[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඉන්දුනීසියාවේ බෝරෝ බුදූර් විහාරස්ථානය

ඉන්දුනීසියාවේ බෝරෝ බුදූර් විහාරස්ථානය

ලොව විශාලතම ස්තූපය සහිත බෞද්ධ සිද්ධස්ථානය පිහිටා තිබෙන්නේ බෞද්ධයන් ඉතාම අතළොස්සක් ජීවත් වන ඉන්දුනීසියාවේය.


ඉහළ පීඨිකාවන්හි ඉදිකර ඇති කුඩා ස්තූප

ඒ ‘බෝරෝ බුදූර්’ විහාරස්ථානයි. ඉන්දුනීසියාවේ අගනුවර වන ජකාර්තා නගරයේ සිට කිලෝමීටර් 600කටත් අධික දුරකින් පිහිටි බෝරෝ බුදූර් එරට මධ්‍යම ප්‍රදේශයට වන්නට ඇති යෝග්‍යාකර්තා නගරයෙන් ද කිලෝමීටර් 48ක් පමණ දුරකින් පිහිටා ඇත.

ලෝකයේ බොහෝ ආගමික විද්වත්හු බෝරෝ බුදූර් හඳුන්වන්නේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම බෞද්ධ ගොඩනැගිල්ල වශයෙනි. එය ‘ලෝක උරුමයක්’ ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ‘යුනෙස්කෝ’ ආයතනය විසින් ප්‍රකාශ කරන ලද්දේ ද ඒ නිසා ම ය.

බෝරෝ බුදූර් බෞද්ධ සිද්ධස්ථානය බිහි වූයේ කෙසේ ද? එය ඉතාම ඈත අතීතය දක්වා ශත වර්ෂ ගණනාවක් අතීතයට දිව යන්නකි.

ඉන්දුනීසියාව අතීතයේ නොයෙක් පාලකයන් යටතේ පැවතියේ ය.එක්කලෙක එය ශ්‍රී විජයන් අධිරාජ්‍යයට අයත් ව තිබුණේ ය. මේ අධිරාජ්‍ය පාලකයෝ හින්දු බෞද්ධ ආගම් දෙකට ම අනුග්‍රහය දැක්වූහ.

ජනප්‍රවාදයට අනුව, ශ්‍රී විජයන් අධිරාජ්‍යය ඉන්දුනීසියාව යා කොට ගන්නා ලද්දේ ඉන්දීය නෞකා හමුදාවක් විසිනි. ඒ නෞකා ඉන්දුනීසියාව බලා යාත්‍රා කරන ලද්දේ ශ්‍රී ලංකාවේ වරායවල සිට බව ද තොරතුරු හෙළිව ඇත.

ඒ අතරම ශෛලේන්ද්‍ර රජ පෙළපතට අයත් පාලකයෝ බලයෙහි සිටියහ. බෝරෝ බුදූර් සිද්ධස්ථානය ගොඩනංවන ලද්දේ එම පෙළපතේ රජෙකු විසින් බව ද වාර්තා වේ. ඒ ක්‍රිස්තු වර්ෂ 825 තරම් අතීතයේ දී ය. ඒ අනුව මේ මහා සිද්ධස්ථානයට වයස අවුරුදු 1200 ක් පමණ වන්නේ ය.

බෝරෝ බුදූර් සිද්ධස්ථානය සහමුලින් ම තනා ඇත්තේ ‘ඇන්ඩිසිට්’ නම් පාෂාණ විශේෂයකිනි. අපේ රටේ අතීත සිද්ධස්ථාන ඉදිකර ඇති පාෂාණ විශේෂයන්ට සමානත්වයක් උසුලන මේ පාෂාණ වර්ණයෙන් තරමක් වෙනස් ස්වභාවයක් උසුලයි. මේ පාෂාණ, අසල ගිනිකඳු පිපිරීම් නිසා ලෝදිය හා මිශ්‍ර වී ඝනවීමෙන් තැනුණු පාෂාණ විශේෂයක් බවද පුරා විද්‍යාඥයෝ විශ්වාස කරති.


අලංකාර කැටයමක්

බෝරෝ බුදූර් තැනීම සඳහා මේ වර්ගයේ ගල් ලක්ෂ ගණනාවක් භාවිත කර ඇත. ශෛලමය කලාවේ සුවිශේෂී ලක්ෂණයන් සියල්ලම මෙන් එහි තිබෙන්නේ ය. එක් එක් ශෛලමයන් එකිනෙක හා සමඟ බද්ධ කර ඇත්තේ කිසිදු බදාම හෝ වෙනත් ඇලවෙන සුළු දෙයකින් නොවේ. ගල් දෙකක් එකිනෙක හා පුරුද්දා තිබෙන්නේ ‘කත්තුමල්ලිය’ ක්‍රමවේදයටයි. එක ගලක සිදුරට, අනික් ගලේ නෙරාගිය කොටසට වද්දවා ඇත.

බෝරෝ බුදූර් සිද්ධස්ථානයට යන බෞද්ධ වන්දනාකරුවන් මෙන් ම, සංචාරකයන් මහල් 8 කින් යුත් බෝරෝ බුදූර් විහාරස්ථානය වන්දනා කරති. නැත්නම් නරඹති. ඒ ගමන ද ක්‍රමවත් ය. පහළම මාලයේ එක් වටයක් ගොස් ඒමට රුවන්වැලි සෑයේ වට දෙකක් ගමන් කිරීමට ගත වන කාලය වැය වේ. ක්‍රමයෙන් ඉහළට යත්ම වට ප්‍රමාණය අඩු වන සේ මේ මහල් සකස් කර ඇත.

පළමු මහල ‘කාම ධාතු’ මහල නමින් හඳුන්වයි. ඒ කාමලෝකය හා සමාන බවට කරුණු පෙන්වන එහි ජනතාවගේ ලෞකික ක්‍රියාදාමය පෙන්නුම් කෙරේ. ‘කාමධාතු තලය’ ඉක්මවා තවත් ඉහළට නඟින බැතිමතුන්ට හමුවන්නේ ‘රූපධාතු’ තලය යි.

පළමුවැනි පීඨිකාවේ බොහෝ තන්හි බුදුරජාණන් වහන්සේ සම්බන්ධ විවිධ අවස්ථාවන් නිරූපණය කර ඇත. දෙවන පීඨිකාවේ කාන්තාවන්ට මුල් තැනක් ලබා දී ඇති බවක් පෙන්නුම් කෙරේ. මේ ලෙසින් තුන්වන, සිව්වන පීඨිකාවන්හි ශෛලමය වශයෙන් නෙළන ලද සිතුවම් දහස් ගණනකි.

ඒ අතර පුන්කළස් මෙන්ම, විවිධ බෞද්ධ සිතුවම් ද වේ.

මුළු ලෝකයේ ම ඉතා විශාල ප්‍රමාණයක් ගල්කැටයම් එකම ස්ථානයක තිබෙන්නේ බෝරෝ බුදූර් සිද්ධස්ථානයේ ය. සයවන හා සත්වන පීඨිකාවන් වෙන්ව ඇත්තේ කුඩා ස්තූපයන්ගෙන් වට වූ රටාවන්ගෙන් යුත් පීඨිකා ලෙසිනි. ඉහළම තලය තනි ස්තූපයකි.

මේ ස්තූප තනා තිබෙන්නේ ඒවා ඇතුළු පැත්තේ තැන්පත්කොට තිබෙන බුද්ධ රූප එළියට පෙනෙන ආකාරයෙනි. ඉහළින්ම නිරූපණය වන්නේ ‘අරූප ධාතු’ තලය යි. එය මුදුණේ ගලින් කළ ස්තූපයක් වෙයි. එය ඝන ගලින් කළ නිර්මාණයකි. එහි ඇතුළත තිබෙන දේ දැකිය නොහැකියි. බිම් මාලයේ සිට ඉහළම මාලයට යන විට ඒ පූජනීය ගමන ලෞකික තත්ත්වයේ සිට ලෝකෝත්තර තත්ත්වය දක්වා සංචාරයේ යෙදීමක් වැනි ය. මෙවැනි වන්දනා ගමනක්, ලෝකයේ වෙන අන් කිසි බෞද්ධ සිද්ධස්ථානයක ලද හැකි නොවන්නේ ය. දෙවන පීඨිකාවේ සිට සියලුම පීඨිකාවන්හි බුදු පිළිම දහස් ගණනක් දක්නට ඇත.

ඉහළින්ම පිහිටි පීඨිකා තුනෙහි කුඩා චෛත්‍ය සියයක් පමණ දක්නට ඇත. ඒවා එකිනෙකට සමාන දුරින් ස්ථාපිත කර ඇති අතර, ඒවා තුළ බුදු පිළිම ස්ථාපිත කර තිබේ. විවර තුළින් ඒවා නැරැඹීමට හැකි ය.බෝරෝ බුදූර් නිර්මාණය කිරීම සම්බන්ධ ව අතීත කතාවක් ද වෙයි. ඒ කතාවට අනුව මේ මහා සිද්ධස්ථානය සැලසුම් කරන ලද්දේ, ගෘහ සහ සිද්ධස්ථාන නිර්මාණශීලි ගුණධර්ම නම් විද්‍යාඥයා විසිනි.

බෝරෝ බුදූර් සිද්ධස්ථානයට නුදුරු ව පර්වතයක් වෙයි. එහි එක් විශාල ගල්කුළක් පෙනෙන්නේ උඩ බලාගෙන සිටින මහා යෝධයෙකුගේ මුහුණ මෙනි. ජනප්‍රවාදයට අනුව, ඒ බෝරෝ බුදූර් සිද්ධස්ථානය තැනූ ගුණධර්මගේ රූපය යි. තමා විසින් කරන ලද මහා නිර්මාණය මරණින් පසුවත් බලා සිටිය හැකිවනු පිණිස ඔහු ගල් කුළක් ව උපන්නේ යැයි ද, මේ ගල් රුවේ දැක්වෙන්නේ ඒ ගුණධර්ම නම් විද්‍යාඥයා යැයි ද ඔහු එසේ වැතිර සිටගෙන, සදාකල්හි ම ‘බෝරෝ බුදූර්’ සිද්ධස්ථානය රැක ගන්නේ යැයි ද, ජන ප්‍රවාදයෙන් කියවෙයි.

බෝරෝ බුදූර් සිද්ධස්ථානය වටා පර්වත පේළි කිහිපයකි. ‘මෙරපි‘ ගිනිකන්ද ඉන් එකකි. ඒ ගිනි කන්ද වරින් වර පුපුරා යන්නේ ය. අවසන් වරට එය 2018 වසරේ පුපුරා ගියේ ය. මේ ගිනි කඳු ව්‍යසනය නිසා බෝරෝ බුදූර් වරින්වර ගිනිකඳු අළුවලින් වැසී යයි. එහෙත් ඉන්දුනීසියාවේ බෞද්ධයන් කාලාන්තරයක් තිස්සේ මේ බෞද්ධ සිද්ධස්ථානය රැක ගත්හ. එසේ වුව ද බෞද්ධයන්ට කලකට පසු එම ප්‍රදේශයෙන් ඉවත් වන්නට සිදුවීමත් සමඟ එය ගිනිකඳු අළුවලින් සහ මහ ඝන වනයෙන් වැසී ගියේ ය.

පරිහානියට පත් වූ බෝරෝ බුදූර් සිද්ධස්ථානයේ වටිනාකම දැනගත් බ්‍රිතාන්‍ය පාලකයෝ ඔවුන්ගේ පාලන සමයේ දී එය ප්‍රතිසංස්කරණය කරන ලදී.

ඔවුන්ගේ මේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙන්ම ඉන්දුනීසියාවේ බෞද්ධ උරුමය ගැන අවධානය යොමු කළ එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ සංවිධානය ඉන්දුනීසියා රජයේත් සහයෝගයෙන් එය පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරන ලදී. ඒ 1975 වසරේදී ය.

ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙන් පසුව බෝරෝ බුදූර් සිද්ධස්ථානය ‘ජගත් සංස්කෘතික උරුමයක්’ වශයෙන් යුනෙස්කෝ ආයතනය විසින් ප්‍රකාශ කරන ලද්දේ 1991 දී ය.

අද වන විට බෞද්ධයන් කිසිවකු නොමැති බෝරෝ බුදූර් බෞද්ධ විහාරස්ථානය ඉන්දුනීසියාවේ ආදායම් උපදවන ස්ථානයක් පමණක් බවට පත්ව ඇත්තේ ය. එම නිසා බෝරෝ බුදූර් යනු මේ වන විට ඉන්දුනීසියාවේ තවත් එක් සංචාරක ස්ථානයක් පමණි.

විදේශිකයකු බෝරෝ බුදූර් නැරැඹීමට ඉන්දුනීසියානු රුපියා 337500.00 ක මුදලක් (ඇමරිකන් ඩොලර් 25 ක්) ගෙවිය යුතු ය. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 4600.00 ක් පමණ වේ.

උදෑසන 5.00 ට පමණ ගොස් හිරු පායන අවස්ථාවේ බෝරෝ බුදූර් නැරැඹීමට ඉන්දුනීසියානු රුපියා 500000.00 ක මුදලක් ගෙවා විශේෂ ප්‍රවේශ පත්‍රයක් ලබා ගත යුතු ය.

සාමාන්‍යයෙන් දිනකට බෝරෝ බුදූර් නැරැඹීමට එන පිරිස දස දහස ඉක්මවනු ඇත. එම නිසා ඉන්දුනීසියානුවන් විසින් බෝරෝ බුදූර් රැක ගන්නේ සිද්ධස්ථානයක් වශයෙන් නොවන නිසා යුනෙස්කෝ ලෝක උරුමයක් වන බෝරෝ බුදූර් අන්තර්ජාතික ආගමික ස්ථානයක් ලෙසින් ස්ථාපිත කළ යුතු ය. ඒ සඳහා සියලු බෞද්ධ රටවල් පෙරමුණ ගත යුතු ය. ඒ එය බෞද්ධ උරුමයක් ලෙසින් නම් කර ගැනීමට නොවේ. බෞද්ධ රටවල් මෙන්ම අන්තර්ජාතික බෞද්ධ සංවිධාන මෙන්ම ආයතන ද එක් වී බෝරෝ බුදූර් බෞද්ධ සිද්ධස්ථානයට හිමි ගෞරවය දැක්වීමට අවශ්‍ය පරිදි කටයුතු සලසා ගත යුතු ය.

නවම් අව අටවක පෝය 

නවම් අව අටවක පෝය පෙබරවාරි 15 වන දා සෙනසුරාදා අපරභාග 04.29 ට ලබයි. 16 වන දා ඉරිදා අපරභාග 03.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 15 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 23 වනදා ඉරිදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

Full Moonපසෙලාස්වක

මාර්තු 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]