[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

වෙහෙර වහන්සේ

බෞද්ධ විහාරස්ථානයක් දුර සිටම හඳුනාගත හැකි සලකුණ වෙහෙර වහන්සේයි. බුදු, පසේබුදු, මහරහත් ශාරීරික ධාතුන් වහන්සේ, පාරිභෝගික ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති පූජනීය වස්තුවක් නිසා බුදුන්,වහන්සේ, රහතන් වහන්සේ මෙන් බෞද්ධ ජනතාව වෙහෙර වහන්සේ යනුවෙන් ගෞරවාදරයෙන් සලකති. පොත්පත්වල ස්තූප වර්ග හයක් ගැන සඳහන් වේ. බුබ්බුළාකාර, ඝණ්ටාකාර, ධාන්‍යාකාර, ඝඨාකාර, පද්මාකාර හා ආම්ලාකාර වශයෙනි. දිය බුබුළක හැඩැති බුබ්බුළාකාර, ඝණ්ටාවක හැඩැති ඝණ්ටාකාර, වී ගොඩක හැඩැති ධාන්‍යාගාර ස්තූප අප රටේ ප්‍රධාන වශයෙන් දැකිය හැකි ය. ස්තූපය, ශක්තිමත් වෘත්තාකාර වේදිකාවක පේසාවළලු මත ධාතු ගර්භය, හතරැස් කොටුව, දේවතා කොටුව, කොත් කැරැල්ල හා චූඩා මාණික්‍යය යන අංගවලින් යුක්ත විහාරස්ථානයක උසම ගොඩනැඟිල්ල ලෙස ඉදිකර ඇත.

****

බුදු හිමියනි

බුදු සමිඳු වඩින වා
නෙත් කැලුම් දිලෙන වා
හද බැතියෙන් පිදෙන වා
සාධු හඬ නැඟෙන වා

දළදා සමිඳුන් අප නමදින් නේ
සිරි දළදා බුදු ගෞතම වන් නේ
දළදා සමිඳුගේ පිහිට ලබෙන් නේ
එපින් බලෙන් මට නිවන් ලැබෙන් නේ

****

අනගාරික ධර්මපාල තුමා

වර්ෂ 1864 සැප්තැම්බර් මස 17 වැනි දින මාතර හිත්තැටියේ දී මෙතුමා උපත ලැබී ය. මව්පියන් විසින් දොන් ඩේවිඩ් හේවාවිතාරණ යනුවෙන් නම තබන ලද්දේ ය. පාසල් කිහිපයක ම අධ්‍යාපනය ලද ඩේවිඩ් උසස් අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්සේ තෝමස් විදුහලෙනි. ඩේවිඩ් නම් ඉංගී‍්‍රසි නාමය වෙනුවට ‘ධර්මපාල’ යන සිංහල නාමය තබාගත්තේ ය.

වර්ෂ 1891 දී මහාබෝධි සමාගම ආරම්භ කළේ ය. ‘සිංහලයෙනි නැගිටිව් බුද්ධගයාව බේරා ගනිව්’ යනුවෙන් බුද්ධගයාව බේරා ගැනීම පිණිස ජනතාව දැනුම්වත් කළ මෙතුමා පෙර අපරදිග රටවල පවා බෞද්ධ ප්‍රබෝධයක් ඇති කළේ ය. එතුමා දඹදිව වෙසක් උත්සව පැවැත්වීමට ද කටයුතු කළේ ය. මහාබෝධි නමින් සඟරාවක් ද ආරම්භ කළ අතර සිංහල බෞද්ධයා නමින් පුවත්පත්ක් ද ආරම්භ කළේ ය. 1933 දී පැවිදිබව ලැබූ උන්වහන්සේ ඉන්දියාවේ මූලගන්ධකුටි විහාරස්ථානයේ දී අපවත් වූ සේක.

****

ඇස් මහින්ද හිමි

තෂිනම්ගල නමින් ටිබටයෙ උපත ලැබ
කුල දෙටු නොමැති කල අයියගෙ සරණ ලැබ
ආවා ලක් දෙරණට 1914 දී ඉඩක් ලැබ
සුදුස්සාට සුදුසුම තැන ලොවින් ලැබ

අතට ගත් පෑනෙන් ලීවේ මගෙ රට ගැනය
ජාතික තොටිල්ලයි ලංකා මාතා නිදහස් දැහැනය
රට ගැන එන කැක්කුම මගේ දේශභිමානය
මැදින් මාසයේ උන්වහන්සේගේ ගුණානුස්මරණය

****

ස්වර්ණමාලී මහා සෑය

රන් රිදී මුතු මැණික් මැව්වලු සෑය ඉදි කරවන ලෙසින්
සුවඳ මල් වැහි සෑය වැන්දලු සක් දෙවිඳුගෙ අනුහසින්
පංචසිඛ දෙවිවරුන් ආවලු සෑය වඳිනට හදබැතින්
කොත් පළන්දන විට දී වැඩියලු රහත් හිමියන් සිව්කොණෙන්

ඓතිහාසික වරම් ලද සිව්බුදුවරුන් වැඩි පින්බිමයි
නාලොවින් ධාතුන් ගෙනත් තැන්පත් කළේ පූජා මැදයි
අනාගතයේ දහම රැකුමට නවවරක් ගිලි භූමියයි
උතුම් රන්වැලි මහා සෑ බිම තැනූ රජු දුටුගැමුණු වෙයි

****

ආදර අම්මා

සැපදුක් විමසා නිතරම ළඟ සිටි
කවා පොවා සෙනෙහස පුදකර සිටි
කරුණා ගුණයෙන් ලොවේ උතුම් පිරි
අම්මා ලෙස ඇය ලොවේ සිටී

දරු දිවි මංපෙත අඳුරෙන් මුදවන
දිවි මං පෙත තුළ මිණි පහනක් වන
දරුවන්ගේ තුටු වෙනුවෙන් වෙහෙසෙන
දෙවනි බුදුන් ඇය නිවසේ සැමදින

****

මෙත් වඩමු

මෙත්තා යනු මෛත්‍රිය යි. මිත්‍රකම, හිතවත් බව යනු මෛත්‍රිය යි. මෛත්‍රිය වඩන අයට ආනිසංස රාශියක් ලැබෙන බව මෙත්තානිසංස සූත්‍රයේ දැක්වේ. හොඳින් නින්ද යෑම, හොඳින් අවදිවීම, නරක සිහින නො දැකීම, අමනුෂ්‍යයන්ට පවා පි‍්‍රය වීම, මිනිසුන්ට පි‍්‍රය වීම, දෙවියන්ගේ රැකවරණය ලැබීම, වස විස ආදියෙන් ගින්නෙන් හානි නොපැමිණීම වැනි අනුසස් රාශියක් ලැබේ.

මම වෛර නැත්තෙක් වෙම්වා, මම තරහ නැත්තෙක් වෙම්වා, මම දුක් පීඩා නැත්තෙක් වෙම්වා,

මම බිය උවදුරු නැත්තෙක් වෙම්වා, මම සුවපත් වෙම්වා, මා මෙන්ම ගුරු දෙගුරු, හිතවත්, අහිතවත්, මැදහත් අයට මෙන්ම සියලු සත්ත්වයින්ට මෙත් සිත පැතිරවිය හැකි ය.

****

පැන විසඳුම්

පහත සදහම් ප්‍රශ්නයට පිළිතුර පැහැදිලි ව ලියා අප වෙත එවන්න.

උතුම් ආමිස පූජාව පිළිබඳව කෙටියෙන් නිර්මාණාත්මකව ලියා අපවෙත එවන්න.

ජයග්‍රාහී දරුවෙකුට දයාවංශ ජයකොඩි සහ සමාගමෙන් දහම් පඬුරක් පිරිනැමේ.

   ඇසළ පුර පසළොස්වක පෝය 

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 04 සෙනසුරාදා. පූර්වභාග 11.34 ට පුර පසළොස්වක පෝය ලබා 05 ඉරිදා පූර්වභාග 10.14 ට පෝය ගෙවේ. සෙනසුරාදා සිල්.

මීළඟ පෝය ජූලි 12 ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]