[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගෞතම බුදු සසුනේ අනාගාමී උපාසිකාවේළුකණ්ඨකී නන්දමාතා

ගෞතම බුදු සසුනේ අනාගාමී උපාසිකාවේළුකණ්ඨකී නන්දමාතා

වේළුකණ්ඨකී නන්දමාතා ව අපගේ ශාස්තෘන් වහන්සේ වැඩ සිටි සමයේ ගෞතම බුදු සසුන උපකාර කරගෙන අනාගාමී වූ උපාසිකාවක්. ඇයගේ නම නන්දා. ඇයට එක් පුතෙක් සිටියා. ඒ නිසා නන්දමාතා නමින් ප්‍රසිද්ධ වුණා. වේළුකණ්ඨකී ගමෙහි විසූ නිසා ‘වේළුකණ්ඨකී නන්දමාතා’ නමින් පසුකලෙක දී ප්‍රසිද්ධ වුණා.

නන්දමාතා දිනපතා ම පාරායන ධර්ම සජ්ඣායනා කරන්නට පුරුදු ව සිටියා. එක් රාත්‍රියක දී මේ උපාසිකාව පාරායන ධර්ම ඉතා ම මධුර ව හඬ නඟමින් සජ්ඣායනා කරමින් සිටියා. ඒ අතරේ දී යක්ෂයන්ට අධිපති වෛශ්‍රවණ දිව්‍ය රාජයා කිසියම් කටයුත්තක් සඳහා උතුරු දිශාවේ සිට දකුණු දිශාව බලා අහසින් යමින් සිටියා. උපාසිකාවගේ සජ්ඣායනා හඬ ඇසී ඊට සවන් යොමු කළා.

නන්දමාතා උපාසිකාව ධර්ම සජ්ඣායනාව අවසන් කරනවාත් සමග ම වෛශ්‍රවණ දිව්‍ය රාජයා තෙවරක් සාධුකාර දුන්නා.

”සොහොයුරිය, ඉතා අගෙයි. ඔබ ඉතා මැනවින් පාරායන ධර්මය සජ්ඣායනා කළා” යි කියා සිටියා.

”මා හට මෙසේ පවසන ඔබ කවුද?” කියා ඇය වටපිට බැලූවිට මහානුභාවයෙන් වැඩිසිටි දේව පුත්‍රයා දුටුවා.

පින්වත, ඔබ කවරෙක් ද?”

”සොහොයුරිය, මම යක්ෂයන්ට අධිපති වෛශ්‍රවණ දිව්‍ය රාජයා වෙමි”

”පින්වත් දිව්‍ය රාජයාණෙනි, එසේනම් මම මොහොතකට පෙර සජ්ඣායනා කළ පාරායන ධර්මය ඔබට තුඩු පඬුරක් වේවා!”

”පින්වත් සොහොයුරිය, එසේම වේවා! අපගේ ශාක්‍යමුනීන්ද්‍රයන් වහන්සේගේ අගසව් දෙනම වහන්සේ භික්ෂු සංඝයා වහන්සේ සමඟ මේ දක්ෂිණා ගිරියේ සැරිසරමින් වැඩ වෙසෙනවා. හෙට දිනයේ උන්වහන්සේ මේ වේළුකණ්ඨකීි නගරයටත් වඩිනවා. ඔබ උන්වහන්සේට හීල්් දානය පූජා කරගෙන ඒ පින මගේ නමින් ද අනුමෝදන් කරවන්න. එසේ කළහොත් ඔබ විසින් මට දුන් ආගන්තුක පඬුරක් ලෙස එය පිදුවා වනවා.” කියා දේව පුත්‍රයා එතැනින් පිටත් ව ගියා.

මේ කතාව ඇසූ නන්දමාතා උපාසිකාව එදින රාත්‍රියේ ම දානය සඳහා අවශ්‍ය සියලු දේ අවශ්‍ය පරිද්දෙන් ම සකසා ගෙන පසුදා උදෑසන ම ඉතා ප්‍රනීත ව හීල් දානය සකසා නිම කළා . හිමිදිරියේ තෙරුන් වහන්සේලා වේළුකණ්ඨකී ගමට වැඩම කළා. ඇය පුරුෂයෙක් කැඳවා,

”පින්වත අප බුදුරජාණන් වහන්සේගේ අගසව් දෙනම ප්‍රධාන භික්ෂූ සංඝ රත්නය, අපගේ ගමට වැඩම කොට විහාරයේ වැඩ සිටිනවා. උන්වහන්සේ වෙත ගොස් “නන්දමාතා ඔබ වහන්සේලාට දානය පිණිස ආරාධනා කරනවා, ස්වාමීනි ඇයගේ නිවසට වඩිනු මැනව” යි කැඳවා ගෙන එන්නැයි පිටත් කළා. ඒ පුරුෂයා කී ආකාරයට ම භික්ෂූන් වහන්සේ වෙත ගොස් ඇගේ නිවසට වැඩමවාගෙන ආවා.

ඇය ප්‍රණිත ව පිසූ දානය පූජා කර ගත්තා. දානය අවසන් වූ පසුව නන්දමාතා උපාසිකාව සාරිපුත්ත මහ රහතන් වහන්සේ වෙත ගොස් පසඟ පිහිටුවා වන්දනා කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙසේ වදාළා.

”පින්වත් නන්දමාතා උපාසිකාවෙනි, ස්වාමින් වහන්සේලා වේළුකණ්ඨකී ගමට වැඩම කළ බව දැන ගත්තේ කෙසේ ද? අපගේ වැඩම කරවීම ඔබට පැවසුවේ කවුද?”

”ස්වාමිනි සාරිපුත්තයන් වහන්ස, මම ඊයේ රාත්‍රියේ පාරායන ධර්මය කටපාඩමින් සජ්ඣායනා කරමින් සිටියා. ඒ වෙලාවේ කිසියම් කටයුත්තක් සඳහා අහසින් ගමන් කරමින් සිටි වෛශ්‍රවණ දිව්‍ය රාජයා එය ඇසීමෙන් සතුටට පත් ව මා ඉදිරියේ පෙනී සිට මා කළ ඒ පින අනුමෝදන් වුණා. ඉන්පසු කියා සිටියා පින්වත් නැගණියෙනි, හෙට දිනයේ දෑගසව්වන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ වේළුකණ්ඨකී නගරයට වැඩම කරනවා. උන්වහන්සේලාට දානයෙන් සංග්‍රහ කොට ඒ පින මට ද අනුමෝදන් කරන්න කියා. ඒ නිසා ස්වාමින් වහන්ස, මම විසින් කළ යම් පිනක් වේ ද, ඒ සියලු පින් යක්ෂයන්ට අධිපති වෛශ්‍රවණ දිව්‍ය රාජයාට අනුමෝදන් වේවා” කියා ඇය පින අනුමෝදන් කළා. එවිට තෙරුන් වහන්සේ වදාළා,

”පින්වත් නන්දමාතාවෙනි, එය ආශ්චර්ය යි. අද්භූත යි. ඔබ යක්ෂයන්ට අධිපති මහා බලසම්පන්න කුවේර නම් වූ වෛශ්‍රවණ දිව්‍ය රාජයා සියැසින් ම දැක තිබෙනවා. ඔහු හා කතාබහ කර තිබෙනවා. එය නම් අතිශයින් ආශ්චර්ය දෙයක්”

”ස්වාමීනි, මගේ ජීවිතේ සිදුවී තිබෙන සමහර දේ සමඟ මේ සිදුවීම් සංසන්දනය කර බලනවිට එතරම් ආශ්චර්ය සිදුවීමක් නොවේ. මෙය බොහෝ සුළු දෙයක්. මගේ ජීවිතේ මෙයට වඩා ආශ්චර්ය අද්භූත ධර්ම තිබෙනවා.

”ස්වාමිනි, මට නන්ද කියා පි‍්‍රයමනාප පුතෙක් හිටියා. මට සිටි එකම දරුවා මා මගේ පුතාට බොහෝ ම ආදරය කළා. නමුත් රජතුමා කිසිම සාධාරණ හේතුවක් නැතිව මගේ පුතා අපරාධකාරයෙක් යැයි සිතා බලහත්කාරයෙන් අල්ලාගෙන සිර ගෙදර දැමුවා. දස වද දී මරා දැමුවා. ඒ මොහොතේදීවත් මගේ සිතේ “අනේ අපොයි මේ මගේ එකම දරුවානේ. මේ රජු කරන්නේ මහා අසාධාරණයක් “ කියා කිසිදු කනගාටුවක් ඇතිවුණේ නැහැ. රජතුමා කෙරෙහි වෛරයක් ඇති වුණෙත් නැහැ. මගේ සිත ඇලුනේ නෑ, ගැටුනෙත් නෑ. සිත වෙනසකට පත් වුණෙත් නෑ” නන්දමාතාව කිව්වා. එවිට තෙරුන් වහන්සේ “පින්වත් මාතාවෙනි එය ඉතා ආශ්චර්ය අද්භූත ගුණයක්” යැයි වදාළ සේක.

” ස්වාමිනි, ඒ කරුණ මොන ආශ්චර්යයක් ද? මට හිතෙනවා මෙයටත් වඩා ආශ්චර්ය ධර්මයක් මා ළඟ තිබෙනවා කියා. ස්වාමිනි, මගේ සැමියා මේ මිනිස් ලොව අතහැර පෙරලොව ගියා. ඔහුට ඊළඟ ජීවිතයේ දිව්‍ය, බ්‍රහ්ම, හෝ මනුස්ස කියන සුගති ලොවක් හිමිවුණේ නැහැ. ඔහු උපත ලැබුවේ එක්තරා පහත් පෙළේ යක්ෂ කුලයක යි. මම ඔහු සියැසින් දකිනවා. ඔහු මා ඉදිරියේ පෙනී සිටිනවා. නමුත් මගේ සැමියාට මෙහෙම වුණේ ඇයි? කියා කිසිදු දුකක්, වේදනාවක්, කනගාටුවක් හට ගන්නේ නැහැ. ඇලීමක්, ගැටීමක් ඇති වී සිත වෙනසකට පත්වෙන්නේත් නැහැ.

”පින්වත් නන්ද මාතාවෙනි, ඒ කරුණින් ඔබගේ ජීවිතයේ තිබෙන ධර්මයන් ආශ්චර්ය යි, අද්භූත යි.”

”පින්වත් ස්වාමින් වහන්ස, ඒක එක අතකට මොන ආශ්චර්ය අද්භූත ධර්මයක් ද කියා මට හිතනෙවා. එයටත් වඩා ආශ්චර්ය ධර්ම තිබෙනවා. ස්වාමිනි, මම විවාහ ගිවිස ගත්තේ බොහෝ ම ළමා කාලයේ දී යි. මම විවාහ වූ දා පටන් කිසිදු දිනෙක ස්වාමියා ඉක්මවා සිතුවේ නෑ. කයින් ඉක්මවා යාම ගැන කවර කථාවක් ද?”

පින්වත් නන්ද මාතාවෙනි, ඒ කරුණත් ඔබගේ ජීවිතේ ආශ්චර්ය අද්භූත කරුණක් නෙව.”

”ස්වාමින් වහන්ස එක අතකින් ඒ කරුණ මොන ආශ්චර්යයක් ද? අද්භූතයක් ද? එය බොහෝ සුළු දෙයක් කියා හිතෙනවා. මගේ ජීවිතේ මෙයටත් වඩා ආශ්චර්ය කරුණු තිබෙනවා. ස්වාමිනි, මම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි පිළිවෙත් පුරන උපාසිකාවක් බවට පත් වූ දා සිට මේ දක්වා මම දැන දැන කිසිදු සිල් පදයක් කැඩුවේ නැහැ.

පින්වත් නන්ද මාතාවෙනි, එයත් ඔබගේ ජීවිතේ තිබෙන ආශ්චර්ය අද්භූත ගුණාංගයක්“

”ස්වාමිනි, එයටත් වඩා ආශ්චර්ය වන්නේ මම කාමයන්ගෙන් වෙන් ව අකුසල ධර්මයන්ගෙන් වෙන් ව, විතර්ක විචාර සහිත වූ විවේකයෙන් හටගත් පී‍්‍රතිය සුඛය ඇති ප්‍රථම ධ්‍යානයට එළඹ කැමැතිතාක් වාසය කරනවා. දෙවැනි, තෙවැනි, සිිව්වැනි ධ්‍යානයට එළඹ, පී‍්‍රතියට නො ඇලී සිහියෙන් හා නුවණින් යුතුව උපේක්ෂාවෙන් වසනවා. කයෙහි සැපය ද විඳිනවා.

”නන්ද මාතාවෙනි, ඉතා ආශ්චර්ය අද්භූත කරුණක් ඔබගේ ජීවිතයේ තිබෙන්නේ.”

”ස්වාමීනි, මෙයටත් වඩා අද්භූත ආශ්චර්ය කරුණු මගේ ජීවිතේ තිබෙනවා.

”ස්වාමිනි, අපගේ ශාස්තෘන් වහන්සේ විසින් ඕරම්භාගිය සංයෝජන ධර්ම පහ (සක්කාය දිට්ඨිය, විචිකිව්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ) දේශනා කොට තිබෙනවා නේ ද? ස්වාමිනි, මා තුළ ඒ ඕරම්භාගිය සංයෝජන ධර්ම පහම නැහැ. ඒ සියල්ල මේ වනවිට මා තුළින් ප්‍ර‍්‍රහාණය වී ඇති බව ප්‍රත්‍යක්ෂ කොට මා දන්නවා.

”පින්වත් නන්ද මාතාවෙනි, ඔබගේ ජීවිතයේ ආශ්චර්ය, අද්භූත කරුණු පහක් නොව හයක් තිබෙනවා. අනෙක් ආශ්චර්ය, අද්භූත කරුණ වන්නේ ඔබ වෛශ්‍රවණ දිව්‍ය රාජයා සියැසින් දැක කතා කිරීම යි. ඔබවන් අයෙකුට හැරෙන්නට ඒ කතාබහ වෙන අයෙකුට නම් කිසිසේත් කරන්න බැහැ. එනිසා වෛශ්‍රවණ දිව්‍ය පුත්‍රයා සමඟ කතාබහ කිරීමත් තවත් එක් ආශ්චර්ය අද්භූත කරුණක් වෙනවා” යැයි කියමින් සැරියුත් මහ රහතන් වහන්සේ ඇයට වදාළ සේක.

ඉන්පසුව උන්වහන්සේ නන්ද මාතාවගේ සිත තව තවත් ධර්මයට උනන්දු කොට විහාරයට වැඩි සේක.

       බිනර අව අටවක පෝය 

සැප්තැම්බර්10 බ්‍රහස්පතින්දා පූ.භා 02.06 න් අව අටවක ලබා 11 සිකුරාදා. පූ.භා 03.35 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]k