[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුක හඳුනාගෙන ජීවිතයට සතුටින් මුහුණ දෙමු

දුක හඳුනාගෙන ජීවිතයට සතුටින් මුහුණ දෙමු

දුක අවබෝධ කරගෙන ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේ ද? ජීවිතය සැප වගේ ම දුක් ඔස්සේ ගත වේගෙන යනවා. සැප ඉදිරියේ මනුෂ්‍යයෝ සතුටින් මුහුණ දෙනවා. එනමුත් දුක ඉදිරියේ හඬා වැළපෙනවා. මේ නිසා දුර්ලභ ව ලැබූ මනුෂ්‍ය ජීවිතය අවබෝධයෙන් යුතුව උපේක්ෂාවෙන් යුතුව මුහුණ දෙන්නේ කෙසේ දැයි අප විසින් විසඳා ගත යුතු වෙනවා.

ජීවිතය කෙටි කාලයයි

බෞද්ධ දර්ශනයට අනුව මනුෂ්‍ය ජීවිතයක් ලැබීම ඉතා ම දුර්ලභ අවස්ථාවක්. කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවාටත් වඩා අපහසුයි. ඉතාම අපහසුවෙන් ලද මනුෂ්‍ය ජීවිතය ද ආයු වශයෙන් ඇත්තේ ඉතා ම කෙටි කාලයකුයි. ඒ කෙටි කාලය තුළ මනුෂ්‍යයන්ට සම්මුතිය තුළ අවුරුදු සියයක් පමණ පවතින්නේ නම්, ඉගෙනීම, රැකියාව, විවාහය, දරුවෝ, යුතුකම් ආදී වශයෙන් ජීවිතය පවත්වාගත යුතු වෙනවා. මෙයිනුත් ඉගෙනීම වෙනුවෙන් ජීවිතයේ සෑහෙන කාලයක් එනම් ජිවිතයෙන් තුනෙන් එකක් පමණ ගත කළ යුතු වෙනවා.

ධර්මානුකූල සතුට

මීළඟට ජීවිතය පවත්වන්න නිසි ධනයක් උපයාගැනීම පිණිස තවත් සෑහෙන කාලයක් ගත කළ යුතු වෙනවා.

එහි දී බොහෝ පිරිසක් දුක්ඛ, දෝමනස්සයන්ට පත්ව ජීවිත ගත කරන බව පැහැදිලියි. මේ නිසා ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන ධර්මානුකූල සතුටකින් ජීවිතය පවත්වන්නේ කෙසේ දැයි අප විසින් තේරුම් ගත යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් පළමුවෙනි දේශනාව වූ ධම්මචක්කප්පවත්තන දේශනාවේ දී ජීවිතයේ යථාර්ථය මතුකොට පෙන්නුම් කළා. එනම් ඉපදීම දුකකි. ලෙඩවීම දුකකි. දිරාගෙන යෑම දුකකි. මරණය දුකකි. අපි‍්‍රයන් හා එකතුවීම දුකකි. පි‍්‍රයයන්ගෙන් වෙන්වීම දුකකි. යමක් කැමැති නම් ඒ දෑ නොලැබීම දුකකි. කෙටියෙන් පවසන්නේ නම් ස්කන්ධ පංචකයම දුකකි. ජීවිතයක් ආරම්භයේ දී ම ජීවිතයේ යථාර්ථය භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා.

මේ දුක්ඛ කියන වචනයෙන් අපි තේරුම් ගන්නේ, සාමාන්‍යයෙන් අදහස් කරන හඬා වැළපීම ආදිය පමණක් නොවේ. දුක්ඛ කියන වචනයෙන් අපි තේරුම් ගනු ලබන්නේ ජීවිතයක් පවත්වන විට හමුවීම් - වෙන්වීම්, ලැබීම් - නොලැබීම්, දුක්ඛ දෝමනස්ස, සැප - දුක, නින්දා - ප්‍රශංසා, කීර්ති හා අවමන් ආදී වශයෙන් මේ සියල්ලමයි. යම් කෙනෙක් ප්‍රශ්න කරනු ලබන්නේ සැපක්, සතුටක් , සොම්නසක් ධනයක් ලැබීමක් දුකක් වන්නේ කෙසේ දැයි යනුවෙනුයි. මෙය මැනවින් අවබෝධ කරගත යුතු අවස්ථාවකි. හේතූන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන්නා වූ යම් ඵලයක්, විපාකයක් වේ ද ඒ හේතූන්ගේ විසිර යෑමෙන් එම ඵලය හා විපාකය ද නැතිව යන්නේ ය. ඒ අදහස ඔස්සේ අප කල්පනා කරන විට අප සැප සතුට, සොම්නස, ලැබීම, හමුවීම, කීර්තිය, ප්‍රශංසාව, නීරෝගීකම විවිධ වචන වලින් සතුට කියන වචනයට එකතු කර ගන්නා අවස්ථාවන් හේතූන්ගේ සංසිද්ධියකි. හේතූන්ගේ ඵලයකි. ඒ ඵලය අප සැප, සතුට හැටියට හඳුනා ගන්නෙමු. නමුත් ඒ ඵලය සකස් වූයේ හේතුන්ගේ නම් ඒ හේතූන්ගේ ම විසිර යෑම සිදු වන විට ඒ ඵලය ද නැතිව යන්නේ ය.

සැපය තුළ සැඟවුණ දුක

මේ නිසා සැප, සතුට, සොම්නස, හමුවීම ‍හෝ ඔබේ වචනවලින් ආදරය, ලෙන්ගතුකම, මේවා තුළ ද සකස්ව ඇත්තේ දුකම නොවේදැයි නුවණින් සිහිපත් කරන්න. අප සතුටක්, හමුවීමක්, සොම්නසක් හැටියට ඵලය ළංකරගත්තත්, ඒ හේතූන් විසිරී යන විට ඒ සතුටෙහි ඒ ඒ මොහොතෙහි නිමාවක් ඇතිවෙයි. ඒ අවස්ථාව අපි දුක හැටියට හඳුනා ගන්නෙමු.මෙන්න මේ නිසා දුක්ඛ කියන වචනයෙන් සාමාන්‍ය ලෝකයා හඳුන්වන සැපත්, සතුටත්, සොම්නසත්, ආදරයත්, ලෙන්ගතුකමත්, බැඳීමත්, හමුවීමත් ඒ සියල්ලත් දුක්ඛ කියන වචනය යටතේ ම අප විසින් තේරුම් ගතයුතු වෙනවා.

වෙනස්වීම නුවණින් දැකීම

එහි දී සැප, සොම්නස, සතුට, හමුවීම, ආදරය, ලෙන්ගතුකම, මේ සියල්ලත් දුකක් හැටියට ම අප විසින් විඳිය යුතු දැයි කෙනෙක් ප්‍රශ්න කළ හැකි ය. නැත. අප විසින් ඒ සතුට, සොම්නස ලෙස පරිහරණය කරන හෝ අත්විඳින සියල්ල ම ස්ථිර නොවන බවත්, අපට ඕනෑ ආකාරයෙන් නොපවත්නා බවත්, තේරුම් ගෙන මොනයම් වෙලාවක හෝ එය වෙනස්විය හැකි බව නුවණින් දැක හැකිතාක් දුරට පස් පව් දස අකුසල්යන්ගෙන් බැහැරව සීල සමාධි ප්‍රඥා ගුණ වඩන ජීවිතයක් පවත්වා ගැනීමට ධර්මය තුළින් පුද්ගලයා උනන්දු කරවයි.

තමන්ගේ කරගන්නා දුක

මෙහි දී සම්මතය තුළ හැබෑවට ම ඔබ විසින් ලබන හැඩීම්, වැළපීම් නොලැබීම්, වෙන්වීම් දුක්ඛ දෝමනස්ස තරහව වෛරය ඉදිරියේ දී පවා දුකේ කොටසක් හැටියට හඳුනාගන්නවා. හැබැයි ඒ දුක තමාගේ බවට පත් නොකොටගෙන හේතූන්ගේ ප්‍රතිඵලයක්, විපාකයක් ලෙස ඒවා දකිමින් හේතූන්ගේ වෙනස්වීමෙන් මේ සම්මුතියේ පවත්නා දුක ද වෙනස්වන බව දැක සිත මධ්‍යස්ථ ව උපේක්ෂාවෙන් සංසිඳුවා ගන්නට අවස්ථාවක් සැලසෙනවා.

මේ ගැඹුරු අදහසක් , කතාවක් ලෙස ඔබට දැනුනත් පරමාර්ථ ධර්ම අවබෝධය ඔස්සේ අපට ජීවිතයේ එවැනි උපේක්ෂා තත්ත්වයකට පත්කර ගැනීමට අවස්ථාව සලසා ගන්නට පුළුවනි. කෙටියෙන් සදහන් කරන්නේ නම්, ඔබ සම්මුතියේ සතුටක් ලෙස පරිහරණය කරන හෝ ලබන දේ තණ්හා මද මාන දිට්ඨියෙන් තොරව පරිහරණය කරන්න.

ඉතිරි කොටස ඇසළ අවඅටවක පෝදා (ජූලි 12 )පත්‍රයේ පළවේ.

   ඇසළ පුර පසළොස්වක පෝය 

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 04 සෙනසුරාදා. පූර්වභාග 11.34 ට පුර පසළොස්වක පෝය ලබා 05 ඉරිදා පූර්වභාග 10.14 ට පෝය ගෙවේ. සෙනසුරාදා සිල්.

මීළඟ පෝය ජූලි 12 ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]