[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සැපත සදන ප්‍රසන්න සිත

සැපත සදන ප්‍රසන්න සිත

“නානත්ත කායා නානත්ත සඤ්ඤා” සත්ත්වයා නම් කයිනුත්, සිතිනුත් විෂම ව පවතින්නේ ය. ශාරීරික වශයෙන් ගත් කල්හි සෑම දෙනාගේ ම මුහුණු එකම අයුරින් පවතී. නාසය, කට, ඇස්දෙක, කන් දෙක, මේ ආදී වශයෙනි. සියල්ලන්ටම ඒවා ඇති මුත් මුහුණු 10 ක් ගතහොත් දහ දෙනා දහ ආකාරයකි. එකම කුසෙහි උපදින අය අතර වුව ද ඒ වෙනස්කම් පවතී. නිඹුල්ලු වශයෙන් උපදින අය අතර වුව ද ඒ වෙනස්කම් දක්නට ලැබේ. ශාරීරික වශයෙන් වෙනස් වන සත්ත්වයා මානසික වශයෙන් ඊටත් වඩා වෙනස්වන බව බුදු දහමේ පැහැදිලි වේ.

සියලුම සත්ත්වයින් චරිත වශයෙන් කොටස් හයකට බෙදෙනු ඇත. රාග, ද්වේෂ, මෝහ, සද්ධා, බුද්ධි, විතක්ක ආදී වශයෙනි. එම හයෙන් එකකට හෝ කිහිපයකට අයත් වනු ඇත. ඒ අනුව සත්වයාගේ මනෝ භාවයන් විවිධ ව, විෂම ව පවතින අයුරු පැහැදිලි වේ. සත්ත්වයා හොඳ - නරක දෙකේ සංකලනයක් වුව ද සමහර අයට පවතින්නේ නොහොඳ පමණි. එවැනි චරිත බොහොමයක් බුදු දහම තුළ විවරණය වේ.

මට්ඨකුණ්ඩලී කතා පුවත ඇතුළත් වන්නේ “බෞද්ධයාගේ අත් පොත නම් වූ ධම්ම පදයේ පළමු වග්ගය වන යමක වග්ගයේ දෙවෙනි ගාථාවටයි. බුද්ධඝෝෂ හිමියන් විසින් හෙළටුවා පරිවර්තනය කරන ලදී. දඹදෙනි යුගය තුළ ලියැවෙන විශිෂ්ටතම ධර්ම ග්‍රන්ථයක් වන සද්ධර්මරත්නාවලිය රචනා වන්නේ ධර්මසේන හිමියන් විසිනි. එම සද්ධර්මරත්නාවලිය ලිවීමට එහිමියන් ගුරු කොට ගන්නේ පාලි ධම්මපදට්ඨ කතාවයි. ධර්මසේන හිමියන් ධම්මපදට්ඨ කතාවේ අරුත් පමණක් ගෙන තමන්ට ආවේණික වූ සිංහල බසින් සද්ධර්ම රත්නාවලිය රචනා කළහ.

එම සද්ධර්ම රත්නාවලිය ලිවීමේ අරමුණ වශයෙන් ධර්මසේන හිමියන් පවසන්නේ,

“යම් කෙනෙක් නුවණ මදවත් කුසකච්ඡන්දය ඇතිව ධර්මාභියෝගයට උපදෙස් ලදින් බණ දැන පින්කම්හි හැසිර නිවන් සාදා ගනිත් නම් එසේ වූ සත්පුරුෂයන්ට වැඩ සඳහා සද්ධර්මරත්නාවලිය නම් වූ ප්‍රබන්ධයක් කරම්හ” ආදී වශයෙනි.

ඒ අනුව පැහැදිලි වන්නේ සාමාන්‍ය වැසියාට බුදු දහම අවබෝධ කරවීමටත්, ධර්මෝපදේශ ලබා දෙමින් පොදු ජනයා කුසලයෙහි හැසිරවීමටත් බවයි.

සමාජයට චර්යාමය වෙනසක් ඇති කර ගැනීම උදෙසා බොහෝ ධර්ම කරුණු අන්තර්ගත වේ. ධර්මසේන හිමියන් ප්‍රස්ථා පිරුළු උපයෝගී කොටගෙන ජනහද ග්‍රහණය කර ගැනීමට පහසුවන අයුරින් එම දහම් පණිවිඩය නිකුත් කර තිබීම ඉතා චමත්කාර ජනක ය. ධම්ම පදය තුළ යුගල වශයෙන් දක්වන ගාථා අතරට මට්ඨකුණ්ඩලී කතා පුවත ඇතුළත් ගාථාව ද ඇතුළත් වේ. යුගල ගාථා තුළින් හොඳ - නරක, කුසල් - අකුසල්, පින් - පව්, සැප - දුක ආදී වශයෙන් දෙපැත්තම කීමට යොදාගෙන ඇත. ඒ අනුව මට්ඨකුණ්ඩලී කතා වස්තුව තුළින් කුසල් පැත්ත විවරණය කරනු ඇත. එම ගාථා ධර්මය නම්,

මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්නේන
භාසතී වා කරෝති වා
තතෝ නං සුඛමන්වේතී
ඡායාව අනපායිනී

සියලු සිතිවිලි වලට මනස ම ප්‍රධාන වේ. ශ්‍රේෂ්ඨ වේ. එසේ ම සියලු සිතිවිලි සිතින් ම උපදී. යමෙක් ඉසි, කෝ, මද, මාන, ආදී කිළිටි සිතුවිලිවලින් තොර වූ, ප්‍රසන්න වූ සිතින් යම් බසක් කියයි නම්, කරයි නම් තමාගේ සෙවණැල්ල තමා අත් නොහැර තමා සමඟ සුවසේ ගමන් ගන්නාක් මෙනි. ආලෝභ, අද්වේශ, අමෝහ යන ත්‍රිවිධ කුසල් සිතිවිලි ඇතිව යමෙක් යමක් කියයි ද, කරයි ද එහි ප්‍රතිඵලය යහපත් ය.

මෙම ගාථා ධර්මය දේශනා කිරීමට නිධානය වී ඇත්තේ අදින්න පුබ්බක නම් වූ චරිතය මුල් කොටගෙන ය. අදින්න පුබ්බක යනු බුදුන් කල සිටි මසුරු සිටානෙකි. එම නමෙහි අර්ථය ම තණ අග ගාලා තෙල් බින්ඳුවක් විතරක්වත් අනුන්ට නුදුන්විරූය යන්නයි.

තමන් පරිහරණය නොකිරීමත් අනුන්ට නොදීමත් හේතුවෙන් මසුරා යන නම භාවිත වේ. එම මසුරු සිටාණෝ තම පුතුටවත් යුතුකම් ඉටු නොකළ පිය කෙනෙකි. එබැවින් පුතු රෝගාතුර වී මරණ මඤ්චකයේ සිටින කල්හි බුදු හිමි පිහිට වූ ආකාරයත්, බුදු රුව දැකීමේ පිනෙන් දිව්‍ය ලෝකයේ ඉපදීමේ භාග්‍ය ලැබූ ආකාරයත් එම කතා පුවත තුළින් විග්‍රහ වී ඇත.

අදින්න පුබ්බක සිටාණන්ගේ මනෝභාවයන් ගෙන හැර දක්වන මට්ටකුණ්ඩලී කතා වස්තුව අද ජන සමාජයටද ඉතා වැදගත් වේ. අපේ මනස ජීවත්ව ඉද්දී ක්‍රියා කරන ආකාරයත්, ජීවිතය පුරාවට නැගෙන චිත්ත චෛතසිකයන්ගේ ස්වභාවයත් එයට සරිලන ආකාරයෙන් මිය ගියාට පසු සිදුවන භව ගමනයත් පිළිබඳ ධර්මසේන හිමියන් මනාව ගෙන හැර දක්වා ඇත. යමෙක් ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල් චේතනා ඇති සිතක් ඇති ව යමක් කියයි ද? කරයි ද? එය අකුසල් ක්‍රියාවක් වන්නේ ය. එය හරියට ගොනා පසුපස එන කරත්ත රෝදය මෙන් විපාක ලබා දෙනු ඇත.

ඉහත ගාථා ධර්මය සම්බන්ධ වන්නේ කුසල් පැත්ත විග්‍රහ කිරීමටයි. ප්‍රසන්න සිතින් යමක් කියයි ද? කරයි ද? එය කුසල ක්‍රියාවකි. මට්ටකුණ්ඩලී නම් වූ කුඩා දරුවා කිසිදු පින්කමක් නොකළ ද, පියාගේ පවා කිසිදු සැලකිල්ලක් නොලබා සිටියදී වුව ද බුදු රදුන් පිළිබඳ සිත පහදවා ගැනීම පමණින් ම මිය ගොස් දිව්‍ය ලෝකයේ ඉපදීමට හේතු විය. මෙතැන දී පියාගේ මනෝභාවයන් හා පුතාගේ මනෝභාවයන් දෙඅංශයකින් ක්‍රියා කළ ආකාරය පිළිබඳ විවරණය කිරීමට ධර්මසේන හිමියන් සමත්වී ඇත. අප ජීවත් වීමේ දී අධික ලෙස ධන සම්පත් සොයා ඒවා පරිහරණයත් නොකොට, දනට පිනට දීමකුත් නොකොට දැඩි තෘෂ්ණාවෙන් මිය ගොස් එම දන සම්පත්වලටම ඇළුම් බැළුම් දක්වන පෙරේතයන්, භූතයන් වී ඉපදෙනු ඇත. මෙය වටහා ගැනීමට හොඳ ඥාණ ශක්තියක් තිබිය යුතු ය. අපේ මනස ඉතා බලවත් ය. සංසාර ගමන ම ඒ ඔස්සේ ක්‍රියාත්මක වේ.

එබැවින් මනස විකෘති කර ගැනීම හෝ ප්‍රසන්න කර ගැනීම තම තමා විසින් ම සිදු වන්නකි. උසස් මනසක් ලැබූ සත්ත්වයා නිරන්තරයෙන් ම සිදුකරගත යුත්තේ මනස ප්‍රසන්න කර ගැනීමයි. ධන සම්පත් තුළින් පොහොසතෙක් නොවුණත් ප්‍රසන්න සිතිවිලිවලින් පොහොසතෙක් වීමට පුළුවන. එය තම මනස ධනාත්මක තැනට වර්ධනය කොට ගෙන ආධ්‍යාත්මික පැත්තෙන් පොහොසත් වීමයි. අවසන් ගමන් යෑමේ දී සියලු ධන සම්පත් අත්හැර යෑමට සිදුවනු ඇත. තමන්ට යහපත් අයුරින් ගෙන යෑම සඳහා ඇත්තේ එම ප්‍රසන්න සිතින් එක් රැස් කරගත් ආධ්‍යාත්මික ගුණ වගාව පමණි. බුදුරජාණන් වහන්සේ සප්තාර්ය ධනය තුළින් දේශනා කොට ඇත්තේ ද එයම යි. සද්ධා, ශීල, හිරි - ඔතප්ප, සුත, චාග, පඤ්ඤා යන ධන හත යමෙකුට වර්ධනය කර ගැනීමට හැකිනම් ඔහු කිසිදා දුප්පතෙක් ලෙස සැලකීමට නොහැක. ඔහු සසර ගමනට අවශ්‍ය ධනය සම්පාදනය කරගත් පොහොසතෙකි.

තුනුරුවන් පිළිබඳ මනා අවබෝධයකින් අපගේ සිත් ප්‍රසන්න කර ගැනීම සිදු කළ යුතුව ඇත. මට්ඨකුණ්ඩලී තම සිත පහදවාගෙන දිව්‍ය ලෝකයේ ගමන් කළේ මහ ලොකු පින්කම් කරගෙන නොවේ. ඒ මානසික ශක්තිය චුති චිත්තය හා සම්බන්ධ කර ගැනීම ද ඉතා වැදගත් වේ. විවිධ විශම පුද්ගල සමාජයක ජීවත් වන්නවුන් වශයෙන් අද අදම මානසික සංවර්ධනය කර ගත යුතුව ඇත. තරඟකාරී ලෝකයක උමතු විලාසෙන් දිවීම නිෂ්ඵල ක්‍රියාවකි. එය සසරට යහපත ගෙන දෙන්නක් නොවේ.

   පොසොන් අව අටවක පෝය 

  පොසොන් අව අටවක පෝය ජුනි12 සිකුරාදා අපර භාග 10.52 න් අව අටවක ලබා 14 ඉරිදා පූර්ව භාග 00.59 න් ගෙවේ . සෙනසුරාදා සිල්.

මීළඟ පෝය 20 වනදා
සෙනසුරාදා
 

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 13

Full Moonඅමාවක

ජූනි 20

First Quarterපුර අටවක

ජූනි 28

Full Moonපසෙලාස්වක

ජූලි 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]