[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විහාර මහා දේවිය ගොඩබට මුහුදු මහා විහාරය

විහාර මහා දේවිය ගොඩබට මුහුදු මහා විහාරය

මේ දිනවල බොහෝ මාධ්‍ය ඔස්සේ මෙන් ම බෞද්ධයන් අතරේ කතාබහට ලක්වන බෞද්ධ සිද්ධස්ථානයක් වන්නේ පොතුවිල් මුහුදු මහා විහාරය යි. එහි ඓතිහාසිකත්වය හා වත්මන් තත්ත්වය ගැන බෞද්ධයන් ලෙස අපට වැදගත් වන කරුණු කිහිපයක් ගෙන හැර දැක්වීම වටිනා බව හැඟී යනවා.

මුහුදු මහා විහාරය පිහිටා ඇත්තේ පොතුවිල් නගරයේ සිට ආරුගම්බේ දෙසට කිලෝමීටර් 3ක් පමණ ගොස් වමට හැරී මුහුද දෙසට මීටර් 700ක් පමණ ගමන් කළ විටයි. වසර ගණනාවකට පෙර ප්‍රධාන මාර්ගයෙන් මීටර් 500කටත් අඩු දුර ප්‍රමාණයකින් එහි ළඟා වීමට හැකියාව තිබුණ ද, මේ වන විට එම ගමන් මාර්ගය අන්තවාදීන් විසින් ග්‍රහණය කර ගෙන තිබෙනවා. එහි සුවිසල් මැදුරු තනා ඇති නිසා එහි මාර්ගයක් තිබුණාදැයි සොයා ගැන්මට නොහැකියි.

කැලණිතිස්ස රජුගේ සමයේ මුහුද ගොඩ ගලන්නට පටන් ගත් බව අපේ ඉතිහාසයේ දැක්වෙනවා. ඒ අවස්ථාවේදී පුරෝහිතයන්ගේ උපදෙස වූයේ රූමත් කුමාරියක් මුහුදට බිලි දීමෙන් මුහුද ගොඩ ගැලීම නවත්වා ගත හැකි බව යි. එහෙත් ඒ සඳහා කිසිවකු ඉදිරිපත් නො වූයෙන් රජතුමාගේ දියණිය වන දේවි කුමරිය රට බේරා ගැනීම උදෙසා ඊට ඉදිරිපත් වුණා. ඇය කුඩා යාත්‍රාවක නංවා යැවුවේ මුහුදට බිලි වීම පිණිස යි. එහෙත් ඇය යාත්‍රාව සමඟ පාවී ගොස් කිරින්දට පැමිණි බව අපේ ඉතිහාසයේ දැක්වෙනවා. එතැනදී ඇය ගොඩ බිමට පැමිණි බව සඳහන් වුවත් බොහෝ පුරා විද්‍යා මතය වන්නේ ඇය කිරින්දට පැමිණෙන්නට ඇති නමුත් එතැනදී යාත්‍රාවෙන් ගොඩ නො බැස සිටි බවයි.


බුදු පිළිම වහන්සේ හා බෝධිසත්ත්වවරුන්ගේ පිළිම

එතැනින් පාවී ගොස් පොතුවිල් ආරුගම්බේ වෙරළට සමීප මුහුදු මහා විහාරය පිහිටි ස්ථානයට යාත්‍රාව ගොඩ බට බවයි ඉතිහාස වාර්තාවල දැක්වෙන්නේ.

ඒ අනුව දේවි කුමරිය ගොඩ බසින ලද ස්ථානය මුහුදු මහා විහාරය පිහිටි ස්ථානය ලෙසින් ඉතිහාසඥයන් හඳුනාගෙන තිබෙනවා.

එහි අතීතය එතරම් දුරකට දිව යනවා. කුමරිය යාත්‍රාවකින් මුහුදට ගිය බව අසා ඒ ගැන දුක් වූ රුහුණු රටේ ජනතාව පසුව ඇය කිරින්දට පැමිණ යළිත් මුහුදට ගිය බව දැන නැඟෙනහිර මුහුදින් ඇය පැමිණෙනු ඇතැයි අපේක්ෂාවෙන් සිටි බව ජනප්‍රවාදවල දැක්වෙනවා. ඒ අනුව ඇතැම් මුහුදු කර්මාන්ත කරන්නන් අට්ටාල ගසාගෙන ඇය කුමන අවස්ථාවක මතුවෙයිදෝ යන අදහසින් සිටි ප්‍රදේශය ‘අට්ටාල චේන’ වී පසුව ‘අඩ්ඩාලචේන‘ වූ බවත් කාවන්තිස්ස රජතුමා වරින් වර පැමිණ ‘කෝ.. කුමරිය‘ යැයි ඇසූ ස්ථානය කෝමාරිය යනුවෙන්ද හැඳීන්වුණු බව ජනප්‍රවාදයන්හි දැක්වෙනවා.

මේ ස්ථානයේ ඒ වන විටත් කුඩා විහාරයක් තිබු බැවින් දේවි කුමරිය විහාරමහා දේවිය නමින් හැඳීන්වූ බවයි අපේ වංශකතාවල කියැවෙන්නේ. කාවන්තිස්ස රජු මේ ස්ථානය පුද බිමක් කළ බවත් දැක්වෙනවා. මේ ස්ථානයට බෞද්ධ ඌරුවක් ලබා දී විහාරයක් ස්ථාපිත කර ඇත්තේ මහාදාඨික මහානාග රජතුමා විසින් බවත් දැක්වෙනවා.

පුරාවිද්‍යා ලක්ෂණ සහිත බොහෝ දේ මේ වන විට මුහුදු වැලි යට සැඟව ඇති බවයි අපේ පුරා විද්‍යාඥයන් පවසන්නේ.

මුහුදු මහා විහාරය බෞද්ධ උරුමයක් මෙන්ම ඉතිහාසගත පුරා විද්‍යා ස්ථානයක් බැව් මෙරට පාලනය කළ ඉංග්‍රීසි ජාතිකයින් පවා දැන සිටියා. එහෙත් ඔවුන්ට විරුද්ධව වරින් වර පැන නැඟුණු විරෝධතා නිසා ඒ ගැන සොයා බලන්නට ඔවුන් අවධානය යොමු කෙළේ නැහැ.

කෙසේ වුවත් නිදහස ලැබීමෙන් පසුව මේ ස්ථානය දෙස ශ්‍රී ලංකා රජයේ අවධානය යොමුවුණා. මහාචාර්ය සෙනරත් පරණවිතාන 1950 දශකයේ දි නැඟෙනහිර පිහිටි පුරාවස්තු පිළිබඳ සිදුකළ ගවේෂණයේ දී මුහුදු මහා විහාරය ඇතුළත් භූමි ප්‍රදේශය අක්කර 72 යි රූඩ් 3යි පර්චස් 13ක භූමියක් බව හඳුනා ගත්තා.

පුරාවිද්‍යා රක්ෂිත භූමියක් ලෙස තිබුණ ද 1983 ත්‍රස්තවාදී තර්ජන ඇරැඹීමෙන් පසුව අවධානය යොමු කිරීමට හැකි වුණේ නැහැ. කාලයක් භික්ෂූන් වහන්සේ පවා එම ස්ථානයේ වැඩ නො සිටි අතර, පසු කාලීනව ක්‍රමයෙන් අන්තවාදීන් එම භූමිය ආක්‍රමණය කළා. 1996 වසරේ මෙහි වටිනා පුරාවිද්‍යා භූමිවලින් කොටසක් ජයභූමි ඔප්පු මඟින් ද ජනතාවට බෙදා දෙන්නට කටයුතු කෙළේ අන්තවාදීන් විසින් මෙරට ඉතිහාසය පවා විනාශ කරමින්. එදා ඇරැඹි ඒ විනාශය කෙතෙක්ද කිවහොත් අද වන විට මෙහි භූමි ප්‍රමාණය අක්කර 3කටත් වඩා අඩු ප්‍රමාණයක් දක්වා හැකිළී ගොස් තිබෙනවා.

ත්‍රස්තවාදී තර්ජන මැද මෙහි විහාරාධිපති ව වැඩ සිටි කතරගම සීලරතන හිමියන් මේ භූමිය රැක ගන්නට මහත් වෙහෙසක් ගත්තා. සීලරතන හිමියන් අපවත් වූ පසු 2010 වසරේ සිට විහාරස්ථානයේ වැඩ කටයුතු කරනු ලබන්නේ වරකාපොළ ඉන්දසිරි හිමියන් විසින්. උන් වහන්සේට එල්ල වන අන්තවාදී තර්ජන ගැන අපට මාධ්‍යයෙන් දැන ගන්නට පුළුවන් වුණා.

බුදුරජාණන් වහන්සේගේ හිටි පිළිමයක් හා බෝධිසත්වවරුන්ගේ යැයි සැලකෙන පිළිම දෙකක් සහිත කැටයම් වලින් යුත් ශෛලමය පිළිම ගෙයක් හා ගල් කනු රැසක් අදටත් හොඳීන් ආරක්ෂා වී තිබීම බෞද්ධයන්ගේ වාසනාවක්. මෑත කාලයේ ඉදිකළ දාගැබත් විහාරස්ථානයට නව එළියක් ලබා දී තිබෙන අතර අනුරාධපුර යුගයෙන් පසුභාගයට හා මුල්භාගයට අයත් පිළිම ගෙවල් දෙකක නටබුන් ද කැණිම් වලදී හඳුනා ගන්නට හැකි ව තිබෙනවා. එමෙන්ම මුහුදු තීරයේ වැල්ලෙන් වැසුණු දාගැබ් දෙකක නටඹුන් ද හඳුනාගෙන තිබෙනවා.

අන්තවාදීන්ගේ ග්‍රහණයට හසුවන්නට ගිය තවත් පුදබිමක් බේරා දෙන්නට ජනාධිපතුතිමා හා අගමැතිතුමා විසින් මේ වන විට කටයුතු කරමින් සිටින අතර එහි පූර්ණ ආරක්ෂාව සලසමින් 1965 වසරේ අවසන් වරට සංශෝධිත ලෙසින් පවරා දුන් අක්කර 30ක පමණ භූමි භාගය යළි ලබා දෙන්නට කටයුතු කිරීම නම් බෞද්ධයන්ගේ පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම වාසනාවක් බව කිව යුතුයි.

   පොසොන් පුර අටවක පෝය 

  පොසොන් පුර අටවක පෝය මැයි 29 සිකුරාදා අපර භාග 9.55න් පුර අටවක ලබා 30 සෙනසුරාදා අපර භාග 07.57 න් ගෙවේ . සෙනසුරාදා සිල්.

මීළඟ පෝය 05 වනදා
සිකුරාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 30

Full Moonපසෙලාස්වක

ජූනි 05

Second Quarterඅව අටවක

ජූනි 13

Full Moonඅමාවක

ජූනි 20

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]