[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අභියෝග හමුවේ ජීවිතය ජය ගැනීමට...

අභියෝග හමුවේ ජීවිතය ජය ගැනීමට...

මෙම ලිපියේ මුල් කොටස පොසොන් පුර පසළොස්වක පෝදා (ජුනි 05 වනදා) පත්‍රයේ පළ විය

මනුෂ්‍යයන්ට අභියෝග වන දෑ පිළිබඳ ගැටලු බොහොමයක් බුදුරජාණන් වහන්සේට දෙවිවරුන් විසින් ඉදිරිපත් කර ඇත. මිනිසුන්ගේ මංගල අවස්ථා මොනවාද යනු දෙවියකු ඇසු ප්‍රශ්නයකි. එමෙන්ම මිනිසාගේ පරිහානිය වන්නේ කෙසේද ? එය දෙවියකු ඇසූවකි.

‘අන්තෝ ජටා බහි ජටා, ජටාය ජටිතා පජා’

තං තං ගෝතම පුච්ඡාමි, කො ඉමං විජටයේ ජටං’ යැයි දෙවියෙක් ඇසූ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ දුන් පිළිතුර මාතෘකා කර ගෙන අටුවාචාර්ය බුද්ධඝෝෂ ආචාර්යපාදායාණෝ ථේරවාදී දර්ශනය පැහැදිලි කරන විසුද්ධි මග්ගය ලියූහ. මෙහි ජටා යනු අභියෝගයි. සෑමදාම මිනිස්සු තමන්ගේ ප්‍රශ්නවලින් හෙම්බත්වී සිටිති. බාහිර ප්‍රශ්න ඊටත් වැඩි ය. මෙලොව සියලු සතුන් අතර වැඩියෙන් ම ගැටලු ඇත්තේ මිනිසුන්ටයි. මේ ප්‍රශ්න විස¼දීමට නුවණින් යුත් මිනිසකු (සපඤ්ඤෝ නරෝ) විය යතු බවත්, ඔහු සීලයේ පිහිටා සදාචාර විය යුතු බවත්, සිත දමනය කර ගත යුතු බවත්, ගැටලු තේරුම් ගැනීමේ හැකියාව ඇත්තකු විය (නිපකෝ) යුතු බවත්, ඔහු සියලු ගැටලු නිරාකරණය කර ගන්නා බවත් බුදුරජාණන් වහන්සේ වදාළහ.

බාහිර දෙවි දේවතාවුන්ගේ සරණ නොපතා කල්‍යාණ මිත්‍ර වූ මිනිස් සත්පුරුෂයන්ගෙන් ම අවවාද අනුශාසනා ලබා සියලු අභියෝග ජයගත යුතු බව දක්වන බුදු දහම ලොව විශිෂ්ටතම සාමයික දර්ශනයයි.. ඒ මතු නොව දේව විස්වාස, නැකැත් විස්වාස, යන්ත්‍ර මන්ත්‍ර, යාග හෝමවලින් අභියෝග ජයග්‍රහණයක් නොලබන බව බුදු දහම පෙන්වා දෙයි.

මෙම දහම මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට හඳුන්වා දුන්හ. රාජ්‍ය පාලකයන්ට දස රාජ ධර්ම හා සක්විති වත් කියා දුන්හ. ලොව රජවරු අතර ලංකාවේ රජවරු තරම් අනතිමානී රජවරු වර්තමාන ලෝකයේ තබා වනචාරී ගෝත්‍රවල රජවරු අතර වුව නොවූහ. පන්සලට ගොස් සාමාන්‍ය ජනතාව සමග පොහෝ අටසිල් රකින, භික්ෂූන් උසස් ආසනවල හිඳුවා බිම වාඩිවී බණ අසන ,රජ වරු ඇත්තේ බෞද්ධ සංස්කෘතිය ඇති රාජ්‍යවල පමණි.

එයිනුත් පසඟ පිහිටුවා සංඝයාට වන්දනා කරන රජවරු ඇත්තේ ද එම සංස්කෘතියේයි.කුල දේවතාවුන් කෙරෙහි දුටුගැමුණු සද්ධාතිස්ස වැනි රජවරුන් පැවති අනතිමානී ගුණය ලොව කොතැනකවත් පූජක පක්ෂයකට නොලැබෙන්නකි. රජුට පුද්ගලික නම කියා කතා කළ මිහිඳු මහරහතුන් වැනි හිමිවරු ලොව දුර්ලභ ය. රජවරුන්ට හෙවත් රාජ්‍ය පාලන සංස්ථාවට අභියෝය ජයග්‍රහණයට සක්විතිවත්, සප්ත අපරිහානීය ධර්ම, දසරාජ ධර්ම ,පංචසීලය, සතර සංග්‍රහ වස්තු, හා සතර අගතියෙන් වෙන් වීම, යන මූල ධර්ම දේශනා කළහ. අශෝක රජු ප්‍රමාණාත්මක ලෙස මේ රාජ ධර්ම භාවිතයට නැඟූ අධිරාජ්‍යවරයායි. ඒ සියල්ල ලංකාවට හඳුන්වා දුන් එතුමාගේ පුත්‍ර මිහිඳු මහරහතන් වහන්සේ කෘත හස්ත ස්වභාවය විශ්මය ජනක වෙයි.

මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ බුදු දහම පිහිටුවූයේ ලොව කිසිම රටක හෝ සමාජයක බුදු දහම පිහිට වූ ආකාරයට නොවේ. සමන්තපාසාදිකාව පෙන්වා දෙන ලෙස තම්බපණ්ණියේ උපන් දෙමාපියන්ගේ, තම්බපණ්ණියේ උපන් දරුවකු, තම්බපණ්ණියේ පැවිදිව , තම්බපණ්ණියේ විනය හදාරා, තම්බපණ්ණියේ දී විනය දේශනා කිරීමෙන් ම පමණක් ලංකාවේ බුදු සසුන මුල් බැස ගන්නා බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.

මෙවැනි ක්‍රියාවලියක් බුදුරජාණන් වහන්සේගේ කාලයේ හෝ ඉන් පසු වෙන අවස්ථාවක හෝ වෙනත් බෞද්ධ ධර්ම දූතයන් වැඩම කළ රාජ්‍යයක හෝ සිදුවී නැත. මිහිඳු මහරහතන් වහන්සේ සමග වැඩම කළ රහතන් වහන්සේලා ඇතුලු පිරිස හැර වෙනත් කිසිදු ස්වාමින් වහන්සේ නමක් උන්වහන්සේ පණිවුඩ යවා වඩමවා ගත්තේ නැත. තමන් වහන්සේගෙන් පසු ලංකා බුද්ධ සාසනයට අනුශාසනා කිරීමට ඉන්දීය හිමිනමක් උන්වහන්සේ පත් නොකළහ. විශිෂ්ට දක්ෂයකු වූ අරිට්ඨ මහරහතන් වහන්සේ මේ උදාර කාර්යයේ ප්‍රමුඛයා වූ අතර අනතුරුව සීහළ සංඝයා ලංකාවේත් ලොවත් බුදු දහම ප්‍රචලිත කළහ. දකුණු ඉන්දියාවේ ධර්ම ප්‍රචාරය කළේ අරිට්ඨ මහරහතන් වහන්සේයි.

ලංකාවේ දේශිය සංස්කෘතියට අවශ්‍ය සියලු ඒකක බුදු දහම ආශ්‍රයෙන් සැකසුනි. හෙළයන්ට සදාචාරයක් තිබුණි. එම සදාචාරය දර්ශනයක් අනුව සකස් ව වඩාත් හොඳීන් පැවැත්වීමට අවශ්‍ය නිර්දේශ බුදු දහමේ අගාරික ප්‍රතිපදාවට අනුව මිහිඳු හිමියෝ පෙන්වා දුන්හ. අප සදාචාරයට පත්විය යුත්තේ මන්ද යන්න පේතවත්ථු, විමාන වත්ථු දේශනා වලින් හා බාල පණ්ඩිත සූත්‍ර වැනි සාමාන්‍ය ජනයාට පහසුවෙන් තේරුම් ගත හැකි දහම් මගින් පැහැදිලි කළහ. මේ නයින් සැකසුණු ජන ජීවිතයට අභියෝග මතු වූ විට ජාතක කථාවලින්, බණ කථාවලින් පාඩම් ඉගෙන තමාට බලපාන අභියෝග මැනවින් ජය ගත්හ. ගැටලු නිරාකරණයට අපහසු නම් තම කුල දේවතාවුන් වෙත පැමිණ අසා මග දැන ගත්හ. කිසි දින ස්ව පක්ෂය යැයි හෝ පර පක්ෂය යැයි හෝ ගිහියා වෙන් නොකළ භික්ෂූව සම සිතින් සම මෙතින් විසඳුම් පැහැදිලි කළහ.

සෞඛ්‍යය පිළිබඳ අභියෝග ජය ගත හැකි ඉතාම උසස් චර්යාව පංචසීලය රැකීමෙන් ඇති වෙයි. බුදු දහමට අනුව කිසිම සතෙක් මනුෂ්‍යයාගේ ආහාර ලෙස ඇතිවී නැත. සතුන් ආහාර ලෙස ගැනීම අවුරුදු ලක්ෂයකට වැඩි මිනිස් පුරුද්දකි. එහෙත් බෞද්ධයන් සතුන් මරාගෙන කෑම අනුමත නොකරයි. විශේෂයෙන් ම මිනිස්, ඇත්, අශ්ව, සිංහ, කොටි, හා සර්පයන් ගේ මස් පිණ්ඩපාතයට ලැබුණත් නොවැළදිය යුතුය.

මෙය භික්ෂූන්ට විනයානුකූල වූ ප්‍රඥප්තියක් වුවත් එය සියලු මිනිසුන් වැළකිය යුතු චර්යාවකි. පැරණි ගෝත්‍රික මිනිසුන්වත් සර්පයන්, මීයන් අමු අමුවේ කෑවේ නැත. අදත් නිසි ප්‍රතිකර්මයක් නැති මාරාන්තික රෝගයක් වන ඒඩ්ස් සපුරා මනුෂ්‍ය ලෝකයෙන් දුරුවන්නේ මිනිසා කාමේසු මිච්ඡාචාරා වේරමණී යන ශික්ෂාව රැක්කොත් පමණි. කොවිඩ් කාලයේ මත්පැන් හල් වැසුවා සේ මත් ද්‍රව්‍ය නැවැත්වුවහොත් අපේ ජනතාව සෞඛ්‍ය මෙන්ම ආර්ථිකව ද දිවිය ජයගනු ඇත.

මිහිඳු මහරහතන් වහන්සේ පරිසර හිතකාමී උතුමකි. බුදුරජාණන් වහන්සේ ගස් වවන්න, කෑලෑ රකින්න, උපදෙස් දුන්හ. ජලය අපවිත්‍ර කිරීම තහනම් කළහ. පුද්ගලික පරිභෝජනය පමණක් ඇති පාත්‍ර භාවිතය, පිණ්ඩපාත චර්යාවේ පවත්වන සමාජ දුරස්තර බව, වැසිකිළිවත් ඇ බුදුරදුන් වදාළ ආභිසමාචාරික වත් අද කොවිඩ් 19 වයිරසයෙන් මිදීමට දෙන උපදෙස් ලෙස ලබා දෙයි.. මුලු ලෝකයෙන්ම වඩාත් හොඳ වෛද්‍ය උපදෙස් රකින රට වන්නේ ලංකාවයි. එලෙස අපේ ජානවල ඇති අභියෝග ජය ගැනීමේ ක්‍රියාවලියට උපදෙස් ලැබී ඇත්තේ මිහිඳු සංස්කෘතියේ අභාසයෙනි.

   පොසොන් අව අටවක පෝය 

  පොසොන් අව අටවක පෝය ජුනි12 සිකුරාදා අපර භාග 10.52 න් අව අටවක ලබා 14 ඉරිදා පූර්ව භාග 00.59 න් ගෙවේ . සෙනසුරාදා සිල්.

මීළඟ පෝය 20 වනදා
සෙනසුරාදා
 

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 13

Full Moonඅමාවක

ජූනි 20

First Quarterපුර අටවක

ජූනි 28

Full Moonපසළොස්වක

ජූලි 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]