[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වෙසක් අමාවක 2020.05.22

නායකත්වයේ ආදර්ශය

බෞද්ධ සමාජය පන්සිල් සුරකින සමාජයකි. පන්සිල් ගරු කරන සමාජයකි. එය අර්ථවත් කරන්නේ මානුෂීය ගුණ ධර්මයන්හි විකාශනය යි. ඒ මානුෂීය ගුණ සුවඳ, සිල් සුවඳ අපගේ චර්යාවන්ගේ සේ ම ආකල්පයන්හිද විය යුතු ය. එසේ නො වන සමාජය අදැහැමි ය.

ඒ අනුව තමන් සිටින්නේ කොතැන ද යන්න තම තමන් ම අවබෝධ කරගත යුතු ය. තමන්ගේ සිතුම් පැතුම්, හැසිරීම් ඒ සමාජය තුළ විද්‍යමාන වන බව අවබෝධ කරගත යුතු ය.

මෙහිදී නායකත්වයට වෙසෙස් වටිනාකමක් හිමිවේ. ජීවිතයේ විවිධ අවස්ථාවන් හි අප සැම විවිධාකාරයට නායකත්වය දරමු. පවුලක නම්, එහි පියා මවට හා දරුවන්ට නායකයා ය. පියා නො මැතිනම් මව නායකත්වය දරන්නී ය. වැඩිමහල් සහෝදර සහෝදරියන් විසින් බාල සහෝදර සහෝදරියන්ට නායකත්වය දෙනු ලබන්නේ ය. කුඩා සමාජ කණ්ඩායම් තුළ, පන්සල, පාසල, රැකියා ආයතනය, ගොවිබිම, ආදී ස්ථානවල සේ ම බස්රිය දුම්රිය තුළ පවා නායකත්වයක් දැකිය හැකි ය.

කකුළු මව ඇදට යමින් සිය කකුළු දරුවන්ට කෙළින් යන්නට උගන්වනවා වැනි යැයි කතාවක් අපේ ජන වහරේ එයි. කකුළු අම්මා මොන තරම් උත්සාහ කළ ද, ගමන් විලාසය වෙනස් නො කළේ නම් කිසි දිනෙකත් දරුවන්ට කෙළින් ඇවිදින්නට නොහැකි වනු ඇත. මේ සරල කියමන තුළ ම අපට බොහෝ දේ උගත හැකි ය. කුඩා දරුවෙක් ලෙස මෙලොව බිහි වූ දා පටන් ආරම්භ කරන ජීවිතය තුළ කවර හෝ නායකත්වයක් දරන්නේ නම්, තමන් ආදර්ශවත් විය යුතුම ය. බෝසත් චරිතය පුරාම, අපගේ සම්බුදු පියාණන් වහන්සේගේ චරිතය පුරාම ඇත්තේ ආදර්ශය යි. උන්වහන්සේ වදාළ ශ්‍රී සදහම් මග යන බොහෝ බෞද්ධයන් ඒ ආදර්ශය සිය ජීවිතාදර්ශය බවට පත්කර නො ගන්නේ ඇයි ද යන්න ගැටලුවකි.

එය වහ වහාම විසඳා ගැනීම කාලීන අවශ්‍යතාවයකි. ඒ මානුෂීය ගුණධර්ම පිරිහෙමින් යන ස්වභාවයක් සමාජය තුළ විද්‍යාමාන වන නිසා ය. ආහාරයේ සිට, ඇඳුමේ පැළඳුමේ සිට උඩු යටිකුරු වූ ස්වභාවයක් පෙනෙන්නට තිබුණි. මේවා බෞද්ධ ආචාර ධර්මවලට පටහැනි ය.

කොරෝනා වසංගත උවදුරත් සමඟ බොහෝ දෙනෙක් මේ තත්ත්වයෙන් මිදුණ බව පෙනුණ ද ඇතැමෙක් තවමත් පාඩම් ඉගෙනගෙන ඇතිබවක් නො පෙනේ. ඊට හොඳම උදාහරණ මේ වසංගත සමයේ ම අපට දැකගත හැකි වුණි. තැනෙක ඇඳිරි නීතිය කඩ කරන්නන් ය. තවත් තැනෙක මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ය. මත්වතුර අලෙවිසල් අසල පෝළිම් ගැසුණු පිරිස් හැසිරුණු ආකාරය, කළ ප්‍රකාශ ජනමාධ්‍ය ඔස්සේ දැක ගන්නට ලැබුණි. මොවුන්ගෙන් බොහෝ දෙනෙක් පියවරු ය. පවුලට නායකත්වය දෙන්නෝ ය. ඉඳින් පියා මත් වූ කල දරුවන්ට යන කල කියා කුමට ද?

කවර නායකත්වයකට වුවද සිහි කල්පනාව අත්‍යවශ්‍ය ය. දුර දක්නා නුවණ, ප්‍රශ්න ගැටලු විසඳා ගැනීමට හා ඉදිරි අභියෝගයන්ට මුහුණ දීමට හැකිවීම, ප්‍රතිපත්තිගරුක බව අත්‍යවශ්‍ය ය. වරදෙහි දැඩි බව සේ ම මෘදු පැවතුම් ඇත්තෙක් විය යුතු ය. අවංක විය යුතු ය. සෘජු විය යුතු ය. වරද නිවැරද හඳුනා ගත හැකි විය යුතු ය. සියලු දෙනාට මෛත්‍රී සහගත විය යුතු ය.

අද අප ජාතියක් ලෙස මේ රටට සමාජයට අපගේ යුතුකම් ඉටු කළ යුතු ව තිබේ. අපට ආදර්ශවත් නායකත්වයක් ලැබී තිබේ. ඒ අනුව රටට යහපත් අනාගතයක පෙර ලකුණු තිබේ. ලෝකයක් දණ ගැස් වූ වසංගතයක් ඉදිරියේ අපිට නැඟී සිටින්නට හැකිව තිබීම ම උදාහරණයකි. ඒ නායකත්වය අනුව යමින් පුරවැසියන් ලෙස අපේ යුතුකම් ඉටු කරනවා නම්, යහපත්, අනලස් මිනිසෙක් ලෙස වගකීම් දරනවා නම් ජාතියක් ලෙස නැඟී සිටීම අසීරු නොවේ. ඒ සඳහා අවශ්‍ය අධිෂ්ඨානය හා වීර්යය යි.

 වෙසක් අමාවක පෝය 

  වෙසක් අමාවක පෝය මැයි 21 බ්‍රහස්පතින්දා අපර භාග 09.36 න් අමාවක ලබා 22 සිකුරාදා අපර භාග 11.08 න් ගෙවේ. සිකුරාදා සිල්
 

මීළඟ පෝය 30 වනදා
සෙනසුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 22

First Quarterපුර අටවක

මැයි 30

Full Moonපසෙලාස්වක

ජූනි 05

Second Quarterඅව අටවක

ජූනි 13


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]