[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මෙවර කඨින චීවර පූජා මහෝත්සවය රජයේ හා වෛද්‍ය උපදෙස් අනුවයි

මෙවර කඨින චීවර පූජා මහෝත්සවය රජයේ හා වෛද්‍ය උපදෙස් අනුවයි

කඨින චීවර මහා පුණ්‍ය මහොත්සවය රාජ්‍ය උත්සවයක් වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගේ හා අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මූලිකත්වයෙන් නොවැම්බර් මස 07 හා 08 යන දිනයන්හි ශ්‍රී දකුණු දළදා වහන්සේ වැඩ සිටින පොළොන්නරුවේ ඓතිහාසික සෝමවති චෛත්‍ය රාජයාණන් වහන්සේ සමීපයෙහි පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

සම්බුද්ධ ශාසනයේ පවතින්නා වූ අට මහා කුසල් අතර අති ශ්‍රේෂ්ඨතම මහා පුණ්‍ය කර්මය කඨින මහා පින්කමයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ විනය නීතිවලින් සමන්විත, චාරිත්‍රානුකූලව වර්ෂයකට එක් වරක් පමණක්, එකම විහාරස්ථානයක සැදැහැවතුන්ගේ මූලිකත්වයෙන් සිදුකරන එකම පින්කම කඨින මහා පුණ්‍යෙත්සවය යි.

මෙම වර්ෂයේ දී පෝය දහතුනක් යෙදීම නිසා වස්සාන ඍතුව මුල් කරගෙන ම එම විනයානුකූල වස් සමාදන් වීම සිදු කළ යුතු හෙයින් භික්ෂූන් වහන්සේ පසුගිය නිකිණි පොහෝ දිනට පසුදින හෙවත් අගෝස්තු මස තුන්වැනි දින වස් සමාදන් වීම සිදු කළ අතර, වප් පුර පසළොස්වක පොහොය දෙකක් මෙම වර්ෂයේ යෙදී ඇති හෙයින් ද 2020 ඔක්තෝබර් තිස් වැනි (30) දින අපර භාග 5.48 ට පුර පසළොස්වක පොහොය ලබා තිස්එක් (31) වැනි දින අපරභාග 8.20 ට පොහොය නිමාවන හෙයින් නිකිණි පොහෝ දිනට පසුදින වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේ ඔක්තෝබර් 31 වැනි දින වස් පවාරණය කළ යුතු වේ. එතැන් පටන් කඨින චීවර පූජා මහෝත්සවය පැවැත්විය හැකිය. එහිදී රට තුළ පවත්නා කොරෝනා වසංගතය නිසා රජයේ හා වෛද්‍ය උපදෙස් අනුව සෑම ගමක ම පිහිටි විහාරස්ථානවල වැඩ වසන භික්ෂූන් වහන්සේ හා දායක පින්වත් පිරිස සීමා කොට කඨින පින්කම සඳහා කළ යුතු චාරිත්‍ර විධි ඒ අයුරින් ම මැනවින් ඉටු කරමින් නොවැම්බර් මස 29 වැනි දිනට යෙදී ඇති ඉල් මස පොහොය තෙක් ම, සුරක්ෂිත ලෙස කඨින පින්කම් සිදු කළ යුතු ය. එමෙන්ම පසුවස් විසූ භික්ෂූන් වහන්සේ එකී ඉල් මස පොහොය දින පසුවස් පවාරණය කළ යුතු යැයි මහා විහාර වංශික ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය අතිගෞරවාර්හ මහා නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ හා ගරුතර සානුනායක කාරක මහා සංඝ සභා දෙක තීරණය කොට සියලුම භික්ෂූන් වහන්සේට ශාසන ගෞරවයෙන් යුතු ව සිහිපත් කරන බව මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරි ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නා හිමියන් හා අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි ආචාර්ය මැදගම ශ්‍රී ධම්මානන්ද නාහිමියන් විසින් මෙම පොදු නිවේදනය සිදුකරනු ලබන බව ගරුතර මහා සංඝරත්නයට මෙයින් දන්වා සිටිමු.

මෙම කඨින චීවර මහා පුණ්‍යොත්සවය පෙර රජවරු ද මුල්වී දායක පිරිස සමඟ පැවැත්වු ආකාරය ඓතිහාසික ග්‍රන්ථයන් හි සඳහන් වී ඇති බවත්, මහා සංඝ රත්නය ද, දායක පින්වතුන්ද මේ දක්වාම බුද්ධ කාලයේ පටන්ම කඨින චීවර පුණ්‍ය මහෝත්සවය සිදුකර ඇති බව ද සඳහන් වේ.

මෙම පින්කමේ ප්‍රධාන දායකයත්වය දරන්නේ සැදැහැවත් දායක පිරිසයි. එම දායක පිරිස භික්ෂූන් වහන්සේ වස් සමාදන් වූ දිනයේ පටන් ම කඨින පින්කම ගැන සිතමින් තුන් මාසය මුළුල්ලේ ම තුනුරුවන් උදෙසා පුද පූජා පවත්වමින්, පිරිත් ධර්ම දේශනා පවත්වා ගනිමින් තුනුරුවන්ගේ ආශිර්වාද ලබා ගනිති. තුන් මාසය අවසානයේ දී මහා පුණ්‍ය කර්මය වන්නේ කඨින චීවර මහා පුණ්‍යොත්සවයයි.

මෙම වර්ෂයේ දී මෙම කඨින චීවර මහා පුණ්‍ය මහෝත්සවය රාජ්‍ය උත්සවයක් වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගේ හා අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මූලිකත්වයෙන් නොවැම්බර් මස 07 හා 08 යන දිනයන්හි ශ්‍රී දකුණු දළදා වහන්සේ වැඩ සිටින පොළොන්නරුවේ ඓතිහාසික සෝමවති චෛත්‍ය රාජයාණන් වහන්සේ සමීපයෙහි පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

මැති ඇමැතිවරුන් ප්‍රධාන රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා (16) සෝමවති රජමහා විහාරස්ථානයේ දි එකී රාජ්‍ය උත්සවය පැවැත්වීමට සාකච්ඡා කොට රජයේ හා ආරක්ෂක අංශවල ද සෞඛ්‍ය අංශයන් හිද උපදෙස් අනුව සුරක්ෂිත ව එම කඨින චිවර පුණ්‍ය මහෝත්සවය පැවැත්වීමට සූදානම් කරමින් පවතී.

කඨින චීවර පින්කම පැවැත්වෙන 07 වැනි දා සවස දකුණු දළදා වහන්සේට මහා ගිලන්පස පූජාව සමඟ සමස්ත ලෝකයටම ආශිර්වාද පතා රතන සූත්‍ර දේශනාව සහිත පිරිත් දේශනාව පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.

  වප් පුර අටවක 

    ඔක්තෝබර් 23 සිකුරාදා පූර්වභාග 06.57 න් පුර අටවක ලබා 24 සෙනසුරාදා පූර්වභාග 06.59න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]