අංග කාලානුරූපී ව සකස්ව ඇති අතර ඇතැම් අංග සාම්ප්‍රදායික ව පවත්නා පෞරාණික චාරිත්‍ර විධීන් ගණයට අයත් වේ.

වස් පවාරණය කළ භික්ෂූන් වහන්සේලාට චීවර පූජා කරන දිනයේ අලුයම ඒ සඳහා ප්‍රමාණවත් වස්ත්‍රයක් විහාරස්ථානයට වැඩමවීම සාම්ප්‍රදායික චාරිත්‍රය යි. ඒ වෙනුවෙන් මෙකල නම් අති උත්කර්ෂවත් පෙරහරක් පවත්වනු දැකිය හැකි ය.

මෙම පෙරහර සඳහා කැපකරු දායක පක්ෂයේ ශක්තිය අනුව අලි, ඇතුන්, හේවිසි ,තූර්යවාදන , නැටුම් ආදී විවිධ සංස්කෘතිකාංග එක්වන බැව් පෙනේ. මෙම කඨින පෙරහර වීථි සංචාරය කරනුයේ භික්ෂූන් වහන්සේ වස් විසූ ආරාමයට අයත් ගොදුරුගම් හා ඒ අවට ගම් ආවරණය වන පරිද්දෙනි.

විශාල පිරිසකට කඨින පින්කමෙහි ආනිසංස අනුමෝදන්වීමට ඉඩ ප්‍රස්තාව සැලසීම මෙම පෙරහරෙහි මුඛ්‍ය පරමාර්ථය යි. ඇතැම් ප්‍රදේශවල කඨින වස්ත්‍රය මොහොල් ගසක ඔතා දෙදෙනකු කර තබාගෙන, උඩුවියන් යටින් ගමින් ගමට ගෙන යනු දැකිය හැකි ය. මේ නිසා කඨින පෙරහර මඟ දෙපස රැස්වන සැදැහැතියන්ට කඨින වස්ත්‍රය සියතින් ම අත ගසා පින් අනුමෝදන්වීමේ භාග්‍යය හිමි වෙයි.

මෙලෙස තුන්යම් රාත්‍රිය පුරාම ගමින් ගමට විථී සංචාරය කළ කඨින පෙරහර අලුයම විහාරස්ථානයට ළඟා වෙයි. කොස් කොළයේ හෝ අඹ කොළයේ නැට්ට පෙනෙන තරමට යන්තම් හිරු උදාවීම කඨින පෙරහර විහාරස්ථානයට ඇතුළුවීම සඳහා නිශ්චිත වේලාව ලෙස පුරාතනයේ පටන් සැලකිණි.

මෙසේ මහත් උත්සවාකාරයෙන් වැඩමකර වූ කඨින වස්ත්‍රය පිළිගන්නා භික්ෂූන් වහන්සේලා දායක පක්ෂයෙහි ද අභිමතය පරිදි එහි කඩ තබා කඨින චීවරය සකස් කරති. පුරාතන යුගයේ දී විශාල පිරිසක ගේ සහභාගිත්වයෙන් කඨින චීවරය ගෙත්තම් කිරීම (මැඩීම) සිදු කෙරිණි. එහි දී බොහෝ සැදැහැවත්හු නූල් ඇමිණීම, මැඩීම ආදි කටයුතු සියතින් ම සිදු කිරීමට මහත් රුචිකත්වයක් දැක්වූහ. දැනුදු ඇතැම් තැනෙක මෙය ක්‍රියාත්මක වෙයි.

කඨින චීවරය මසා නිම කිරීමෙන් පසුව එය සුදු පැහැති වස්ත්‍රයක් නම් සෝදා පිරිසුදු කොට පඬු පෙවීම සිදු කළ යුතු ය. මේ සඳහා සිවුුරු රෙද්දක් භාවිත කළේ නම් එහි පඬු පෙවීම සංකේතවත් කිරීම් වස් සිවුරෙහි කොණක් සේදීම පුරාතන චාරිත්‍රය යි.

මෙම විශේෂ අවස්ථාවන් හි දී හේවිසි හොරණෑව දානය කිරීමෙන් ශබ්ද පූජා පැවැත්වීම ද පුරාතනයේ සිදු කෙරිණි. මේ අනුව ගෙත්තම් කොට පඬු පොවා වේලා සකස් කරගත් කඨින චීවරය කඨින පූජා මණ්ඩපයෙහි උසස් ආසනයක තැන්පත් කෙරෙයි. අනතුරුව එහි රැස්වූ භික්ෂූන් වහන්සේලාට කඨින චීවරය පූජා කිරීම දායකකාරකාදීන් විසින් සිදු කළ යුතු ය.

එහි දී පෞද්ගලික ව නොව භික්ෂු භික්ෂුණී යන උභතෝ සංඝයාට කඨිනය පූජා කිරීම පිළිගත් විනය ප්‍රඥප්තිය යි. ඒ අනුව කඨිනය පිළිගත් භික්ෂූන් වහන්සේලා කඨින චීවරය සඟ සතු කොට තමන් අතුරෙන් එය ලැබීමට සුදුසු භික්ෂු නමක් තෝරා විනයානුකූලව එය පැවරීම සිදු කරති.

කඨින චීවරයක් සඟ සතු කිරීමට යටත් පිරිසෙයින් උපසපන් භික්ෂූන් වහන්සේලා පස්නමක්වත් වැඩසිටිය යුතු ය. මෙසේ සංඝ සම්මුතියෙන් කඨින චීවරය ලබාගත් භික්ෂූන් වහන්සේ එහි කප් බින්දුව තැබීම නම් වූ චාරිත්‍රය ඉටුකළ යුතු ය. මොණර ඇසක තරම් ප්‍රමාණයේ කවාකාර බින්දු තුනක් සිවුරේ එක් කොණක තැබීම කප් බින්දුව තැබීම නම් වේ.

මෙය සාමාන්‍යයෙන් සටහන් කරනුයේ බුලත් කොළයක් සිවුරේ යටින් තබා ඒ මත උඩින් කවාකාර යතුරකින් තද කිරීමෙනි. මේ තුළින් අලුත් වස්ත්‍රයක් කෙරෙහි ඇතිවන ආශාව යටපත් කිරීම අදහස් කෙරෙයි.

මෙසේ කඨිනය සකස් කිරීම, පූජා කිරීම හා ඇතිරීම යන සියල්ලක් ම එකම දිනක් තුළ සිදු කළ යුතු වෙයි. කඨින පූජා චාරිත්‍ර සියල්ලක්ම නිමවීමෙන් පසුව කඨිනත්ථාරක භික්ෂූන් වහන්සේ විසින් කඨිනානිසංස ධර්ම දේශනාවක් ද පවත්වනු ලැබීම සාම්ප්‍රදායික චාරිත්‍රය යි.

කඨින පූජෝත්සවය හා සම්බන්ධ වූ “කප්රුක් පූජාව “ ද විශේෂ වැදගත්කමකින් යුක්ත ය. මෙය ගොරක ගසක, කොස් ගසක හෝ අඹ ගසක අත්තක් තබා සකස් කරන විශේෂ වෘක්ෂයකි. කප් රුක නමින් හඳුන්වන මෙය කඨින පූජා මණ්ඩපයෙහි සිටුවා විවිධ පූජා භාණ්ඩ එහි තැන්පත් කෙරෙයි.

කප්රුක සෞභාග්‍යයේ හා සශ්‍රීකත්වයේ සංකේතයක් වන බැවින් කඨින පූජාවට සම්බන්ධ කර එය පූජා කෙරෙයි. කඨින වස්ත්‍රය සඟසතු කිරීමත් සමඟ මෙම අවශේෂ පූජා භාණ්ඩ සියල්ලක් ද සඟ සතු වස්තූන් බවට පත් වෙයි.

පුරාතන ශ්‍රී ලාංකේය සමාජ පරිසරය තුළ රාජ්‍ය පාලකයා ඇතුළු රටවාසීන් සෑම දෙනකුගේ ම සහභාගිත්වයෙන් යුක්ත ව කඨින පූජෝත්සවය සිදු කෙරිණි. තෙවැනි මුගලන් රජු රටේ සෑම ආරාමයකට ම කඨින චීවර පූජා කළ වග මහාවංසයෙහි 36 වන පරිච්ඡේදයෙහි දැක්වෙයි.

වර්තමාන ලංකාවේ සිදුකෙරෙන කඨින පින්කම් අතර දියවඩන නිලමේතුමා විසින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ කඨින පූජා උත්සවය වාර්ෂික ව පවත්වාගෙන එනු ලැබේ. එය පුරාතන ශ්‍රී ලාංකේය රජවරුන් අනුගමනය කළ චාරිත්‍රය සිහි ගන්වන්නක් ලෙස සැලකිය හැකි ය.

  වප් පුර පසළොස්වක 

     ඔක්තෝබර් 30 සිකුරාදා අපර භාග 05.45 න් පසළොස්වක ලබා 31 සෙනසුරාදා අපර භාග 08.19 න් ගෙවේ. 
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]