[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මුදල් ගෙවා ආයුෂ කෙටි කර ගැනීම

මුදල් ගෙවා ආයුෂ කෙටි කර ගැනීම

පරිහානිය දකිමින් පරිහානියට යන්නේ කුමටද ?

කොරෝනා උවදුර නිසා අපේ සෙසු ගැටලු බොහොමයක් අපට අමතක වූවා දෝ හැඟේ. විශේෂයෙන්ම මත්වතුර බීම නිසා අපේ රටේ ජනතාවට අත්ව ඇති ඉරණම බොහෝ දෙනාට නොපෙනෙන විශාල ව්‍යසනයක් ව අවසන් බව තේරුම් යන්නේ ඒ ගැන විමසිලිමත් ව සොයා බැලුවහොත් පමණකි.

විශේෂයෙන් ම නිවසක ඇතුළේ සිදුවන යම්කිසි සිදුවීමක් එළියේ සිට බැලූ විටයි පැහැදිලිව ම පෙනෙන්නේ. ශ්‍රී ලංකාවේ ජනතාවගේ අනාගතය මත් වතුර බීම නිසා විශාල අගාධයක් කරා ඇදී යන බව ශ්‍රී ලංකාවෙන් පිටත සිට බැලූ විට පැහැදිලිව ම පෙනෙනවා.

කොරෝනා ව්‍යසනය නිසා ශ්‍රී ලංකාවේ ඇඳීරි නීතිය පනවා එය ලිහිල් කළ අවස්ථාවේ පිරිමි පාර්ශ්වය පෝලිමේ පොරකමින් සිටියේ මත් වතුර මිලදී ගන්නට බව ලෝකයම දැක්කා. ඇතැම් අයගේ දරුවන් බඩගින්නේ, තවත් අයගේ නිවෙසේ රෝගාතුර වූ අය ප්‍රතිකාර ගන්නට යාමට නොහැකිව සිටිනවා. ඒ අතරේ මත් වතුර බොන්නට පෝලිමේ සිටි ආකාරය අපට දැක ගැන්මට පුළුවන් වුණා. මොනවා බලාපොරොත්තුවෙන් ද මේ මත්වතුර බොන්නට ගියේ. විනෝදයටද? නැත්නම් රසයට ද? නැත්නම් ගුණයක් ලබා ගන්න ද?

මේ එකක්වත් මත්වතුර වලින් ලැබෙනවා ද? ඇතැම් අය එසේ මත්වතුර බොන්නට ගොස් තිබුණේ රජයෙන් අඩු ආදායම්ලාභීන්ට ආහාර පාන ලබා ගන්නට ලබා දුන් රුපියල් 5000 සහනාධාර මුදලින් බවත් වාර්තා වෙලා තිබුණා. ඒ කියන්නේ දරුවන්ගේ බඩගින්නට වඩා මත්වතුර ඒ අයට ලොකු වුණු බවයි. මේ පිරිස ද අපේ රට රැක ගන්නට යන්නේ.

බොහෝ වෙලාවට ගමේ ගොඩේ එදිනෙදා වැඩ කරන සමහර අය අඩුම තරමේ රුපියල් 100ක්වත් දවසකට මත්වතුර වෙනුවෙන් වැය කරනවා. තමන්ට හම්බවෙන රුපියල් 700න් නැත්නම් 800න් එහෙම වියදම් කරපුවහම දරුවන්ට යන කල මොකක්ද?

දරුවන් කියන්නේ රටේ අනාගතය. අද ශ්‍රී ලංකාවේ ත්‍රී රෝද කර්මාන්තයේ නියැළී සිටින සමහර පිරිස් රාත්‍රියට එකතු වෙලා, මත්වතුර සාද පවත්වනවා. හම්බකරපුවා භාගයක් ඉවරයි. ඉතිරියක් තියෙනවද? බොහෝ අයට ආපදාවකට ගන්න ඉතුරු නොවෙන්නෙ ආදායම මදිකම නිසාම නෙමෙයි. මත්වතුරට නාස්ති කරන නිසා.

අපේ රටේ යම්කිසි පිරිසක් ඉන්නවා ආපදාවකට ගන්න ඉතිරියක් කරන්න කොහොමටත් බැරි අය. ඒ අය හැරුණහම අනෙක් අයට ඉතිරියක් කරන්න බැරිකම නෙමෙයි හේතුව මත්වතුරට වියදම් කිරීමයි.

රෑට මත්වතුර බොන අය සමඟ තමයි අප උදේට බස් රථවල යන්නේ අප යන්නේ ඒ මත් රියැදුරන් වාහන ගෙනි යන පාරේ. ඒ වෙලාවට මත් වතුර බීල නොහිටියත් මත් වතුරේ ආනිසංසවලට අපිට මුහුණ දෙන්න වෙනවා. පාරේ ඇයි මේ තරම් අනතුරු සිදුවෙන්නේ.

බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ මත් වතුර බීමේ ආදීනව දේශනා කළා. ඒ අතර වස්තුව විනාශවීම, කලකෝලාහලවලට යාම, රෝග ආබාධ හට ගැනීම, අපකීර්තියට පත්වීම, ලජ්ජා නැතිවීම, නුවණ දුර්වලවීම යන කරුණු අඩංගු වනවා.

එසේම පංචශීලයේ පස්වන ශික්ෂාපදයෙන් දැක්වෙන්නේත් මදයට හා ප්‍රමාදයට හේතු වන මත්වතුර බීමෙන් වැළකීම යන්නයි. එසේම නොකළ යුතු වෙළෙඳාම් අතර ද මත්ද්‍රව්‍ය වෙළෙඳාම දැක්වීමෙන් බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව දක්වන ලද ආකල්පය ඉතා පැහැදිලියි.

අප බොහෝ දෙනෙක් අවධානය යොමු නොකළ ද ජීව විද්‍යාත්මකව කල්පනා කළ යුතු කරුණක් තිබෙනවා. මත්වතුර බොන පියවරුන්ට දාව උපදින දරුවන්ගේ සිරුරේත් මත්ද්‍රව්‍ය ජාන තිබෙන බව මේ වන විට සොයා ගෙන තිබෙනවා. ඒක අපටත් පැහැදිලියි. අද දරුවන් ගැන විමසිලිමත් ව බලන්න. ඉස්සර නම් තරුණයෙක් ප්‍රථම වතාවට මත්වතුර බොන අවස්ථාවේ දී වමනය කරනවා. අද ඔවුන්ගේ ජානවල ඒ මත්ද්‍රව්‍ය තිබෙන නිසා එවැන්නක් දකින්න නැහැ. ජාන මඟින් ඒ හුරුව ඇති වෙලා. මේ දරුවන් ද අනාගතය බාර ගන්නෙ. පැයක් පෝලිමේ ඉන්න බැහැ. නුවණ දුර්වලයි. එහෙම වෙන්නේ නැද්ද විෂමත් වතුර සිරුරට අහිතකර මත් වතුර බොන අයගේ දරුවන්ට.

බුදුරජාණන් වහන්සේ තනතුරු පිරිනැමුවේ සුදුසු පුද්ගලයින් දෙස බලමින්. ඒ අනුව මම ඉල්ලා සිටිනවා මත් වතුර බොන අයට කිසිදු තනතුරක් නොදෙන ලෙස. එවන් අය කොහොමද පියවි සිහියෙන් තීන්දු තීරණ ගන්නේ.

ගුවන්තොටුපොළේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණවල තිබෙනවා ඇතැම් මත් වතුර බෝතලක් ඇමරිකන් ඩොලර් 300කටත් වැඩියි. ඒ කියන්නෙ රුපියල් 50000ත් ඉක්මවා යනවා. ටිකක් හිතල බලන්න ඒ රුපියල් 50000ක මුදල අසරණ පුද්ගලයින් 50කට රුපියල් 1000 බැගින් දෙන්න තිබුණා. අඩුම ගානෙ පිනක් හරි සිදු වෙනවා. මේ කරන්නේ රුපියල් 50000ක් දීල ආයුෂ කෙටි කර ගන්නවා.

ඉස්සර අප දන්නා සහෝදරයෙක් බෙහෙත් කොළ ඔතාගෙන සුරුට්ටුවක් මෙන් පානය කළාට පියා පොල්කටුමාලයක් බෙල්ලෙ දාලා ගම වටේ යැව්වා. ඒකෙන් අපේ සමාජය රැකුණා.

අද තත්ත්වය මුළුමනින් ම වෙනස් වෙලා තියෙන්නෙ. මේ මත් රකුසා සමාජයෙන් ඉවත් කරන්න විහාරස්ථානයෙන් ම පියවර ගත යුතු වෙනවා. ඒ සඳහා අපේ ස්වාමීන් වහන්සේට විශාල කාර්යයක් තිබෙනවා. එසේ නොකළහොත් ‘සිංහල බෞද්ධයා‘ යන්න අපට බෝඩ් ලෑල්ලකට පමණක් සීමා කර ගැනීමට සිදු වෙනවා.

මඳක් සිතන්න. අපේ රටේ කාන්තාවන් කිසි දිනක මත්වතුර බොන තත්ත්වයක් තිබුණද? අද තත්ත්වය ගැන සිතන්න. තරුණ දරුවන් මොන වරදක් කළත් කිසි දිනක විවාහ වී නිවසින් වෙන්ව යන තෙක් මවුපියන් ඉදිරියේ මත් වතුර බීමක් සිදු කෙළේ නැහැ. අද විවාහ උත්සව නැත්නම් වෙනත් සාද වලදී එකම මේසයේ අසුන් ගෙන පිය පුතුන් මත්වතුර බොන තත්ත්වයක් ඇවිත්. මේ විදිහට ඉදිරියේදී මේ බීම කුඩා දරුවන්, පාසල් දැරියන් අතරට නොයන බවට සහතිකයක් දිය හැකිද? පසුගිය සාමාන්‍ය පෙළ විභාගය අවසන් දිනයේ දකුණු පළාතේ සිසු පිරිසක් පාසලට මත් වතුර ගෙනවිත් පානය කිරීමෙන් පසු වූ කෝලාහලයක් නිසා පොලිසියට පවා යන්නට සිදුවූ පුවතක් ලෝකය පුරා වාර්තා වුණා. මත් වතුර පානය පෙර සඳහන් කළාක් මෙන් කෙටි කලකට හෝ නැවතුමක් නොකළොත් අපට ඉදිරියේදී සිංහල බෞද්ධ යන්න ගැන කතා කිරීම ඉතිහාසයට පමණක් සීමා කිරීමට සිදු වේවි.

   පොසොන් අව අටවක පෝය 

  පොසොන් අව අටවක පෝය ජුනි12 සිකුරාදා අපර භාග 10.52 න් අව අටවක ලබා 14 ඉරිදා පූර්ව භාග 00.59 න් ගෙවේ . සෙනසුරාදා සිල්.

මීළඟ පෝය 20 වනදා
සෙනසුරාදා
 

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 13

Full Moonඅමාවක

ජූනි 20

First Quarterපුර අටවක

ජූනි 28

Full Moonපසළොස්වක

ජූලි 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]