[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පඤ්චායුධ ජාතකය

පඤ්චායුධ ජාතකය

මෙවර බුදුසරණ කවරයේ දැක්වෙන්නේ පඤ්චායුධ ජාතක කතාවේ අවස්ථාවකි. එම කතා පුවත සැකෙවින් මෙසේ ය.

බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි දී වීර්යයෙන් පසුබසිනා ලද භික්ෂුවක් අරබයා පෙර නුවණැත්තෝ සුදුසු තැන වීර්යය කළ ආකාරය දක්වමින් අතීත පුවත ගෙන දේශනා කළ සේක. බරණැස් නුවර බඹදත් රජුට දාව උපන් කුමරු පංචායුධ කුමරු නමින් ප්‍රසිද්ධ විය. පියරජතුමාගේ නියමයෙන් ගන්ධාර රට තක්සලා පුර දිසාපාමොක් ඇදුරුතුමන් වෙතින් සිප්සතර උගත්හ. ශිල්ප නිමවා බෝසතාණෝ ආපසු සිය රට යාම සඳහා පංචායුධ සන්නද්ධව වන මඟට පිවිසියේ ය. ඒ දුටු නුවර වැසියෝ දුටු දුටුවන් අල්ලාගෙන කන යකෙක් සිටින බැවින් නොයන්නයි වැළැක් වූහ.

ඒ වදන් ගණනකට නොගත් බෝසතාණෝ සිංහයකු මෙන් වනයට පිවිසි ය හ. බිහිසුණු යක්ෂයා ඉදිරියට එනු දැක විෂ කැවූ හීයෙන් විද මරණයට පත් කරමි’යි කියා හීයක් විද්දහ. ඊතලය යක්ෂයාගේ රෝමවල ඇලී ගියේ ය. එසේ විදින ලද ඊතල පනහම ඇලී ගියේ ය. යක්ෂයා ඊතල සියල්ල ම බිම හෙළීය. ඒ අවස්ථාවේ දී පංචායුධ කුමරු කඩුවෙන් ගැසීය. කඩුව ද ඇලී ගියේ ය. එවිට කුමරා මගේ බලය බලවයි කියා දකුණතින් ගැසීය. එය ද එසේ ම ඇලුණේ ය. වමතින්, දකුණු පයින්, වම් පයින් පහර දුන්නේ ය. සියල්ල ඇලී ගියේ ය. හිසෙන් ද පහර දුන්නේ ය. පස් තැනින් ඇලී ගිය ද නිර්භීතව කතා කරන්නට විය. මට ගොදුරුව සිටිමින් කතා කරන්නේ කුමන හේතුවෙන්දැයි යක්ෂයා ඇසී ය.

එවිට බෝධිසත්වයෝ “තෝ මා කෑවෙහි නම් මාගේ උදරයෙහි වජ්‍රායුධයක් ඇත. එය ළය පෙදෙසෙන් ඇනී පිට පැත්තෙන් නැගෙයි. ඒ කල් හී අප දෙදෙනා ම නැසෙන්නේ ය. ඒ නිසා බිය නොවෙමි’යි කීහ. ඒ වදනින් බියට පත් යක්ෂයා “ඔබ පුරුෂ සිංහයෙකි” ඔබගේ මස් නොකමි. පලා යව යැයි හැර දැමීය.

පෙර අකුසලයෙන් යක්ෂයෙක් ව ඉපිද නැවතත් අකුසල් කිරීමෙන් අඳුරෙන් අඳුරට යන්නේ යැයි ද, ප්‍රාණඝාතයෙන් මන්දායුෂ්කව මියගොස් සතර අපායේ උපත ලබන්නේ යැයි ද බෝසතාණෝ ආදීනව දක්වා යක්ෂයා දමනය කොට සුවසේ සිය රට පැමිණියහ. දැහැමින් රාජ්‍ය පාලනය කරමින් පින්දහම් පුරා ආයු කෙළවර පරලොව ගියහ.

වීර්යය හළ භික්ෂූන් වහන්සේ අරහත් වූහ. ඒ සමයෙහි යක්ෂයා නම් මෙකල අංගුලිමාල තෙරණුවෝය. පංචායුධ කුමාරයා නම් තමන් වහන්සේ ම යැයි ද භාග්‍යවතුන් වහන්සේ සිවුසස් දහම් දෙසූ සේක.

 වෙසක් අමාවක පෝය 

  වෙසක් අමාවක පෝය මැයි 21 බ්‍රහස්පතින්දා අපර භාග 09.36 න් අමාවක ලබා 22 සිකුරාදා අපර භාග 11.08 න් ගෙවේ. සිකුරාදා සිල්
 

මීළඟ පෝය 30 වනදා
සෙනසුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 22

First Quarterපුර අටවක

මැයි 30

Full Moonපසෙලාස්වක

ජූනි 05

Second Quarterඅව අටවක

ජූනි 13

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]