[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දැවෙන සිත් : අම්මාගේ සිත රිදවූ පව

දැවෙන සිත්

අම්මාගේ සිත රිදවූ පව

සමාජයේ ජීවත් වෙද්දි කොතරම් යහළුවන්, ‍ප්‍රේමයෙන් බැදුණ බිරියන්, දරුවන් සිටිය ද, සිරේ ගිය අයෙකුට අවසානයේ ඉතිරි වන්නේ මව්පියන් ය.

ඇතැම් විට තාත්තාටත් වඩා, වැරදි කරුවෙක් වුවත් ඒ පුතු වෙනුවෙන් නොවෙනස් ව ආදරේ පුදනු කෙනෙකු ඇත්නම් ඒ අම්මා පමණි.

වසර ගණනකට සිරගතවූ තම පුතු කවදා හෝ ගෙදර එයි කියා වසර විස්සක් තිස්සේ අමාරුවෙන් ජීවිතයේ එල්ලි සිටි මවකගේ කතාවකි මේ. එමෙන්ම ඒ අම්මා වෙනුවෙන් හිර ගෙදරදි ලද පීඩනය දරා ගත්, කවදා හෝ ගෙදර ගොස් අම්මා බලාගන්නේ යැයි තමන්ටම පොරොන්දු වී සිට පුතෙකුගේ කතාවකි මේ.

“පුතා එනතුරු ජීවත් වෙන්න ලැබුණොත් මට ඒ හොඳටම ඇති”

දවසක් දෙකක් නොව, අවුරුදු විස්සකට ආසන්න කාලයක් තිස්සේ මව උදේ ,සවස මල් පහන් සුවඳ දුම් පුදා බුදුන් වඳිමින් කළ එක් ප්‍රාර්ථනාවක් විය.

“පුතා ගෙදර එනතුරු ජීවත් වෙන්න ලැබුණොත් මට ඒ ඇති.” දිනෙක මේ අම්මා දිගු ලිපියක් එවමින් දන්නවා සිටියා ය.

ඒ වන විට ඇය අනූ වියට ළංවෙමින් සිටියා ය. කොළඹින් බොහෝ ඈත ගමක තනිව නිවෙසේ ඇය ජීවත් වූයේ හිතේ ධෛර්යයෙනි. නොමඟ ගියත් ඒ පුතු වෙනුවෙන් ඈ සිතේ කොතරම් ආදරයක් තිබේදැයි කියා දැන ගන්නට නම් ඇය හා කතා කළ යුතුම ය. කොයි මොහොතේ හෝ පුතු එනතුරු මඟ බලා හිඳින ඒ අම්මාගේ පුතා කවුදැයි කියා හිරගෙදර ගිය දිනෙක සොයා බැලුවෙමි.

“ඔව් ඒ තමයි මගෙ අම්මා. මගේ තාත්තා ප්‍රදේශයේ දරුවන්ගේ අනාගතය හැදු කෙනෙක්. මගෙ අම්මාට තාත්තාට අයියාට කිසිවෙක් වරදක් කියන්නේ නෑ. මටත් ප්‍රදේශයේ හොඳ පිළිගැනීමක් තිබුණා. මම සේවය කෙරුවේ ආරක්ෂක අංශයේ. නමුත් නරක යාළුවන් ගේ ඇසුරට වැටුණා. කප්පම් ගැනීමේ වරදකට තමයි මාව හසුවුණේ. අපි නීතියට හසු වුණා. සිර දඩුවම අවුරුදු පනහකට ආසන්නයි. හිර ගෙදරට එනවිට මම අවුරුදු විසි 24 යි. මම වැරදිකරු වෙලා හිරේ යන කොට මගෙ තාත්තා ජීවතුන් අතර නෑ. අයියා මා වෙනුවෙන් නඩු කිව්වා. එයාට තිබුණ ඉඩ කඩම් විකුණලා මා වෙනුවෙන් නීතිඥයන් ට මුදල් වියදම් කළා.

ඒත් අවුරුදු ගාණක් සිර දඩුවමක් නියම වෙලා මම හිරේ ගියාම අයියා ඒ හිතේ අමාරුවෙන් ම අසනීප වෙලා මැරුණා. අම්මා තනි වුණා. හිරේ හිටියට මගෙ හිතට සැනසිල්ලක් තිබුණේ නෑ. මට මගේ අම්මා හැම මොහොතකම මතක් වුණා. ඇවිද ගන්න පුළුවන් කාලේ අම්මා මා බලන්න ආවා. අවුරුදු ගාණක් ගියාට පස්සේ අම්මා ට ඇවිදගන්න අමාරුයි දුර ගමන් යන්න අමාරුයි. අම්මා හිර ගෙදරට යන එන ගමන නතර වුණා.

හිරගෙදර දි හමු වූ ඔහු එක දිගටම කතාව කියාගෙන ගියේය. ඔහු හිර ගෙදර සිල් භාවනා වැඩසටහන් වලට මෙන්ම වෙනත් ක්‍රියාකාරකම් වලට එක්වෙමින් හිත සනසා ගන්නට උත්සාහ දරමින් සිටියේය. දිනෙක හිර ගෙදර ගිය විට ඔහු මා සොයා ආවේය.

“උදව්වක් කරන්න.... ඒත් මොකද්ද උදව්ව කියන්න මට තේරෙන්නේ නෑ .මගේ අම්මා ගෙදර මිදුලේ වැටිලා. මට අම්මා බලන්න යන්න ඕන.... අම්මාට කාගේ හෝ උදව් ඕන අම්මා ඔපරේෂන් කරන්න නම් මම අත්සන් කරන්න යන්න ඕන.”

එහෙත් ඔහුට ගමට යන්නට බැරිවිය. අවසානයේ අම්මාගේ ශල්‍ය කර්මය සිදුකැරිණි. ඥාතී හු විසින් මේ මාතාව ආදරයෙන් බලා ගත්හ. ඉන් මාස කහිපයකට පසු රාජකාරි ගමනක් යන අතරතුර ඇය බලන්නට ගියෙමි. ඒ වන විට ඇය සිටියේ ඇදේ ය. ඇයට ඉඳ ගැනීමට නැගීටිමට ඇවිදීමට අපහසු ය. “දැන් ගොඩක් දුරට සනීපයි. මම මගේ පුතා එනතුරු ජීවත් වෙනවා. එයා මේ ගෙදරට එන එක තමයි මගේ එකම හීනය. මම උදේ හවස මෙහෙම ඉඳගෙන බුදුන් වඳිනවා. මගෙ පුතා තමයි මගෙ ජීවිතය.”

ඒ අම්මා හිතේ ධෛර්ය පෙර දැරිව පැවැසුවා ය. කාලය ගෙවිණි. අම්මාගේ ප්‍රාර්ථනය ඉටු වූවාය. අවසානයේ පුතු ගෙදර ආවේය. ඒ වන විට ඇය යාන්තම් රෝද පුටුවේ ඉන්නට හුරුව සිටියා ය. ගරා වැටුණ ගෙවල් දොරවල් යළි පිළිසකර විණි. මිදුලේ මල් පැළ එළවළු සිටුවා කල එළිකරනු ලැබිණි. මේ සියල්ල කළේ හිරගෙදරින් පිටව ආ පුතු ය.

“මං දුරදිග නොබලා කරපු වරදක් නිසා අපේ මුළු පවුලම දුක් වින්දා. අම්මා ගේ හිත රිදවපු පව කවදාවත් මට ගෙවලා ඉවර කරන්න බැරි වේවි. අම්මා මා වෙනුවෙන් හැම මාසෙම තාත්තාගේ පැන්ෂන් එකෙන් ලැබෙන මුදලින් මගේ බැංකු පොතේ ගාණක් ඉතිරි කර තිබුණා. ඇය මං ගැන හිතපු තරම් මට ඇය ගැන හිතන්න බැරි වුණා නේද කියලා හිතෙනවා. මම දන්න හැමෝටම කියන්නේ කවමදාවත් අම්මාට ගින්දර දෙන්න එපා. ඒක ගෙවා ගන්න බැරි පවක්. හිර ගෙදරදි මම භාවනා කළා. බණ ඇහුවා. දෑතේ කර්මාන්ත බොහෝමයක් ඉගෙන ගත්තා. දැන් මගේ දවස ගෙවෙන්නේ අම්මා සමඟ. ඇය නාවලා, කවලා, පොවලා රෙදි සෝදලා බෙහෙත් දීලා ඇගේ සියලු කාර්යයන් කරන්නේ මම. මං ගෙදර ආවට පස්සේ අම්මා බොහෝම සතුටින් ඉන්නවා කියලා මට දැනෙනවා. අම්මා තමයි මගෙ ජීවිතේ යහමගට ගත්තේ.”

ඔහු පවසන්නේ දෑත් එක්කොට අම්මාගේ ගුණ සිහිකරමිනි.

   ඇසළ අමාවක පෝය 

 ඇසළ අමාවක පෝය ජුලි 20 සඳුදා පූර්වභාග 00.10 න් ලබා එදිනම අපරභාග 11.02 න් ගෙවේ. සඳුදා සිල්.

මීළඟ පෝය ජූලි 27 සඳුදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසළොස්වක

අගෝස්තු 03

Second Quarterඅව අටවක

අගෝස්තු 11

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]