[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සද්ධර්මරත්නාවලියෙන් : දෙවියන්ගෙන් පුත් රුවනක්

සද්ධර්මරත්නාවලියෙන්

දෙවියන්ගෙන් පුත් රුවනක්

අපගේ ජීවිතවලට යහපත උදාකර දෙන, සැපය උදාකර දෙන යම් උදාර දෙයක් ඇත්නම් ඒ අනෙකක් නොව ගෞතම බුදු සසුනයි. මේ ලෝකයේ කාමය ඇතුලු අනෙක් සියලුම සැප සම්පත් ඉතාම තාවකාලික ය. නමුත් බුදු සසුනක් තුළින් ලැබෙන සැපය , සැනසුම, ආරක්ෂාව සදාකාලික ය. නුවණැති දෙවි මිනිසුන්ට බුදු සසුන තුළින් එම සැපය , සැනසුම, ආරක්ෂාව තම තම නැණ පමනින් උපදවා ගත හැක.

සද්ධර්මරත්නාවලිය යනු එවන් ලෝ සතුන්ට තම දහම් මඟ දියුණු කර ගැනීම පිණිස උපකාරී වන පහනක් වැනි ය. මං මුළාවූ කෙනෙක්ට නිවැරැදි මඟ පෙන්වන කලණ මිතුරෙක් වැනි ය. පිපාසිතයෙකුට මිහිරි පැන් පොකුණක් වැනි ය.ඉතාම සුන්දර ලෙස අලංකාර උදාහරණයන් ඇතුළත් කරමින් රචනා කොට ඇති මෙම පොත් වහන්සේ අප ඉතාම ගෞරවයෙන් පරිශීලනය කළ යුතු ය.

තුන්වනවන විජයබාහු , දෙවන පැරකුම්බා , හතරවන විජයබාහු , පළමුවන බුවනෙකබාහු , යන රජවරුන්ගේ පණස් වසරක පමණ රාජ්‍ය කාල සීමාව තුළ ධර්මසේන ස්ථවිරයන් වහන්සේ විසින් මෙම පොත් වහන්සේ රචනා කරන ලදී . බුදු ගුණ , දම් ගුණ , සඟ ගුණ, රහතන් වහන්සේලා පිළිබඳ සුන්දර කතා වස්තු , ඇතුලු අපගේ ජීවිතවලට ඉතාම වටිනා දහම් කරුණු මෙම ග්‍රන්ථ රත්නය තුළ ඇතුළත් වේ.සැබවින් ම මෙම පොත් වහන්සේ මැණික් ආකරයක් බදු නිධානයකි.එම මැණික් ආකරයෙන් එක් එක් මාණික්‍ය රත්නයන් අප මෙසේ ඔබට දක්වන්නෙමු.

චක්ඛුපාල මහ රහතන් වහන්සේ

බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ වාසය කරන කාලයේ සැවැත් නුවර මහා සුමන නම් සිටුවරයෙක් වාසය කළා.මෙම සිටුවරයාට කෙතරම් ධනය තිබුණ ද, කොතරම් බලය තිබුණ ද දරුවන් සිටියේ නැහැ. ගස් වල පල හටගන්නා අවදියේ දී පල හට නොගන්නේ යම් සේ ද මෙම සිටුවරයාට, සහ පවුලේ සියලු දෙනාටම මෙය විශාල ප්‍රශ්නයක් බවට පත් වුණා.දවසක් මෙම සිටුවරයා ගඟට ගොස් දිය නාගෙන පැමිණෙන අතරතුර අතු පතර විහිදී ගිය සුවිශාල මහා නුග රුකක් දැක්කා.අනෙකුත් සියලුම රුක්ෂයන් අභිබවමින් මනස්කාන්ත ලෙස තිබෙන වනස්පතී නුග රුක දුටු මෙම සිටුවරයාණෝ බොහෝ පැහැදී මෙම රුක්ෂය වටා ප්‍රාකාරයක් බන්ඳවා, සුදු වැලි අතුරුවා ධජ පතාක ආදියෙන් සරසවා පුද පූජාවන් පැවැත්වුවා.මෙසේ පුද පූජාවන් පවත්වා එම රුක්ෂයට අධිගෘහිත දේවතාවුන් වහන්සේට තමන්ට දරු සම්පත් නොමැති බව පවසා දරු සම්පත් ලබා ගැනීම පිණිස උන් වහන්සේගෙන් උදව් ඉල්ලුවා.ඒ තම පැතුම ඉෂ්ට වුවහොත් ඒ සඳහා නැවත ප්‍රතිඋපකාර කරන බවට සිහිපත් කොට, බාරයක් වී තම නිවසට පිටත් වුණා.මෙසේ කෙටි කාලයක් ගතවන විට ගසකට වතුර නැතිව, පලදාව ප්‍රමාද ව සිට පැන් ලැබුණ සැනින් පලදාව ලැබෙන්නා සේ දේවතාවුන් වහන්සේගේ උපකාරය ඇතිව ඔවුනට පුත්‍ර රත්නයක් ලැබුණා. දේවතාවුන් වහන්සේගේ උපකාරයෙන් පුතණුවන් ඉපදුණ නිසා මහා පාලිත යයි නම තිබ්බා.කාලයාගේ ඇවෑමෙන් තවත් පුතණු කෙනෙක් ලැබුණා. ඔහුට චුල්ලපාලිත යයි නම් තිබ්බා.මෙසේ කාලයත් සමඟ මෙම කුමාරවරැ දෙදෙනා බොහොම යහපත් ලෙස තරුණ වියට එළබුණා.

එකල සැවැත් නුවර වාසීන්ගෙන් බොහෝ පිරිසක් තෙරුවන් සරණ ගොස් නිතරම පින්කම් කරමින් කලය ගත කළා. උදය වරුවේ දී පිණ්ඩපාත ආදී දන් පුදමින් පින් රැස් කරන පිරිස හවස් වරුවේදී තෙල් මල් පහන් ආදී පූජා ද්‍රව්‍ය රැගෙන ජේතවනයට යනවා. දවසක් පාලිත කුමාරයා මෙසේ බොහොම අලංකාර අයුරින් සැරසී බුදු පුදට යන උපාසක උපාසිකාවන් දැක ඔවුන් ගෙන් විස්තර විමසා , ඔහු ද දෙව්රම බලා පිටත් වුණා.

ඉතිරි කොටස ඇසළඅව අටවක පෝදා (ජූලි 12 වැනිදා) පත්‍රයේ පළවේ.

   ඇසළ පුර පසළොස්වක පෝය 

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 04 සෙනසුරාදා. පූර්වභාග 11.34 ට පුර පසළොස්වක පෝය ලබා 05 ඉරිදා පූර්වභාග 10.14 ට පෝය ගෙවේ. සෙනසුරාදා සිල්.

මීළඟ පෝය ජූලි 12 ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]