[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනාගතයට ඉතිරි කිරීම

අනාගතයට ඉතිරි කිරීම

මේ ගසේ බොහෝ
පැණි දොඩම් තිබේ
පැහිල ඉදිල බිමට නැමිල
බරවෙලා අතූ
නංගිටයි මටයි
ගෙඩි දෙකක් ඇති
වැඩිය කඩන නරක ළමයි හෙම නොවෙයි අපි

මෙම සතර පද කවිය කුඩා කල සිට කොතෙකුත් අසා ඇත. බාහිරින් දකින ශබ්ද රසයට වඩා මෙහි ගැබ් වන අර්ථ රසය ඉතා ම පරිපූර්ණ ය. සුවිශේෂී ය. අතු අග පල බර ය. එහෙත් මෙම කුඩා දරුවා ගසෙන් ඉල්ලන්නේ නංගිටත් තමාටත් ගෙඩි දෙකක් පමණි. පරිහරණය, අරපිරිමැස්ම, සුරක්‍ෂිතතාව හා කළමනාකාරිත්වය පිළිබඳ ව කදිම උපදේශයක් ලොකු කුඩා සියලු දෙනාටම මෙයින් ලබා ගත හැකි ය.

බෞද්ධ සංස්කෘතියෙහි ආභාෂය ලත් මෙරට බොහෝ ගැමියෝ සම්පත් නිසි ක්‍රමවේදයකට මනා කළමනාකාරිත්වයකින් පරිහරණය කළහ. සිදුරු වූ කළය, කුල්ල පවා නැවත පිළිසකර කොට භාවිත කළහ. භව බෝග පරිහරණයේ දී දැක්වූයේ සුවිශේෂී දායකත්වයකි. ආහාර පිසීමේ දී ගනු ලබන සහල් වලින් ස්වල්පයක් වෙන්කොට, අසරණ දුගී මිනිසෙකු ආ විට පිනට දන් දුන්හ. ගස යට වැටී තිබූ කොස් ඇට ටික එකතු කර වැලි කොස් ඇට සකස් කර ගත්හ. සෑම ගැමි නිවසකම දුමෙහි ආහාර අවම වූ විට ගැනීමට අවශ්‍ය දෑ වියළා තබා ගත්හ. මේ අනුව අතීත ගැමියන්ගේ ආහාර සංස්කෘතිය සුභර ගුණයෙන් පෝෂණය වූහ. එයට මූලික හේතුව වූයේ ධර්මයේ ආභාෂය ප්‍රායෝගික ව ලබා ගැනීම ය.

පුද්ගලයෙකුගේ භෞතික දියුණුව හා ආධ්‍යාත්මික ජීවිතය සම මට්ටමක තබාගත යුතු ය. කුඩා කල සිටම ළමා මනස මනා කළමනාකාරිත්වයකින් යුතුව, භාණ්ඩ පරිහරණය පිළිබඳව ප්‍රායෝගික ආභාෂය ලබා දිය යුතු ය. එසේ නොමැතිව කළමනාකරණයෙහි වචනාර්ථය කෙරෙහි පමණක් සැලකිල්ලක් දැක්වීම අනාගත ලෝකයට ප්‍රායෝගික නොවනු ඇත. එහෙයින් සම්පත් නිරර්ථක ලෙස ක්‍ෂය වී යාමට ඇති අවකාශය සලකා බුදුරජාණන් වහන්සේ මෙසේ පැහැදිලි කළහ.

නැසුණ සම්පත් කොටසක් වී නම්, නැවත උපයා තැබිය යුතු ය.

යම් දිරූ දෙයක් වී නම් තවත් දිරාපත් වන්නට නො දී ප්‍රතිසංස්කරණය කළ යුතු ය.

සම්පත්වල සීමාවත්, අවශ්‍යතාවයත් දැන, පාන භෝජන වශයෙන් පරිභෝග කළ යුතු ය.

කයත් වචනයත් විධිමත් ව පාවිච්ච් කරන සිල්වත් ස්ත්‍රියක හෝ පුරුෂයෙකු කුලයෙහි ප්‍රධානත්වය දැරිය යුතු ය.

වරක් උදේන රජතුමා සිය අන්තඞපුර ජනයන් වෙතින් උතුරුසලු පන්සියයක් අනඳ හිමියන්ට ලැබුණු බව දැන, ඒවායින් කුමක් කරන්නේ දැයි විමසී ය. අනඳහිමියන් එහිදී ප්‍රකාශ කර සිටියේ

උතුරුසළුවලින් සිවුරු කරවම්.

ඒ සිවුරු දුබල සිවුරු ඇති භික්‍ෂූන්ට ලබාදෙමි.

දුබල සිවුරුවලින් ඇතිරිලි සාදමි.

ඇතිරිලි වලින් කොට්ටඋර සාදමි.

පැරැණි කොට්ට උරවලින් බුමුතුරුණු කරවමි.

පැරිණි බුමුතුරුණු වලින් පාපිසි තනවමි. පැරණි පාපිසි වලින් දූවිලි පිස්නා රෙදි සාදමි. පැරැණි දූවිලි පිස්නා රෙදි කුටි තැනීමේ දී මැටි සමඟ කොට පිරිබඩ ආලේප කරවමි යනුවෙනි. අනතුරුව උදේන රජතුමා ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් සම්පත් නුවණින් යොදවන බව පවසා , තවත් සලු පන්සියයක් පූජා කළේ ය. සම්පත් කොතෙකුත් ඇතත් එය නිසි ක්‍රමවේදයකට පරිභෝජනයට ලක් කිරීම බෞද්ධ පිළිවෙත ය. ඒ තුළින් සම්පත් සුරක්‍ෂිතතාවය ඇතිකරගත හැකි ය.

සම්පත් සුරක්‍ෂිත ව පරිහරණය කිරීමේ ප්‍රායෝගික වටිනාකම පිළිබඳ ව පූජාවලියෙහි ජීවකාරාම පූජා කථාවෙහි මැනවින් පැහැදිලි කර තිබේ. “ජීවක වෛද්‍යවරයා බුදුරජාණන් වහන්සේගේ කාලයේ හිටපු දක්‍ෂ වෛද්‍යවරයෙක්, වෙදකම ඉගෙන ගත්තේ තක්‍ෂිලා නුවර දිසාපාමොක් ඇදුරුතුමාගෙන් . ඉගෙනීම අවසන් කොට තම නුවරට එන අතරමග දී සාකේත නුවර සිටු දේවියගේ කලක පටන් එන හිසේ අමාරුවක් ගැන එතුමාට අහන්නට ලැබුණා. තරුණ ජීවක වෙදදුරු තුමා මේ ආරංචිය ගැන සැලකිලිමත් වුණා. එතුමා කල්පනා කළා මේ තුළින් තමන් ඉගෙනගත් ශාස්ත්‍රය අත්හදා බැලීමටත්, නිවසට යන විට කිසියම් ධනයක් උපයාගෙන යාමටත් පුලුවන් බව, ඒ නිසා සිටු දේවියට ප්‍රතිකාර කිරීමට තීරණය කළා . එතුමා සිටු මාළිගයට ගියා.

සිටු දේවිය මේ ළාබාල වෛද්‍යවරයා ගැන මුලින් එතරම් පැහැදීමක් ඇති කර ගත්තේ නැහැ. ඊට හේතුව මීට පෙර වයසින් මුහුකුරා ගිය දක්‍ෂ වෛද්‍යවරු සිටු දේවියගේ රෝගය පරික්‍ෂා කර ප්‍රතිකාර කළත් , ඉන් කිසිදු සුවයක් සිටු දේවියට ලැබුණේ නැහැ. එ නමුත් සිටු මාළිගයට පැමිණි වෛද්‍යවරයාගේ ඉල්ලීම මත ම ප්‍රතිකාර කිරීමට අවසරය ලබා දුන්නා. වෛද්‍යවරයා රෝගියා පරික්‍ෂා කොට සුවපත් කිරීම සඳහා ගිතෙල් ටිකක් අවශ්‍ය බව දැනුම් දුන් විට සේවිකාවක් එය ගෙනැවිත් දුන්නා. ජීවක වෛද්‍ය තුමා තමා සතුව ඇති බෙහෙත් ද මෙම ගිතෙල් වලට එකතු කොට විශේෂ බෙහෙතක් සකස් කර ගත්තා. එම බෙහෙත සිටු දේවියට නශ්‍ය කළා. නශ්‍ය කිරීමෙ දී ගිතෙල් ටිකක් බිමට වැටුණා ඒ අවස්ථාවේ දී රෝගී සිටු දේවිය සේවිකාවකට කතා කර පුළුන් කෑල්ලකට එම ගිතෙල් ටික රැගෙන ආරක්‍ෂිත ව තබන ලෙස නියම කළා. එය දුටු ජීවක වෛද්‍යවරයා සිටු දේවිය පිළීබඳව කළකිරීමක් ඇති කර ගත්තා. ඔහු සිතුවේ මැය දැඩි ලෝභී , මසුරු තැනැත්තියක් කියලයි. වෛද්‍යවරයාගේ බෙහෙතින් ඇගේ රුදාව සුව වී බොහෝ සතුටට පත් වුණා. විශාල ධනයක් ලබා දී ඔහුට ස්තුති කළා. ඒ සමඟ ම සිටු දේවිය මෙහෙම ප්‍රකාශයකුත් කළා.

වෛද්‍යතුමනි, බිමට වැටුණු තෙල් සේවිකාව ලවා පුළුන් කෑල්ලකට රැගෙන පරිස්සම් කරන ලෙස උපදෙස් දුන් විට මම ලෝභී අයෙකු ලෙස වටහා ගත්තා නේද? නැහැ වෛද්‍යතුමනි අපි ගිහි ගෙවල්වල ඉන්න අයනේ. සම්පත් ආරක්‍ෂාව ගැන නිතර හිතනවා. අනවශ්‍ය ලෙස සම්පත් භාවිත කිරීමටත්, ඒවා ප්‍රයෝජනයකට නොගෙන විනාශ වෙලා යනවා දකින්නටත් මම කැමැති නැහැ. නශ්‍යයේ දී බිමට වැටුණු ගිතෙල් ටිකෙන් වුවත් බොහෝ ප්‍රයෝජන ගන්න පුළුවන්. එය ඇතැම් විට පහනක් දැල්වීමට භාවිත කරන්නට පුළුවන්. කනේ අමාරුව හැදුණොත් භාවිතයට ගන්න පුළුවන්

යනුවෙන් සිටු දේවිය සම්පත් පරිහරණය කිරීමේ වටිනාකම පිළිබඳව මනා උපදෙසක් ලබා දුන්නා.

අප සියලු දේනා ද සම්පත් පරිහරණය කිරීමේ දී මනා අවබෝධයකින් කටයුතු කළ යුතු ය. එවිට අනාගත පරපුරට සම්පත් ඉතිරිකර තබා ගත හැකි ය.

   පොසොන් අව අටවක පෝය 

  පොසොන් අව අටවක පෝය ජුනි12 සිකුරාදා අපර භාග 10.52 න් අව අටවක ලබා 14 ඉරිදා පූර්ව භාග 00.59 න් ගෙවේ . සෙනසුරාදා සිල්.

මීළඟ පෝය 20 වනදා
සෙනසුරාදා
 

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 13

Full Moonඅමාවක

ජූනි 20

First Quarterපුර අටවක

ජූනි 28

Full Moonපසළොස්වක

ජූලි 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]