[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව 08 කොටස : දඟකාරයින්ට පාඩමක්

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව 08 කොටස :

දඟකාරයින්ට පාඩමක්

කළුවරේ ගසෙන් බිමට බැසගත් පොඩි හාමුදුරුවෝ, ‘‘ටෝච් එළියක් ආව වගේ දැක්ක, ලොක්ක ආවෙ නෑ නේද? ආ මේ පොල් ගෙඩිය ගන්න‘‘ යැයි කියමින් අඳුරේ නොපෙනෙන ලොකු හාමුදුරුවන්ට පොල් ගෙඩිය දිගු කෙළේ ය.

නාගදීපයේදී නවදගල පදුමකිත්ති හිමි නමින් පැවිදි වූ පද්මසිරි මැන්දිස්ගේ දඟකාරකම්, දඩම්බරකම් නම් අඩු වූයේ නැත. දෙමළ කණ්ඩායම් 1975 වසරෙන් පසුව උතුරේ තැන් තැන්වල කල කෝලාහල නිසා නාගදීපයේ ද නාවික හමුදා කඳවුරක් ස්ථාපනය කරන ලදී. ඒ දහසක පමණ පිරිසකි.

එයින් බොහෝ නිලධාරීන් කතා කෙළේ ඉංගිරිස් බසිනි. ඔවුන් ගමන් කළේ කඩිසර ලීලාවෙනි. ප්‍රිය මනාප ය. පොඩි හාමුදුරුවන් ඔවුන් දෙස බලා සතුටු වූ අතර, නාවික නිලධාරීන් ද පොඩි හාමුදුරුවන් සමඟ ඉතා ඉක්මනින් මිතුරු විය. නායක හාමුරුවන් පහර දුන් විට පොඩි හාමුරුවන්ට තෙල් ගෑවේ නාවික හමුදා නිලධාරීන් විසිනි. නාවික හමුදා නිලධාරීහු හවසට හොඳ බත්වේලක් ආහාරයට ගනිති. එහි ඉස්සන් වරදින්නේ නැත. පදුමකිත්ති හිමියෝ ද හවසට ගොස් ඉස්සන් සමඟ බත් වළඳති. පදුමකිත්ති හිමියන්ට රාත්‍රී කුසගින්නේ සිටීම අපහසු වන්නේ දිවා කාලය පුරාම සිදු කරන දඟකාරකම් නිසා ය. මේ නිසා දිනපතා ම කඳවුරට ගොස් රාත්‍රී ආහාර ලබාගන්නට පදුමකිත්ති හිමියෝ පුරුදුව සිටියහ. ඒ විනාඩි දෙක තුනක කාලයකදී වන අතර, ආහාර ලබා ගත්තේද සිටගෙන ය.

පදුමකිත්ති හිමියන් නාවික හමුදාව සමඟ වැඩි වශයෙන් මිතුරු වීමට තවත් ප්‍රධාන හේතුවක් තිබුණි. ඒ විහාරස්ථානයේ ඒ වන විට ස්ථිරව නේවාසික ව සිටියේ ලොකු හාමුදුරුවන් සහ පදුමකිත්ති හිමියන් පමණක් වූ නිසා ය. පදුමකිත්ති හිමියන් සමඟ පැවිදි වූ රන්දොඹේ සෝමකිත්ති හිමියෝ සහ නාගදීපයේ සිටි අනෙක් වැඩිමහල් ස්වාමීන් වහන්සේ ද ඒ වන විට අධ්‍යාපනික කටයුතු පිණිස නේවාසික ව පිරිවෙන් අධ්‍යාපනය ලබමින් සිටියහ.

පිරිවෙන් නිවාඩු සමයේ එම ස්වාමීන් වහන්සේ දෙනම පැමිණීම පදුමකිත්ති හිමියන්ට සතුට උපදවන්නක් විය. මේ ස්වාමීන් වහන්සේ තිදෙනාටම රාත්‍රියේ නිරාහාරව සිටීම ඉතාම අපහසු කාර්යයක් විය. නාවික හමුදා කඳවුරට ගොස් සවස ඉස්සන් සමඟ බත් ආහාරයට ගැනීමට පදුමකිත්ති හිමියන් උත්සාහ කළත් අනෙක් හිමිවරුන් දෙනම ඊට බිය වීම නිසා එම කාර්යය ක්‍රියාත්මක නොවුණි.

මේ නිසා තිදෙනා වහන්සේ ම රාත්‍රියට රොටී සෑදීම කළහ. පදුමකිත්ති හිමියෝ මුළුතැන්ගෙයින් පිටි රැගෙන එති. මුහුදු වතුර ටිකක් දමා ඇනූ විට ලුණු ප්‍රශ්නය ද ගැටලුවක් නැත. පොල් සපයා ගැනීම පිණිස ආවාසයට ඈතින් පිහිටි පොල් ගස් තෝරා ගෙන තිබුණි. පදුමකිත්ති හිමියන් සහ රන්දොඹේ සෝමකිත්ති හිමියන් ඇහිපිල්ලන් ගහන්නටත් පෙර අනෙක් හාමුදුරුවන් පොල් ගසට නැඟ අවසන් ය. ඒ තරම් හැකියාවක් උන් වහන්සේට තිබුණි. මේ කාර්යය දින ගණනාවක් තිස්සේ ඔවුහු කළහ. පිටි අඩුවීම ගැන නායක හාමුදුරුවන්ට දැන ගන්නට තිබුණු නමුත් උන් වහන්සේ ඒ ගැන එතරම් තැකීමක් කෙළේ නැත.

එහෙත් පදුමකිත්ති හිමියන්ගේ ක්‍රියාකාරකම් ගැන හොඳීන් දන්නා නිසා නායක හාමුදුරුවෝ විපරමින් සිටියහ. නායක හාමුදුරුවන් සැතපෙන්නට ගිය පසුව පොඩි හාමුදුරුවරු රොටී පිච්චීම පිණිස ගියහ. පොල්ගහට නැඟ පොල් ගෙඩියක් කඩා ගත් ගසට නැගුණු පොඩි හාමුදුරුවෝ ගෙඩිය බිමට අත නොහැරියේ ශබ්දයට ලොකු හාමුදුරුවන් අවදිවන්නට ඉඩ තිබූ හෙයිනි. පොල් ගෙඩියේ නැට්ට කටින් අල්ලාගෙන උන් වහන්සේ ගසෙන් බසින්නට වූහ.

ඒ අතරේ එල්ල වූ විදුලි පන්දම් එළියෙන් පදුමකිත්ති හිමියන්ට සහ සෝමකිත්ති හිමියන්ට තරු විසිවිණි. නායක හාමුදුරුවන්ට එතනට වැඩම කරන්නට ගත වූයේ තත්ත්පර කිහිපයකි.

‘‘ පදුමකිත්ති හිමියන්ට හා සෝමකිත්ති හිමියන්ට දන ගසා ගෙන සිටින ලෙස සෙමෙන් අණ කළ ලොකු හාමුදුරුවෝ අනෙක් හිමිනම ගසෙන් බසින තුරු බලා සිටියේ විදුලි පන්දම් එළිය ද නිවාගෙන ය. කළුවරේ ගසෙන් බිමට බැසගත් පොඩි හාමුදුරුවෝ, ‘‘ටෝච් එළියක් ආව වගේ දැක්ක, ලොක්ක ආවෙ නෑ නේද? ආ මේ පොල් ගෙඩිය ගන්න‘‘ යැයි කියමින් අඳුරේ නොපෙණනු ලොකු හාමුදුරුවන්ට පොල් ගෙඩිය දිගු කෙළේය.

‘‘ ලොක්ක ගියේ නෑ ලොක්ක ඉන්නව‘‘ යැයි කියූ නායක හාමුදුරුවෝ පොල් ගෙඩියෙන්ම ගසට නැගුණු හාමුදුරුවන්ගේ පයට ගැසූහ.

තිදෙනා ම කැඳවාගෙන ගිය ලොකු හාමුදුරුවන්ගෙන් එදා රොටී වෙනුවට තිදෙනාටම වේවැල් කිහිපයක් කැඩෙන තුරු වේවැල් පහර වැදුණි.

‘ශාසනයේ පැවිදි වෙනකොට කියපු සිල් පද අමතක වුණාදැයි‘ අසමින් ලොකු හාමුදුරුවෝ පහර දුන්හ.

මෙලෙසින් කාලය ගතව ගොස් පදුමකිත්ති හිමියන්ට වයස අවුරුදු 18 වන විට ලොකු හාමුදුරුවන් වේවැල් පහර දීම නවත්වන ලදී. ඒ දඩබ්බර කම් නොකරන ලෙස අවවාද දෙමිනි.

එහෙත් පදුමකිත්ති හිමියන්ට සාමණේර භික්ෂුවක් වුවත් තමන් තරුණයකු යැයි සිතුණි. උන් වහන්සේ අනෙක් අය සමඟ රණ්ඩුවට නොගිය ද අනෙක් සාමාන්‍ය ක්‍රියාකාරකම් නම් අඩුවක් වූයේ නැත. මේ නිසා ලොකු හාමුදුරුවන් වේවැල් පහර දීම නැවැත්වුව ද පසුව දඩබ්බරකම් කළ විට බෙල්ලට අතින් පහර දෙන්නට පටන් ගත්හ.

දිනකට අවම වශයෙන් බෙල්ලට පහර 10ක් පමණ වැදීම නිසා පදුමකිත්ති හිමිගේ බෙල්ලේ වේදනාවක් හට ගැනුණි. එම නිසා උන් වහන්සේ ඇතැම් විට වැඩම කරන විටදී බෙල්ල පැත්තකට වැනුණි. එය දුටු නායක හාමුදුරුවන් එය නොකරන ලෙස අවවාද කළහ.

‘‘මොකද ඔය බෙල්ල වැනිල්ල නවත්තන්නේ නැද්ද? ආයෙත් වැනුවොත් බලාගෙනයි කටුස්සා වගේ ‘‘ කියමින් ලොකු හාමුදුරුවන් දිනක් අවවාද කරද්දීම පදුමකිත්ති හිමිගේ බෙල්ල පැත්තකට ගියේ ය. නායක හාමුදුරුවන් වැරෙන් බෙල්ලට පහර දුන්හ. එවිට බෙල්ල අනෙක් පැත්තට නැවුණේ ය. නායක හාමුදුරුවෝ ඒ පැත්තට ද පහර දුන්හ. එතැනින් බෙල්ල වැනිල්ල අවසන් විය.

නාගදීපයට පැමිණෙන ඥාති හිතවතුන්ට ගෙන යාම පිණිස දිවුල් කඩවා දීම නා හිමියන්ගේ සිරිත ය. ඒ කාර්යය පැවරෙන්නේ විහාරස්ථානයේ වැඩ කටයුතු කළ සින්නදොරේට සහ පදුමකිත්ති හිමියන්ටය. ගසට නගින සින්නදොරේ කෙක්කක ආධාරයෙන් ළංවීමට බැරි දිවුල් පළමුව කඩන්නේ අගට කම්බියක් දමා නැමූ දිග කෙක්කෙනි. පසුව තමන්ගේ අතේ දුරින් ඇති දිවුල් කඩා දමයි. බිම සිට පෝර උරයක් අල්ලමින් ඒවා එකතු කරනනේ පදුමකිත්ති හිමියන් විසිනි.

(මතු සම්බන්ධයි)

   ඇසළ පුර අටවක පෝය 

ඇසළ පුර අටවක පෝය ජුනි 28 ඉරිදා පූර්වභාග 02.53න් පුර අටවක පෝය ලබා 29 වැනිදා සඳුදා පූර්වභාග 00.35 පෝය ගෙවේ. ඉරිදා සිල්.

මීළඟ පෝය ජූලි 04 සෙනසුරාදා 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 28

Full Moonපසෙලාස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]