[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සැබෑ උපාසකයා ප්‍රඥාවන්තයෙකි

සැබෑ උපාසකයා ප්‍රඥාවන්තයෙකි

සැබෑ උපාසක උපාසිකාවෝ මෙලොව මෙන්ම පරලොව පිළිබඳව හැඟීමෙන් අවංකව කි‍්‍රයා කරති. සිත , කය , වචනය යන තිදොර සංවර කරගනිති.

උපාසකයා යනු කවරේ ද යනුවෙන් නිශ්චිතව ම හඳුනාගත හැකි සාධක රැසක් ත්‍රිපිටක සාහිත්‍යයේ විද්‍යාමාන වේ. බොහෝ අටුවා ග්‍රන්ථවල ද උපාසක භූමිකාව ධර්මානුකූල ව විග්‍රහ කර ඇත. මේ අතර පරමත්ථජෝතිකා නම් වූ ඛුද්දක පාඨ අට්ඨ කථාව ප්‍රමුඛ වේ. එහි සඳහන් අන්දමට බෞද්ධ උපාසකයා අර්ථ ගන්වා ඇත්තේ බුදුරජාණන් වහන්සේ ඇසුරු කරන නිසා, බුදුරජාණන් වහන්සේ වදාළා වූ ශ්‍රී සද්ධර්මය පයිරුපාසනය කරන නිසා, ආර්ය සඟරුවන භජනය කරන නිසා උපාසක නම් වන බවයි.

බුදු සිරිත අනුගමනය කරමින්, නව අරහාදී බුදු ගුණවලට අවනත වන්නා ඒ අනුව චරිතය සකස්කරගත් උපාසකයෙකි. ඒහි පස්සික ආදී දහම් ගුණ ආවර්ජනා කරමින්, ආර්ය දහම් මගේ ගමන් කරන්නා බෞද්ධ උපාසකයෙකි. බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවක ආර්ය සංඝ සමාජයට අනුව සංසාර විමුක්තිය පිණිස උජුපටිපන්න මාවතට පිළිපන් තැනැත්තා බෞද්ධ උපාසකයෙකි.

උපාසකයා යනු කවරේද? උපාසකයා සිල්වත් ගුණවත් අයෙකු වන්නේ කෙසේද? යන කාරණය මහානාම ශාක්‍යයා හමුවේ අප බුදුරදුන් පැහැදිලි කළ සේක. යමෙක් යම් දිනක සිට බුදුන් සරණ ගියේ ද, දහම් සරණ ගියේ ද, සඟ සරණ ගියේ ද එපමණකින් ම හෙතෙම උපාසකයකු බවට පත් වේ. එසේ ම යම් දිනක සිට උපාසකයා ප්‍රාණඝාතයෙන් වළකී ද, එසේම සොරකමෙන්, කාම මිථ්‍යාචාරයෙන්, මුසාවාදා දෙඩීම, සුරාපානයෙන් වැළකුණේ වේ ද, මෙපමණකින් උපාසකයා සිල්වත්, ගුණවත් අයෙකු බවට පත්වන බව ද, අංගුත්තර නිකායේ මහානාම සූත්‍රයේ සඳහන් වේ. මේ අනුව බෞද්ධ උපාසක භුමිකාවේ සමාරම්භය තිසරණ සහිත පංචසීල ප්‍රතිපදාව මත පදනම්ව සැකසී ඇත.

බෞද්ධ උපසකයා සතු තවත් අචල ගුණාංගයක් නම්, අචල ශ්‍රද්ධාවෙන් සමන්විත වීමයි. හෙතෙම නිත්‍යශීලය වූ ආර්යකාන්ත පංචශීල ප්‍රතිපදාව සුරක්ෂිත කරන අතර, අමූලිකා ශ්‍රද්ධාව නොව ප්‍රඥාව සමඟ මුහුකුරා දිවයන ආකාරවතී ශ්‍රද්ධාව වර්ධනය කර ගැනීමට වෑයම් කරයි.

නව අරහාදී බුදුගුණ සිහි කරමින් බුද්ධානුස්සති භාවනාව ප්‍රගුණ කරන අතර, ධර්ම ඥානයෙන් පොහොසත්ව අනිත්‍යග, දුක්ඛ , අනාත්ම යන ති‍්‍රලක්ෂණ ධර්මය මෙනෙහි කරමින් එයට විෂය වූ විපස්සනා භාවනාව ද ප්‍රගුණ කරයි. තම ශ්‍රද්ධාව සමඟ ප්‍රඥාවට විෂය වූ කරුණු කෙරෙහි සැබෑ උපාසකයා අනුධර්මචාරී ව හැසිරෙන බව බුදුදහම සනාථ කරයි.

පංච නීවරණ ධර්මයන් දුරු කිරීමට සැබෑ උපාසකයා පිළිපන්නේ වෙයි. හෙතෙම නිතර සාවධාන ව ධර්මය ශ්‍රවණය කරයි. ව්‍යක්ත, විනීත විශාරද සිල්වත් මහා සංඝයා වහන්සේ ඇසුරු කරයි. ධර්ම සාකච්ඡා කරයි. දහම් ගැටලු නිරාකරණය කරගනිමින් විචිකිච්චා හෙවත් සැකය දුරු කරගනී. විශේෂයෙන් බෞද්ධ උපාසකයා පොහොය දින අෂ්ටාංග උපෝසථ ශිලය සමාදන් ව එය සුරක්ෂිත කරයි. ලාභ සත්කාරවලින් තොරව ධාර්මික දිවි පෙවත භජනය කරයි.

අෂ්ටාංග උපෝෂථ ශිලය සමාදන් වන සැබෑ උපාසකයා බුදුරජාණන් වහන්සේ තහනම් කොට වදාළ දෙතිස් කතාවලින් වැළකිය යුතු බව මජ්ක්‍ධිම නිකායේ චුලසකුළුදායී සූත්‍රයේ සඳහන් වේ. තහනම් කළ දෙතිස් කතා නම්, රජුන් පිළිබඳ කතා , සොරුන් මහ ඇමතිවරු පිළිබඳ කතා යුද්ධ, ආහාරපාන, වස්ත්‍ර, සයනාසන, මල්මාලා, සුවඳ, ඥාති , යාන වාහන, ජනපද ස්තී‍්‍ර පුරුෂ කුමාර කුමාරි, විවිධ වස්තු ලෝකාරම්භ මහා සමද්‍ර මෙසේ සිදුවන්නේ ය. යනාදී කතාවලින් වැළකිය යුතු ය. මෙම කරුණු දෙතිස දීඝ නිකායේ කේවඩ්ඩ සහ ලෝහිච්ච යන සූත්‍රවල ද අවධාරණය කර ඇත. මෙම දෙතිස් කතාවලින් වළකින ශ්‍රද්ධාවන්ත උපාසකයා සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශනාදී මෙලොව සහ පරලොව උභයාර්ථ සිද්ධිය සැලසෙන කතාවල නිරතවීම බුදු දහම අගය කර ඇත.

සැබෑ උපාසක උපාසිකාවෝ මෙලොව මෙන්ම පරලොව පිළිබඳව හැඟීමෙන් අවංකව කි‍්‍රයා කරති. සිත , කය , වචනය යන තිදොර සංවර කරගනිති. තිදොරින් සිදුවිය හැකි ප්‍රාණඝාතාදී දස අකුසල කර්මපථවලින් විරමණය වෙති. මුසාවාදාදී පරොස් බස් නොදොඩති. මිථ්‍යා දෘෂ්ටියෙන් වැළකී සම්මා දිට්ඨිය පුර්වාංගම කොට ජීවත් වෙති. බෞද්ධ ආර්ය මාවතේ පළමු පියවර යහපත් නිවැරැදි දැකීම හෙවත් සම්මා දිට්ඨියයි. සම්මා දිට්ඨිය නිසාම පරලොව පුනර්භවය විශ්වාස කරති. විශේෂයෙන් පව් කිරීමට ලජ්ජාව, බිය පුර්වාංගම කොට ජීවත් වෙති.

මෙම හිරිඔතප්ප දෙක දේවධර්ම ලෙස දේවධර්ම ජාතකයේ සඳහන් කොට ඇත. තිරිසන් සතුන් පවා ධර්ම ශ්‍රවණයට තම සවනත යොමු කර තිරිසන් ආත්මවලින් මිදී දිව්‍ය මනුෂ්‍ය ආත්ම බව ලබාගත් ආකාරය රසවාහිනීය, සද්ධර්මාලංකාරය වැනි පැරැණි බණ කතා පොත්වලින් තොරතුරු වාර්තා වේ. සැදැහැවත් මනුෂ්‍යයන් ගැන කවර කතා ද? පන්සියයක් වවුලන් සුමදුර ධර්ම දේශනාවකට නිමිත්ත මෙහෙයවා කි‍්‍රයා කිරීම නිසා එම වවුල් ආත්මයෙන් මිදී මිනිස් ලොව ඉපිද මහණ වී සංසාර දුකින් අත්මිදුණු පුවතක් ගම්පොල යුගයේ ලියවුණු සද්ධර්මාලංකාරයේ පංචසතික භික්ෂු පුවතින් අනාවරණය වේ. වලගම්බා රාජ්‍ය සමයේ හටගත් බැමිණිතියා සාය නම් දොළොස් අවුරුදු දුර්භික්ෂ සමයේ පවා ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවෝ මහ රහතුන් විෂයයෙහි දාන මාන ආදී පුජා කර සංසාර විමුක්තිය ලබාගත්හ.

බුදු දහමේ විස්තර වන සැබෑ සැදැහැවත් සැබෑ උපාසකයා සතු අන්‍යයක සාධාරණ තවත් ලක්ෂණයක් වන්නේ, ස්වල්පමාත්‍ර වරදේ පවා බියගන්නා සුළුව වාසය කිරීම වේ. සුළු වැරැද්ද පවා මහාසාවද්‍ය වරදක් ලෙස දකින උපාසකයා සංසාර ගමනට බාධා වන එබදු සුළු වැරැදිවලින් පවා වළකී. මෙය ති‍්‍රපිටක සාහිත්‍යයේ බොහෝ සූත්‍රවල සඳහන් වන්නේ අණුමත්තේසු වජ්ජේසු භය දස්සාවි යනුවෙනි. මෙබදු ගුණ යහපත් වූ ආකල්ප සමුදායෙන් පිරි උපාසකයාගේ කීර්තිය දස දිග පැතිරේ. මෙලොව පරලොව සංසාර ගමන නිර්භය වේ. කාම වස්තූන් අධික ලෙස පිනවීමෙන් වළකින උපාසකයා ඇස්, කන්, නාසා ආදී ඉන්ද්‍රිය සංවර කර ගනී. සමාදන් වූ සිල්පද ආරක්ෂා කරනවා පමණක් නොව ඉන්ද්‍රිය සංවර සීලයෙන් ද, පිරිපුන් වේ. දැඩි තරහව හෙවත් ව්‍යාපාදය දුරු කරන මෙබඳු සිල්වතා සව්ලොව සතුන් වෙත ජීව අජීව පරිසරය වෙත, කරුණා දයාව පතුරුවා හරී. සිතේ උදාසීනතාව අත්හරින සැබෑ උපාසකයා සිත කලබල කරන, නොසන්සුන් කරන කි‍්‍රයා සහමුලින් දුරු කරයි. නිතර සමථ විදර්ශනා භාවනා ප්‍රගුණ කරයි. සැක සංකා දුරු කරයි. මෙත්තා, කරුණා, මුදිතා,උපේක්ෂා යන සතර බ්‍රහ්මවිහරණ ප්‍රගුණ කරන සැබෑ උපාසකයා දිවි හිමියෙන් ති‍්‍රවිධ රත්නය සුරක්ෂිත කරයි. ති‍්‍රවිධ රත්නය සරණ පරායන උපාසක උපාසිකා පිරිස මුළු ජීවිතයම ඒ වෙනුවෙන් කැප කරයි.

ආර්ය මාවතට බුදුන් වදාළ අරහත්ත ප්‍රතිපදාවට පිළිපන් උපාසකයා කි‍්‍රයා කළ යුතු ආකාරය ද ථේරගාථා පාලි මහා කච්චාන ථේර ගාථාවේ සඳහන් කර ඇත. බාහිර අරමුණු විෂයෙහි යොමුවන උපාසකයා ඉන්ද්‍රිය පාලනය කර ගැනීමට අපහොසත්වුවහොත් බාහිර කෙලෙස් ප්‍රවාහයට ගොදුරු වේ. මේ බුදු දහමේ විස්තර වන්නේ ඕඝ යනුවෙනි. කාම ඕඝ, භව ඕඝ, දිට්ඨි ඕඝ, අවිජ්ජා ඕඝ යනු මෙම සතර ඕඝ වේ. කාමයට , භවයට ගිජුවීම, මිථ්‍යාදෘෂ්ටියට පක්ෂපාතී වීම, අවිද්‍යාව හෙවත් සංසාරය යථාපරිදි නොදැනීම නොදැකීම ආදී කරුණු විෂයෙහි අතරමං වන උපාසකයාගේ සංසාර දුක්ඛ දෝමනස්ස සංවර නොවේ. පාලනය නොවේ.

එබැවින් විශේෂයෙන් උපාසකයා වෙත බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙනු ලබන්නේ ඇස් ඇත්තේ නමුත් අන්ධයකු මෙන් වාසය කළ යුතු වේ. කන් ඇත්තේ නමුත් බිහිරකු සේ විය යුතු ය. නුවණ ඇත්තේ නමුත් අඥානයකු සේ කි‍්‍රයා කළ යුතු ය. නොකළ යුත්තේ දී මර ඇඳක හෝනා අයෙකු මෙන් නිහඬ ව කාලය ගත කළ යුතු බව මහාකච්චාන ථේරගාථ පාලියේ විස්තර වේ.

විලෙහි හටගන්නා පියුම එම විලෙහි ඇති මඩ ගොහොරුවේ නො ගැටී උඩට එසවී යන්නා සේ බෞද්ධ උපාසකයා පද්මාකාර සමාජයේ විකසිත පියුමක් බඳු පුද්ගලයකු වන්නේ ය. සියලු පව් දුරු කරන්නේ ය. ප්‍රබුද්ධ මනසකින් ලෝකය අවලෝකනයකිරීමේ ගැඹුරු විඥානයක් බෞද්ධ උපාසක සමාජ ස්ථරය තුළ තිබේ. එදා බුද්ධ කාලීන භාරතයේ බොහෝ ගෘහස්ථ උපාසකයෝ සෝතාපන්න වූහ. වෙනත් මාර්ග ඵල ආදිය අවබෝධ කර ගත්හ. මේ අනුව බෞද්ධ උපාසක භූමිය අර්ථවත් චරිතයක් බව පැහැදිලි ය.

   ඇසළ පුර අටවක පෝය 

ඇසළ පුර අටවක පෝය ජුනි 28 ඉරිදා පූර්වභාග 02.53න් පුර අටවක පෝය ලබා 29 වැනිදා සඳුදා පූර්වභාග 00.35 පෝය ගෙවේ. ඉරිදා සිල්.

මීළඟ පෝය ජූලි 04 සෙනසුරාදා 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 28

Full Moonපසෙලාස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]