[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වප් පුර අටවක 2020.10.23

ජීවිතයට රැකවරණය ලැබීමට නම්...

පිපාසය බලවත් වූ සත්වයෝ ඈතින් පෙනෙන මිරිඟුව දැක ජලය යැයි රැවටෙති. පිපාසය සංසිඳුවා ගනු පිණිස ඒ මිරිඟුව පසුපස හඹා යති. කෙතරම් වේගයෙන් හඹා ගිය ද මිරිඟුව දුරය. අවසානය රැවටීම ය.

කෙළවරක් නැති සැප සම්පත් පසු පස හඹා යන පුද්ගලයාට අත්වන්නේ ද මේ ඉරණම ම නොවන්නේ ද? ජීවිතයේ අපමණ සැප, සතුට, සැනසුම ඇත්තේ ධනය මත යැයි කෙනෙක් සිතති. බලය, නිලය මත යැයි තවත් කෙනෙක් සිතති. මේ මායා දැලේ පැටලී ඒවා අත්පත් කර ගන්නට යන ගමනේ කෙළවර රැවටීම ම බව බොහෝ දෙනකුට තේරුම් යන්නේ මරණාසන්න මොහොතේ ය. එවිට අප ප්‍රමාද ය. ලෝභ, ද්වේෂ, මෝහාදී අකුසල කර්ම රැස් කරගෙන අවසන් ය.

ධන සම්පතින් ආඪ්‍ය ජීවිතය බැබළෙන්නේ යැයි බොහෝ දෙනෙක් සිතති.

තණ අග රැඳි පිනි බිඳුව ද දිලිසේ. එහෙත් කවර මොහොතක එය තණ පතින් ගිලි හේ දැයි කිව නොහැකි ය.

ජීවිතය ද එලෙස ය. පිනිබිඳක් තරමට එය අස්ථිර බව තේරුම් ගන්නට අපට මොන තරම් අවස්ථා උදාවනවා ද? එහෙත් බොහෝ දෙනෙක් එය දකින්නේ නැත. අන්ධ ය. වර්තමානයේ අප මුහුණ දී සිටින, මුළු ලෝකයක් හමුවේ ඇති භයානක තර්ජනය, කොරෝනා වසංගතය අපට ජීවිතය තේරුම් ගන්නට මේ මොහොතේ කියාදෙන පාඩම මොනතරම් ප්‍රායෝගිකද? ලොව මහා බලවතුන් යැයි කියාගන්නා රටවල පවා මිනිසුන් කොපමණ ප්‍රමාණයක් දිනකට මිය යනවාද? හව්හරණක් නැති අසරණයන් සේ මේ මහ පොළොවේ වැළලී යනවා ද? ලොව ධනවතාට ද , බලවතාට ද, දුබලයාට ද , දිළින්දාට ද මරණය පොදු ය. එහි දී ගෙන යන්නේ ලබාගත් ධනය, බලය, නොව රැස් කරගත් පින් පව් ය. කුසල් අකුසල් ය.

දේවල් අත්පත් කර ගන්නට අප මේ ජීවත් වූ කාලය තුළ මොන තරම් ලෝභී සිතින් ක්‍රියා කරන්නට ඇති ද? ලෝභයෙන් මඬනා ලදුව අනුන්ට කෙතරම් වධ දෙන්නට ඇති ද? අනුන්ගේ දේ පැහැර ගන්නට ඇති ද?

ද්වේෂ සහගත සිතිවිලි නිසා අනුන්ට මොන තරම් පීඩා දෙන්නට ඇතිද? මොනතරම් ගරහන්නට ඇතිද?

මෝහය නිසා කෙතරම් අකුසල කර්ම කර ගන්නට ඇති ද? අපගේ මෙලොව ජීවිතය මෙන් ම පරලොව ජීවිතය ද දුකට ඇද දමන ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල් මුල් ප්‍රහීණ කොට කුසල් වැඩීමට වහ වහා අප්‍රමාදී විය යුතුව ඇත. මේ මොහොතම ඊට අවස්ථාවක් කර ගත හැකි ය.

ජීවිතයේ බොහෝ අවදානම් අවස්ථා,අනාරක්ෂිත අවස්ථා මඟ හරවා ගන්නට ඒ කුසල කර්ම උපකාරි වේ. ඒ සඳහා කළ යුතු අකුසල් මුල් අපේ සිතින් උදුරා දැමීම ය. සල් ගසක් හෝ, කොලොම් ගසක් හෝ මාලුවා වැලකින් මුදුන වසාගෙන ඇත්නම්, හාත්පස වෙළාගෙන ඇත්නම් ඒ ගස් වැනසී යයි. ලෝභයෙන්, ද්වේෂයෙන් මෝහයෙන් වැසුණු සිත් ඇති පුස්ගලයාද එවැනි ය.

වෙහෙස ඇත්තෙකි. දැඩි වෙහෙස ඇත්තෙකි. දැවීම් ඇත්තෙකි. දුකින් ජීවත්වන්නෙකි. මෙලොව ජීවිතය එසේ වසාගත් හෙතෙම මරණින් මතු ද දුගතියම උරුම කර ගන්නා බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.

යම් කෙනෙක් පෙර කී ලෙස මාලුවා වැල්වලින් වැසීගත්, වෙළාගත් ගස් දැක ඒ මාලුවා වැල් මුලින් කපා දමයි. මුල් උදුරා දමයි. වැල් කැබලිවලට කපා වියළා ගින්නේ දවයි. අළු කොට සුළඟේ පා කර හරියි. එසේ නැතිනම් සැඩ දියෙහි පා කර හරියි. මුල් සුන් වූ ඒ මාලුවා වැල් නැවත ළියලන්නේ නැත.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ එලෙස අපේ සිතේ පවතින අකුසල් මුල් උදුරා දැමිය යුතු බවයි. කරදර බාධක හමුවේ වුව ද නොසැලී ජීවත්වන්නට එවිට අවස්ථාව උදාවනු ඇත.

  වප් පුර අටවක 

    ඔක්තෝබර් 23 සිකුරාදා පූර්වභාග 06.57 න් පුර අටවක ලබා 24 සෙනසුරාදා පූර්වභාග 06.59න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]