[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව 06 කොටස : බීටින් උපාසකගේ පුත් පද්මසිරි නවදගල පදුමකිත්ති හිමියෝ වෙති

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව 06 කොටස :

බීටින් උපාසකගේ පුත් පද්මසිරි නවදගල පදුමකිත්ති හිමියෝ වෙති

මේ මොකද මෙතන බංකුවක් තියලා, බුදුන් වදින අයට වාඩිවෙලා වඳීන්න ද?‘‘ කියූ නා හිමියන් බංකුව ගෙන එළියට දැමුවේ ය. ඒ සමඟම එයට මුවා සිටි පොඩි හාමුදුරුවන් නායක හාමුදුරුවන්ගේ නෙත ගැටුණි.

කුඩාකල සිට විවිධ දඟකාරකම්වලට ඇබ්බැහි වී සිටි පද්මසිරි පැවිදි කිරීම පිණිස නාගදීපයට කැඳවා ගෙන එන්නට කටයුතු කළේ පද්මසිරිගේ පවුලට ඥාතීත්වයක් තිබූ නාගදීපයේ ලොකු හාමුදුරුවන් වහන්සේ විසිනි. පැවිදි වීමට පැමිණිය ද පද්මසිරිගේ දැඟලිල්ලේ නම් අඩුවක් නොවී ය. පැවිදි වීමට පෙර දින පවා විහාරස්ථානයේ ඉපැරැණි කබඩ් එකක් පෙරලා එහි තිබූ වටිනා පිඟන් සියල්ල බිඳ දැමූ පද්මසිරිගේ පැවිදි පින්කම එකල නාගදීපයේ පැවැත්වූ ලොකුම පින්කමක් මෙන්ම උත්සවයක් ද විය.

පැවිදි පින්කම නැරැඹීමට පැමිණි දෙමළ ජාතික ජනතාව, පෙරහර බුද්ධ වලව්වේ සිට යළි විහාරයට පැමිණෙන අයුරු බලා සිටියේ මහත්ම වූ ගෞරවයෙනි. විහාරයට පැමිණි පසුව පද්මසිරිට අඳනකඩය අන්දවා සිවුරු පෙරවීම කරන ලද්දේ බලගෝවේ විමලකිත්ති හිමියන් විසිනි. ඒ අනුව පද්මසිරි මැන්දිස්, නවදගල පදුමකිත්ති නමින් පැවිදි බවට ඇතුළු විය.

දිනය පුරාම විවිධ පින්කම් තිබූ හෙයින් එදින නාගදීපයටම විශේෂිත වූ දිනයක් විය. රාත්‍රිය වන විට පදුමකිත්ති හිමියන්ට බඩගින්නක් දැනුණි. දිවා ආහාරයෙන් පසුව දෙතුන් වතාවක් ගිලන්පස ලැබුණු අතර චතුමධුර හෝ වෙනත් යමක් ලැබුණු බව පදුමකිත්ති පොඩි හාමුදුරුවන්ට මතක ය. එහෙත් වෙනත් යමක් බඩට නොවැටුණු හෙයින් දැනුණු බඩගින්න ඉවසන්නට බැරිම විය. කාමරයේ තිබුණු බිස්කට් පැකට්ටුවක් පොඩි හාමුදුරුවන්ට සිහි විය. එය අවසන් කරන්නට ගත වූයේ විනාඩි කිහිපයකි.

එසේ පැවිදි පින්කම අවසන් වුව ද පදුමකිත්ති හිමියන්ට සෙල්ලමට ගිය හිත නම් නතර වූයේ නැත. පොඩි හාමුදුරුවන්ගේ දඟකාරකම් දන්නා නායක හාමුදුරුවන් උන් වහන්සේ කැඳවා අවවාද අනුශාසනා ලබා දුන්හ. නායක හාමුදුරුවන් විශේෂයෙන්ම පැවසුවේ තැන් තැන්වල අනවශ්‍ය ගමන් බිමන් යාම නොකළ යුතු බවත්, පොත් පත් කියවනවා මිස පන්සලේ හෝ වෙනත් තැන්වල දී අනවශ්‍ය ලෙස කතාවට නොයා යුතු බවයි.

ඒ අවවාද අනුශාසනා නායක හිමියන්ට වැඳ පිළිගත් නමුත් පොඩි හාමුදුරුවන්ට එක විදිහකට නම් සිටීම අසීරුම කාර්යය විය.


පද්මසිරි සිවුරු දැරීමට මොහොතකට පෙර


පද්මසිරි මහණ කළ දිනයේදී

පින්කමට ගෙන ආ බොහෝ දේ විහාරභූමියේ දින කිහිපයක් යනතුරුත් තිබෙනු දක්නට ලැබුණි. විහාරස්ථානයට අයත් හා විහාරස්ථානයට ගෙන ආ භාණ්ඩ ගොඩ ගසා තිබුණේ විහාර මන්දිරය ඇතුළේ ය. එහි ඇතුළත දැඩි අපිළිවෙළක් ගත් අතර පදුමකිත්ති හිමියෝ විහාර ගෙයට වැඩම කළහ. විහාරය දුටු පොඩි හාමුදුරුවන්ගේ මනස විකල් විය. ‘දින කිහිපයකට පෙර ඉතා පිළිවෙළට තිබුණු විහාර ගෙයි හැටි‘උන් වහන්සෙට ඉබේම කියැවිණි. පන්සලේ ආවතේව කරන සුමතිපාල හා අබේසිරි (පැවිදි වූයේ රන්දොඹේ අබේසිරි නොවේ) එහි සිට බඩු භාණ්ඩ එහා මෙහා කරනු පොඩි හාමුදුරුවෝ දුටුවහ.

පොඩි හාමුදුරුවෝ එහි තිබූ දිග බංකුවක් මත අසුන් ගත්තේ පොඩි කයියක් ගැසීම සඳහා ය.

‘‘අනේ පොඩි හාමුදුරුවනේ මෙතැනින් යන්න, ලොකු හාමුදුරුවො දැක්කොත් අපටත් ගුටි කන්න වෙයි‘‘ සුමතිපාල කිවේ ය.

‘‘ඒ මොකට ද? නායක හාමුදුරුවෝ වසයි ද?‘‘

‘‘සැරයක් කිව්වනේ, පොඩි හාමුදුරුවන්ට විතරක් නෙමෙයි අපිටත් කන්න වෙනව‘‘ අබේසිරි ද කතාවට එක් විය.

‘‘බොරු කියන්න එපා, එදා අර කබඩ් එක දෙකට පැලිලා පිඟන් ඔක්කොම බිඳුණා. කෝ නායක හාමුදුරුවො මොකවත් කිව්වෙවත් නෑනෙ‘‘ පදුමකිත්ති හාමුදුරුවෝ දෙදෙනාගේ කතාව ගණනකට නොගත්හ.

‘‘අනේ පොඩි හාමුදුරුවනේ මෙතනින් වඩින්න අපට වද නොදී‘‘ සුමතිපාල තරමක් සැර විය.

‘‘මළා, අන්න නායක හාමුදුරුවො මෙහාට වඩිනවා‘‘ අබේසිරි කීවේ ය.

‘‘ඉක්මනට හැංඟෙන්න‘‘ සුමතිපාල ද ඒ සමඟ ම කිවේ ය. ඔවුන් දෙදෙනා එහි තිබූ බඩු එහේ මෙහෙ කරන්නට විය. පොඩි හාමුදුරුවෝ තමන් අසුන් ගෙන සිටි දිග බංකුව එහා පැත්තේ බිම ඇණ තියා ගෙන ඔලුව හංගා ගත්හ.

‘‘කෝ මේක අපාය වගේ, තාම අස් කළේ නැද්ද?‘‘ නායක හාමුදුරුවෝ හඬ නැඟූහ.

‘‘මේ මොකද මෙතන බංකුවක් තියලා, බුදුන් ව¼දින අයට වාඩිවෙලා වඳීන්න ද?‘‘ කියූ නා හිමියන් බංකුව ගෙන එළියට දැමුවේ ය. ඒ සමඟම එයට මුවා සිටි පොඩි හාමුදුරුවන් නායක හාමුදුරුවන්ගේ නෙත ගැටුණි.

‘‘මං කියල තියෙනව නේද පොතක් පතක් බලාගෙන ඉන්නව මිස අරහෙ මෙහේ කයිවාරු ගහන්න යන්න එපා කියල‘‘ කියූ නායක හාමුදුරුවන් අත දිග හැර පහරක් දුන්නේ ය. ඒ පහරින් පොඩි හාමුදුරුවන් කැරකී ගොස් පෙට්ටි ගොඩක් ද පෙරළාගෙන බිම වැටුණහ. අමාරුවෙන් නැඟිට ගත්තත් ඊළඟට නායක හාමුදුරුවෝ පොඩි හාමුදුරුවන්ගේ පසුපසට පා පහරක් දුන්හ. ඒ පහරින් පදුමකිත්ති හිමියන් අබේසිරිගේ දෙපා මුල වැටුණු නමුත් ඔවුහු වගේ වගක් නැතිව බඩු මුට්ටු අස් කරමින් සිටියහ.

නායක හිමියන් පොඩි හාමුදුරුවන්ට පහර දුන්නේ පොඩි හාමුදුරුවන් පැවිදි දිනට පෙර දින සිට කළ කී දේ සියල්ල මතක් කරමිනි.

මල්, පහන්, සුවඳ දුම්වලින් පිරි පන්සලේ වාසය කිරීම මෙතරම් අසීරුදැයි පදුමකිත්ති හිමියන්ට සිතුණි. පෙර කළ පවකට මුගලන් මහ රහතන් වහන්සේගේ පැහැය වෙනස් වී නිල්පාට වී ඇත්තා සේ ම තමන්ගේ ද පැහැය වෙනස් වේදෝයි පදුමකිත්ති පොඩි හාමුදුරුවෝ සිතූහ.

පොඩ්ඩ වැරදුණොත් නායක හාමුදුරුවන්ගෙන් පහර වදින බව පදුමකිත්ති හිමියෝ දැනගත්තේ පැවිදි වී ටික දිකක් ගිය පසු ය. ඒ කුමක් වුවත් පොඩි හාමුදුරුවන්ගේ ජීවන රටාව නම් එක්වරම වෙනස් කිරීම තරමක් අසීරු විය. ගුටි බැට මැද්දේ කෙසේ හෝ මේ පැවිදි ගමන ඉදිරියට යන්නට විය.

දිනක් පහර කෑමෙන් පසු පොඩි හාමුදුරුවන් සිතුවේ ‘අද උදේ මට ලොකු හාමුදුරුවෝ 10 පාරක් ගැහුවා, දවල් දානෙන් පස්සෙත් ඒ තරමට ගුටි කෑවානෙ, එතකොට හවසත් ඊට වඩා ගුටි කෑවා. හරියට මතක නැති වුණත් 30 පාරකට වඩා ගුටි කෑවා. හෙට බලන්න ඕන ගුටිකන ගාන අඩු කරගන්න.

එසේ සිතූ පොඩි හාමුදුරුවන් පසුදින උදෑසන සිටම පහර වදින අවස්ථා ගණන් කරන්නට විය. රාත්‍රී නින්දට යන විට එදින පමණක් 60පාරක් ගුටිකෑමට පොඩි හාමුදුරුවන්ට සිදු ව තිබුණි. එසේ වුවත් පදුමකිත්ති හාමුදුරුවන් කිසිසේත්ම නායක හිමියන් සමඟ උරණ වූයේ නම් නැත.

   පොසොන් අව අටවක පෝය 

  පොසොන් අව අටවක පෝය ජුනි12 සිකුරාදා අපර භාග 10.52 න් අව අටවක ලබා 14 ඉරිදා පූර්ව භාග 00.59 න් ගෙවේ . සෙනසුරාදා සිල්.

මීළඟ පෝය 20 වනදා
සෙනසුරාදා
 

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 13

Full Moonඅමාවක

ජූනි 20

First Quarterපුර අටවක

ජූනි 28

Full Moonපසළොස්වක

ජූලි 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]