[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බිහිසුණු අපාය : මහ මඟ කුණු දැමුවොත් උපත ලබන්නේ කොහේ ද?

බිහිසුණු අපාය :

මහ මඟ කුණු දැමුවොත් උපත ලබන්නේ කොහේ ද?

භූතග්ගී නරකයෙහි උපත ලබන්නේ මනුලොව සිටිය දී නුසුදුසු ස්ථානවල මළ මූත්‍ර කළ අය යි. එනම් පිරිසුදු ස්ථාන අපිරිසුදු කිරීම යන තේරුම යි. මංමාවත්වල, උද්‍යානවල, විශේෂයෙන් තුනුරුවන් වැඩ සිටින ස්ථාන, ජනතාව එක්රැස්වන තැන් ආදිය යි.

අසූහයවන නරකය වන භූතග්ගී නරකයේ උපත ලැබූ විට විඳින්නට නො හැකි දුක් විඳින්නට සිදු වෙයි. තාඩන පීඩන, ගුටි බැට, අතපය කපා දැමීම් , මළ මූත්‍ර සිරුරට වීසි කිරීම ආදී දරුණු දුක් දෙයි. එනිසා පින්වතුනි, මළ පහ කළ යුතු තැන පමණක් එය කළ යුතු අතර, වෙන කිසිම තැනක මළ පහ නොකළ යුතු යි. එවැනි අයට මනුලොව උපත ලබන්න, දෙව් ලොව යන්න පුළුවන්.

තම නිවස වුව ද හොඳින් පිරිසුදු ව තබා ගන්න. සෑම තැනක ම කැළි කසළ නොදමන්න, මළ මූත්‍ර නොකරන්න. තම නිවසත් බුදුන් වැඩ සිටින තැනක්. එලෙස පිවිතුරු ව සිටින අයට මරණින් මතු සුගතිගාමී විය හැකි යි. කිසිවකින් අඩු පාඩු, කරදර නොමැති ව , ඕනෑම සම්පතක් ලැබිය හැකි යි.

අසූහත්වන නරකය උපට්ටිතග්ගී නරකය යි. මනු ලොව සිටිය දී මහා සංඝයාට වෙන් කළ දේ තමන් ප්‍රථමයෙන් අනුභව කළ අය මෙහි උපදිනවා. බලන්න කෙතරම් භයානක ද? දානයක් දෙන්න පෙර තුනුරුවන්ට යි මේ පූජා කරන්නේ යනුවෙන් සිතාගෙන වෙන් කරනවා. වෙන් කළ කොටසින් මුලින් ම තමන් අනුභව කළොත් එය විශාල පාප කර්මයක්. හොඳින් මතක තබා ගන්න, තුනුරුවන් වෙනුවෙන් යමක් පූජා කරන්න සූදානම් කළා නම්, පූජාව අවසන් වන තුරු එයට අත නොගසන්න. උපට්ටිතග්ගී නරකයට වැටුණොත් යම පල්ලන් ඇදගෙන ගොස්, ගින්දර ම කවනවා. ගිනි ජාලාවන් මධ්‍යයේ ම සිටින්නට වෙනවා. යකඩ මුගුරුවලින් තලා පෙළනවා. ගිනි බෝල ගිල්ලවනවා. ඒ නිසා තුනුරුවන්ට වෙන් කළ දේ මුලින් ම අනුභව කරන්න එපා. නිවසේ සලාක දානය සකසන විටත් එලෙසම යි. පන්සලට පූජාව තබා ඕනෑම කෙනෙක් අනුභව කළ ද එයට ප්‍රථම ව අනුභව නොකරන්න. අපායට බියෙන් ඇතැමුන් ලුණු ඇඹුල්වත් නොබලා ව්‍යංජන පිසිනවා. මේ අපාය එතරම් ම භයානක යි. සැවොම පාපයට අසු නොවී තුනුරුවන්ට යමක් පූජා කළ පසුව අනුභව කරන්න පුරුදු වෙන්න.

පුරාණ කාලයේ දානයේ බඩු භාණ්ඩ වෙනම කාමරයක තබා තිබෙනවා. නිවසේ සුපුරුදු ලෙස ආහාර පිසින දේ වෙන ම තබනවා. මේ පුරාතන ක්‍රමය අනුගමනය කිරීම ඉතා හොඳ දෙයක්. එවිට මනුස්ස සම්පත්, දිව්‍ය සම්පත් ලැබෙන අතර, ප්‍රණීත ආහාර පාන ආදී සකල සම්පත් ලැබෙනවා. එය පිනේ විපාකය යි.

අසූඅටවන අපාය ගූදගරීසග්ගී නරකය යි. මෙහි උපත ලබන්නේ මනු ලොව සිටිය දී මං මාවත්වල, වතුපිටිවල, මල මූත්‍ර කළ අය යි. ඉඳුල් වුව ද පිරිසුදු තැනකට නොදමන්න. මහ මඟ කුණු දමා යන අය ද මෙවැනි අපායන්හි උපත ලබනවා. අද බොහෝ දෙනා තමන්ගේ නිවසේ පරිහරණය කරන කුණු ආදිය ද මහ මඟ අයිනට දමනවා. අනුන්ගේ වතුපිටිවලට දමනවා. ඒ සෑම දෙනාම උපත ලබන්නේ ගූදගරීසග්ගී නරකයේ ම යි. ඒ නිසා අපිරිසුදු දේ අපිරිසුදු තැනට ම යොමු කළ යුතු යි. එසේනම්, මංමාවත් පිරිසුදු කිරීම, අපිරිසුදු දේ ඉවත් කිරීම, අපිරිසුදු දේ නොදැමීම, වෙහෙර විහාර පිරිසුදු කිරීම ආදිය සිදු කළ යුතු යි. මේ කාලයේ අපිරිසුදු ස්ථාන පිවිතුරු කරනවා, මංමාවත් පිරිසුදු කරනවා, එයින් තමන්ට විශාල ශක්තියක් මෙන්ම මනුස්ස සම්පත්, දිව්‍ය සම්පත්, රාජ සම්පත් , නිවන් සම්පත් ආදිය ලැබෙනවා.

අසූනව වන නරකය විපරිතග්ගී නරකය යි. මෙහි උපත ලබන්නේ කාන්තාවන් ගැන ආසාවෙන් තම සිතැඟි ඉටුකරගත් අය යි. කාම මිත්‍යාචාර ශික්ෂා පදය ආරක්ෂා කළේ නැහැ. තමන්ගේ බ්‍රහ්ම චර්යාව රැක නොගෙන පරදාර සේවනයේ යෙදුණු අය උපත ලබන්නේ විපරිතග්ගී නරකයේ යි. මෙහි ඇති දඬුවම වන්නේ යකඩ අඬු මඟින් පිළිස්සීම යි. ඇටකටු කඩා බිඳ දමනවා, දිය හැකි දෙතිස් දඬුවම් ම දෙනවා. නිදහසේ කාන්තාවට යන්න එන්න පුළුවන් වාතාවරණය තිබිය යුතු යි. කාන්තාව දූෂණයට ලක් කළොත්, ගෙවා නිමකළ නොහැකි දරුණු පාපයක්. මෙලොව සිර ගත වී දරුණු දුක් ලැබී මරණින් මතු ද විපරිතග්ගී නරකයේ උපත ලබනවා. මෙහි අවුරුදු සත සහශ්‍ර ගණනාවක් මහා දුක් කන්දරාවක් මොහොතක් පාසා ම ලැබෙනවා.

මේ ගැන සිතා මෙවැනි පාප කර්මවල නොයෙදෙන්න. කවුරුත් කාමේසුමිච්ඡාචාරා සික්ෂා පදය රැක ගන්න. අනුන්ට මොනම කරදරයක්, පීඩාවක් නොවෙන්න වෙහෙස මහන්සි ගන්න. සතෙකුටවත් කරදර පීඩා නොවෙන්න ජීවත් වන්න පුුරුදු වන්න.

අපාය ගැන සිතන විටත් බය සිතෙනවා. තමා අතින් මෙවැනි දේ සිදු වී ඇති බවට බිය වෙනවා. ඒ නිසා අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මගේ සිතෙන්, කයෙන් , වචනයෙන් වරදක් සිදු වුණේ නම්, බුද්ධ, ආදී රත්නත්‍රයට තුනුරුවන්ට, ගම් රටවැසි ජනතාවට , සිල්වත් ගුණවත් උතුමන්ට වරදක් සිදු වුණේ නම් මට සමාව ලැබේවා යනුවෙන් තුන්වරක් සමාව ගන්න. අද පටන් පංචශීලය රැක ගන්න. තුනුරුවන් වඳින් පුදන්න, මව් පියන්ට සලකන්න. කරුණා මෛත්‍රී ගුණ දියුණුවෙන් වචනය රැකගෙන සිටීම සුගතියට නිවනට බාධාවක් නැහැ. හොඳ ජීවිතයක් ගත කර බිහිසුණු සංසාර දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා.

ලොවුතුරා බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් දැක අපායට යන හේතු සාධක පහදා දුන්නා. අපායෙන් වැළකී මනු ලොව, දෙව් ලොව, බඹ ලොව යන්න, දාන , ශීල, භාවනා පින්කම් කරන්න යැයි පෙන්වා දුන්නා. ශීල, සමාධි, ප්‍රඥා ගුණ දියුණු කරන්නැ’යි වදාළා, එයින් තමන්ට යහපතක් උදා වෙනවා. හොඳ ජීවිත පෙළක් ගත කර සංසාර සාගරයෙන් නිදහස් විය හැකි යි. එසේනම් සම්මා සම්බුද්ධ ශාසනයත් රැකගෙන අරි අටගි මග ගමන් කර, සෝවාන්, සකදාගාමී, අනාගාමී , අර්හත් මාර්ග ඵල, නිවන ආදී නව ලොවුතුරා ධර්මය අවබෝධයෙන් නිවනින් සැනසීමට හේතු වන සියලු ම පින් දහම් කර ගන්න. එක පින්කමක්වත් අත් නොහරින්න. එවිට අපායේ දොරගුළු වැසී සුගතියේ දොරගුළු විවර ව නිවනට පත් වෙනවා.

මැදින් පුර පසළොස්වක පෝය 

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 09 වන දා සඳුදා පූර්ව භාග 03.04 ට ලබයි. එම දා අපරභාග 11.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 09 වන දා සඳුදා ය.

මීළඟ පෝය මාර්තු 16 වන දා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16

Full Moonඅමාවක

මාර්තු 23

First Quarterපුර අටවක

අප්‍රේල් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]