[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජීවිතය බබළවන ආභරණ

ජීවිතය බබළවන ආභරණ

මේ පොසොන් සමය යි. සම්බුද්ධ ශාසනය සමඟ බැඳී සිටින බෞද්ධයන් බුදු බණ අනුව යහපත් දිවි පෙවෙතක් සකස් කර ගැනීමට මේ පොසොන් සමයේ හිතට ගැනීම සම්බුදු හිමියන් පිදීමකට සමාන ය.

“සදාචාරශීලී වීම” ජීවිතයකට අත්‍යවශ්‍ය උතුම් ගුණාංගයකි. සක්දෙවි පදවිය ලැබීමට පවා මුල්වී ඇත්තේ සදාචාරශීලී බවයි. සදාචාරශීලී ජීවිතයට අත්‍යවශ්‍ය ගුණාංග කීපයක් වෙයි. රසවත් තේ එකක් සාදා ගැනීමට තේ කොළ, සීනි, කිරි, උණුවතුර වැනි දේ එකතු විය යුතු පරිද්දෙන් ජීවිතයකට සදාචාරශීලී බව එකතු වීමට ගුණාංග කීපයක් එකතු විය යුතුව තිබේ.

ප්‍රිය වචනය

කටුක වචන අසන්නට අප කිසිවෙකු කැමති නැත. ප්‍රියමනාපයක් ඇති කරන සුන්දර වචන අසන්නට අප කවුරුත් කැමති ය. සුන්දර වචන කියන්නාගේ ද අසන්නාගේ ද සිත් සතන් පුබුදු වෙයි. සක් දෙවිඳු ප්‍රිය වචනවලට ප්‍රිය කරයි.

එක් අවස්ථාවක සක් දෙවිඳු හා අසුර නායක “වේපචිත්ති” අතර වාග් සටනක් සිදුවිය. බාලයා මෙල්ල කිරීමට නම් ඔහුට දඬුවම් කළ යුතු යයි අසුර නායක කීවේ ය. බාලයා කිපී සිටින බව දැන යමෙකු උපේක්ෂාවෙන් සන්සුන් වේ ද බාලයා මෙල්ල කිරීමේ සූත්‍රය එය බව සක් දෙවිඳු කීවේ ය. බාලයෙකු මැඬ පැවැත්වීමේ එකම මඟ ඉවසීමේ මන්තරය බව සක් දෙවිඳු සනාථ කිරීමෙන් දෙවිවරු සතුටු වී සත් දෙවිඳු වාග් සටනින් ජයගත්තේ ය. අචාරශීලී වීමට මෙය අත්‍යවශ්‍ය ගුණ දහමකියි කීහ.

හිංසා නොකිරීම

තවත් අවස්ථාවක අසුරයන් තමා පසුපස ලුහුබැඳ එනු දුටු සක් දෙවිඳු වේගයෙන් පළා යන්නට විය. එසේ පළා ගියේ අසුරයන් සමඟ යුද වැදුණේ නම් විශාල ජීවිත හානි සිදුවන බව තේරුම් ගැනීමෙනි. එසේ යද්දී සිය රථය ගුරුළු කූඩුවල වැදෙන බව දුටු සක් දෙවිඳු වහාම රථය ආපසු හැරවීමට මාතලී දිව්‍ය පුත්‍රයාට අණ කළේ ය. ඒ අනුව සක් දෙවිඳු රථය ආපසු එන බව දුටු අසුරයන් තමන් නසන්නට ඒ යයි සිතා ආපසු හැරී ගියහ. සක් දෙවිඳුගේ මේ පැවැත්ම නිසා ගුරුළු කූඩු බේරුණි. අසුරයන්ගේ ජීවිත ද බේරුණි. මේ අනුව සතුන්ට හිංසා නොකිරීමේ දැහැමි ගුණයෙන් සක් දෙවිඳු ජය ගත්තේ ය.

ගරු බුහුමන් කිරීම

මානව සමාජයක් තුළ ගැටුම්, අවුල්, අරගල, භේද භින්නතා හීන වන්නට නම් මානව සංස්කෘතිය තුළ සිල්වත් හා ගුණවත් බව පෝෂණය විය යුතු ය. ගුණ දහමින් සිල්වත් බවින් පිරිපුන් සමාජයක් පාලනය කිරීම ඉතාමත් පහසු ය. ගුණවත් සිල්වත් අය දෙවියන් විසින් ප්‍රිය කරනු ලැබේ. ඒ නිසාම එවැනි අයට බාහිර කරදර නොපැමිණේ. දුසිල් මිනිසුන්ගේ සිරුර දුගඳ ය. අපවිත්‍ර ය. සුසිල්වත් මිනිසුන්ගේ සිරුර සුවඳවත් ය. මේ නිසා සිල්වත් ගුණවත් වීම මිනිසුන්ගෙන් පමණක් නොව දෙවියන්ගේ ද ආශිර්වාද ලැබීමට හේතු වේ.

මිනිසුන් විසින් අනුගමනය කළ යුතු ගුණධර්ම හතක් පවතී.

සක් දෙවිඳුන් මිනිස් ආත්මයේ දී ගුණ දහම් හතක් පිළිපදින ලද බව දහමේ විස්තර වේ. එසේ ගුණ දහම් පිළිපැදීමේ පිනෙන් සක් දෙවිඳු පදවිය ලත් බව ද දහමේ දැක්වේ. ඒ ගුණදහම් හත මෙසේ දැක්විය හැකි ය.

* දිවි හිමියෙන් මව්පියන් පෝෂණය කිරීම.

* දිවි හිමියෙන් කුල දෙටුවන්, වැඩිහිටියන්, සඟරුවන් පිදීම.

* දිවි හිමියෙන් ප්‍රිය වචන කථා කිරීම.

* දිවි හිමියෙන් අනුන් බිඳවන කේලාම් බස් නොකීම.

* දිවි හිමියෙන් සත්‍ය වචන කථා කිරීම.

* දිවි හිමියෙන් වෛර හෝ ක්‍රෝධ නොකිරීම.

* හිතට ක්‍රෝධයක් පැමිණි වහාම අසුරු සැණින් එය දුරු කිරීම.

තවදුරටත් යහපත් මිනිසුන් අනුගමනය කළ යුතු යහ ගති පැවතුම් ද වේ.

කරන ලද පරිත්‍යාගයක්, දානයක්, දීමනාවක් පිළිබඳ ව පසුව ඇලුම් නොකිරීම යහපත් ගුණාංගයකි. ඉල්ලන්නට සුදුසු අය තමා වෙත පැමිණි විට ඔහුගේ අවශ්‍යතා හඳුනාගෙන ඔහුට අවශ්‍ය දේ මසුරු සිතක් නැතිව, නිර්ලෝභී ව ලබාදීම මහත් පින්කමකි.

මව්පියන් පෝෂණය කිරීම යහපත් දරුවන්ගේ යුතුකමකි. වගකීමකි. සිය අතපය විකෘති නොකර, ආහාර පාන ලබා දෙමින් බාහිර කරදර වලින් බේරාගෙන අධ්‍යාපනය ලබාදීම මගින් රටට අවශ්‍ය පුරවැසියෙකු ලෙස තමන් ඇති දැඩි කළ මව්පියන් රැකබලාගෙන ඇප උපස්ථාන කිරීම යහපත් දරුවන්ගේ පරම යුතුකමකි. සංඝරත්නයට, පරපුරේ වැඩිහිටියන්ට, සිල්වත් ගුණවත් අයට ගරු බුහුමන් කරමින් ඔවුන්ගේ උපදෙස් පිළිපැදීම සහ ඔවුන් වෙත ආවිට නැගිට උපදෙස් පිළිපැදීම ගුණ යහපත් සත්පුරුෂයන්ගේ පැවැත්ම ය.

ක්‍රෝධය නිසා සිත් අපිරිසුදු වේ. තමන් සිතන පතන ආකාරයට අනෙක් අය සහ අනෙක් දේවල් පැවතිය යුතු යයි සමහරු සිතති. තමාට අනුව අවට පරිසරය නොපවතින විට නුරුස්සයි. ගැටෙයි. කෝලාහල ඇති කරයි. මේවා මගින් ක්‍රෝධය උපදී. එවිට කායික ව සහ මානසික ව රෝගී වෙයි. ඒ නිසා පුද්ගලයා අප්‍රසන්න වේ. සමාජයෙන් හෙතෙම පිටුදකී. ඔහුගේ ආයුෂ කෙටි වීමටද එය හේතුවකි.

අවට පරිසරය සමඟ නොගැටී සිටින විට ක්‍රෝධය නූපදී. සිත පැහැපත් වේ. මෙත් සිත් උපදී. තමා සියල්ලන්ටම ප්‍රියමනාප වේ. ඒ නිසාම කායික හා මානසික සුවයක් ඇතිවේ. පෙනුම ප්‍රසන්න වේ. නීරෝගී වී දිගාසිරි ලබයි. මේ ගුණ දහම් සියල්ල සක් දෙවිඳු මිනිස් ආත්මවලදී පිළිපදින ලද බව දහම් පොත්වල විස්තර වේ.

ක්‍රෝධයේ සංකේතය යක්ෂයා ය. වරක් සක් දෙවිඳු අසුනේ කළු මිටි යකෙකු සිටිනු දැක දෙවිවරු ඔහුට බැණ පරිභව කළහ. මේ ක්‍රෝධය හමුවේ යක්ෂයා වඩාත් ඉස්මතු විය. මේ බව දෙවිවරු විසින් සක් දෙවිඳුට පැමිණිලි කළ විට සක් දෙවිඳු පැමිණ යක්ෂයාට වැඳ “මම සක් දෙවිඳු” යයි පැවසී ය. ඒ සමඟම යක්ෂයා අතුරුදන් විය. සක් දෙවිඳුගේ ඉවසීමෙන් යක්ෂයා ජය ගත්තේ ය. ඉවසීම හමුවේ ක්‍රෝධයට ආයුෂ නැත. මෙම සක් දෙවිඳුගේ චරිතය මුල්කොට අපට ඉගෙනගත හැකි ගුණදහම් කීපයක්ම පවතී. ඒවා මෙසේ ය.

ක්‍රෝධ නොකිරීම ද, අවිහිංසාව ද හැමවිටම උතුම් ජීවිත ආභරණ වේ. කිපෙන්නන් කෙරෙහි නොකිපිය යුතු ය. මසුරු සිතින් තොරව දානය දිය යුතු ය. ඉවසීම ජීවිතේට සතුට හා සහනය ලබා දෙයි. දිවි හිමියෙන් ඇත්ත කථා කිරීමත්, කේළාම් නොකීමත් තවත් උතුම් ගුණ දහමකි.

මෙම ගුණ දහම් අනුගමනය කරමින්, යහපත් සත් පුරුෂයෙක් වීමට මේ පොසොන් මාසයේ අදිටන් කර ගන්න.

   පොසොන් අව අටවක පෝය 

  පොසොන් අව අටවක පෝය ජුනි12 සිකුරාදා අපර භාග 10.52 න් අව අටවක ලබා 14 ඉරිදා පූර්ව භාග 00.59 න් ගෙවේ . සෙනසුරාදා සිල්.

මීළඟ පෝය 20 වනදා
සෙනසුරාදා
 

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 13

Full Moonඅමාවක

ජූනි 20

First Quarterපුර අටවක

ජූනි 28

Full Moonපසළොස්වක

ජූලි 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]