[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අඩුම වයසින් අග්ගමහා පණ්ඩිත ගෞරව උපාධියෙන් පිදුම් ලද කොටපිටියේ රාහුල අනු නා හිමියෝ

අඩුම වයසින් අග්ගමහා පණ්ඩිත ගෞරව උපාධියෙන් පිදුම් ලද කොටපිටියේ රාහුල අනු නා හිමියෝ

අග්ගමහා පණ්ඩිත උපාධිය, සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් කැපවන භික්ෂූන් වහන්සේ ඉහළින්ම අගය කිරීම සඳහා දෙනු ලබන ඉතා විරල ගෞරව උපාධියකි.


වාද්දුව තල්පිටිය බෝධිරාජ මහා විහාරාධිපති කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරි අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කොටපිටියේ රාහුල අනු නාහිමි

මියන්මාර රජය මගින් පිරිනමනු ලබන එම උපාධියට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. ලෝකයේ කීර්තිමත් මහා යතිවරයාණන් වහන්සේ වෙනුවෙන් ප්‍රදානය කරන අග්ගමහා පණ්ඩිත ගෞරව උපාධියට හිමිකම් කියමින්, පොල්වත්තේ බුද්ධදත්ත නායක හිමි, බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනායක හිමි, මහාචාර්ය වල්පොළ රාහුල හිමි, රේරුකානේ චන්දවිමල නාහිමි, කොටුගොඩ ධම්මාවාස මහා නාහිමි, නාපාන පේමසිරි මහා නා හිමි ඇතුළු යතිවරයාණන් වහන්සේ අපේ රටට ද ගෞරවණීය කීර්ති නාමයක් ගෙන දුන්හ. උන්වහන්සේ ඒ ගෞරව උපාධියෙන් පිදුම් ලැබුවේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කළ මහා සේවයට ගෞරවයක්, උපහාරයක් ලෙසිනි.

අග්ග මහා පණ්ඩිත උපාධිය පිරිනැමීමේ දී සලකා බැලෙන ප්‍රධානතම නිර්නායකය වන්නේ උපාධිලාභී ස්වාමීන් වහන්සේ වයස අවුරුදු 60 සම්පූර්ණ කර තිබීම ය. බුරුම රටේ අගමැතිතුමා විසින් උපාධිය ප්‍රදානය කිරීමෙන් පසු ඊට අදාළ සහතික පත්‍රයක් ,ධජයක්, නාම පුවරුවක් සහ නිල මුද්‍රාවක් ද ලබාදේ. එම නිල මුද්‍රාව භාවිත කර යම් ලියමනක් ඉදිරිපත් කළේ නම් බුරුම රජය එය ඉතා ඉහළින් පිළිගනී.

මෙම වසරේ බුරුම රජය මගින් පිරිනමන අග්ගමහා පණ්ඩිත උපාධියෙන් පිදුම් ලැබුවේ මෙරට බෞද්ධ අධ්‍යාපනයේ නියැළෙන දෙස් විදෙස් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ වෙනුවෙන් වෙසෙස් මෙහෙවරක් සිදු කළ මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. උපාධිය පිරිනැමීමේ ප්‍රධානතම නිර්නායකයක් වන වයස අවුරුදු හැටක් වීමටත් පෙර උන්වහන්සේට මෙම ගෞරව උපාධිය හිමි කර ගැනීමට හැකි වීම සැබැවින් ම සුවිශේෂී ය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති වහන්සේ ලෙස සේවය කළ, දැනට ද එම විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්වාමින් වහන්සේ ලෙස සේවය කරන කොටපිටියේ රාහුල හිමි කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ හිමියන් ලෙස සිය රාජකාරි කටයුතු ආරම්භ කරන්නේ 2013 වසරේ දී ය. ඒ වන විට දේශීය විදේශීය ශිෂ්‍යයින් ඉතා අඩු පිරිසක් එහි අධ්‍යාපනය ලැබූ අතර. අවශ්‍ය පහසුකම් හා අධ්‍යාපන ක්‍රමවේදය සංවර්ධනය කිරීම තුළ ඉතා කෙටි කලකදී මෙම ආයතනයෙන් දෙස් විදෙස් ශිෂ්‍යයන් විශාල පිරිසකට පශ්චාත් උපාධිය හිමිකර ගැනීමට අවස්ථාව ලැබුණි. විශේෂයෙන් විදේශීය ශිෂ්‍යයන් විශාල වශයෙන් මෙම අධ්‍යාපන ආයතනය සමඟ එකතු විය. ඒ තුළින් ලංකාවට විශාල විදේශ විනිමයක් ලැබුණි. පාලි හා බෞද්ධ අධ්‍යයන විෂයයට ආර්ථිකමය වශයෙන් වටිනාකමක් නැතැයි බොහෝ දෙනා අදහස් කරමින් සිටි අවස්ථාවක විදේශීය ශිෂ්‍යයින්ට අධ්‍යාපනය ලබා දී වසර ගණනාවක් ම, අඛණ්ඩ ව, වැඩිම ආදායම ලබාගත් අධ්‍යාපන ආයතනය බවට පත් කිරීමට හැකිවූ බව රාහුල හිමියෝ පවසති.

“මෙම පශ්චාත් උපාධි අධ්‍යාපන ආයතනය තුළ ඉගෙන ගන්නා ලද ශිෂ්‍යයින් අතරින් බොහෝ දෙනෙක් බුරුම, චීන, වියට්නාම්, හොංකොං හා සිංගප්පූරුව යන රටවලින් පැමිණි අය. යුරෝපීය ජාතික ශිෂ්‍යයින් ද සුළු පිරිසක් සිටියා. මා දන්නා තරමින් වැඩිම බුරුම ශිෂ්‍ය පිරිසකට ආචාර්ය උපාධිය ලබා ගැනීමේ දී ප්‍රධාන උපාධි පරීක්ෂක ලෙස කටයුතු කළා. එම කාලය තුළ ඒ රටවල මගේ නම ප්‍රසිද්ධ වන්නට ඇති. විශේෂයෙන්, බුරුම රටේ එක් අවස්ථාවක බෞද්ධ විශ්ව විද්‍යාලයක පැවති සම්මන්ත්‍රණයක දී බුරුමයේ සඟරජ හාමුදුරුවෝ උසස් අධ්‍යාපනය ගැන කතා කරන අවස්ථාවේ මගේ නම සඳහන් කර තිබෙනවා.

“ලංකාව ආදර්ශයට ගන්න. මහාචාර්ය රාහුල හාමුදුරුවෝ බෞද්ධ අධ්‍යාපනයට හොඳ සේවයක් කරනවා. උන්වහන්සේ ආදර්ශයට ගෙන අපේ විශ්ව විද්‍යාලත්, අධ්‍යාපන ආයතනත් සකස් කරන්න” යනුවෙන් එක් අවස්ථාවක නොව කිහිප අවස්ථාවක ම සඳහන් කර තිබෙනවා.

උන්වහන්සේ මා හඳුනන්නේ නෑ. දැකලාත් නෑ.

ඒ වගේම බුරුමයේ සිතඟු ඤාණිස්සර කියන මහා නායක හාමුදුරුවෝ අපේ රටේ පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනය පිළිබඳ විශාල ඇගයීමක් කර තිබෙනවා. උන්වහන්සේගේ ශිෂ්‍යයින් පනහක් හැටක් පමණ ලංකාවේ ඉගෙන ගන්නවා. ඒ නිසා උන්වහන්සේ තුළ මා ගැන ලොකු උනන්දුවක් තිබෙන බව දැන ගන්නට ලැබුණා.

පසුගිය වසරේ මැද භාගයේ දී පමණ මා ආරාධනා නොකර ම සිතගු ඤාණිස්සර හාමුදුරුවෝ ලංකාවට වැඩම කළා. මා මුණ ගැසී බොහෝ කතාබහ කොට උන්වහන්සේ මගේ ජීව දත්ත සටහනක් ගෙන ගියා. කුමක් නිසාදැයි මට කීවේ නෑ.


නිල මුද්‍රාව

ඉතින් දිනක් හිමිදිරි උදෑසන මට විශේෂ දුරකතන ඇමතුමක් ලැබුණා. ඒ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මා යටතේ ආචාර්ය උපාධිය ඉගෙන ගත් බුරුම භික්ඛුණියකගෙන්. ඒ භික්ඛුණිය මට සුබ පැතුවා.

“ඔබ වහන්සේට අපේ රටෙන් අග්ග මහා පණ්ඩිත උපාධිය ප්‍රදානය කර තිබෙනවා. ඒ ගැන අපට හරි සතුටුයි.” යනුවෙන් පැවසුවා.

එය මට අදහාගත නොහැකි වුණා. මා කිසි දිනෙක එම උපාධිය සඳහා අයදුම් පත් යොමු කර තිබුණේ නෑ. ඊට ටික වේලාවකට පසු බුරුම තානාපතිතුමා කතා කරලා මට සුබ පතමින් මෙම ගෞරව උපාධිය පිරිනමා ඇති බව පැවසුවා. දින දෙක තුනකට පමණ පසු එතුමා පැමිණ එම උත්සවය සඳහා මට ආරාධනා කළා. ඒ අවස්ථාවේ එතුමා සඳහන් කළේ,

“ඔබ වහන්සේ හරිම වාසනාවන්තයි.” බුරුම රජය මගින් පිරිනමන මේ උපාධිය ලංකාවේ අඩුම වයසින් ප්‍රදානය කර තිබෙන්නේ ඔබ වහන්සේටයි. “බුරුම රටේ වුව ද එය ලබා දෙන්නේ අවුරුදු හැටට වැඩි අයටයි. ඒ නිසා ඔබ වහන්සේ සුවිශේෂී කෙනෙක් ලෙස සලකනවා”

යනුවෙන්. අයදුම්පතක් හෝ ඉදිරිපත් නොකර මේ උපාධිය පිරිනැමුවේ කෙසේද යන්න මට ගැටලුවක් වුණා. එවිට සඳහන් කළේ සිතගු ඤාණිස්සර ස්වාමීන් වහන්සේ ඇතුළු විශාල පිරිසක් මේ උපාධිය මට ලබාදෙන ලෙස යෝජනා කර ඇති බවයි.

මේ වසරේ මාර්තු 08දා ඒ උත්සවයට සහභාගි වීම සඳහා ආරාධනා ලැබුණා. මා ඇතුළු ගිහි පැවිදි පිරිසක් ඊට සහභාගි වුණා. රටේ අගමැති තුමාගේ සහභාගීත්වයෙන් උත්සවය බොහොම ඉහළින් සිදුකළා.

මා විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේ අවුරුදු 36 ක් සේවය කළා.

ඉගෙන ගත් කාලයත් සමඟ වසර 40 ක්. මේ ආ ගමන තුළ මා කිසිදු දේශපාලන හිතවත්කමක් ලබා ගත්තේ නෑ. ඒ වගේම මගේ සංඝ සභාවට උපරිම සේවයක් කරනවා. මා තුළ කිසිදු නිකාය භේදයක් නෑ. සියලු නිකායවලට පාර්ශ්ව වලට ගරු කරනවා. ඉදිරියටත් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කැපවෙනවා.

ඒ කොටපිටියේ රාහුල අනු නා හිමියන් වහන්සේගේ දැක්මයි.

   ඇසළ පුර පසළොස්වක පෝය 

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 04 සෙනසුරාදා. පූර්වභාග 11.34 ට පුර පසළොස්වක පෝය ලබා 05 ඉරිදා පූර්වභාග 10.14 ට පෝය ගෙවේ. සෙනසුරාදා සිල්.

මීළඟ පෝය ජූලි 12 ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]