[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අපේ ජීවන රටාවේ වෙනස රෝග පීඩාදියට බලපානවා පිරිත් දෙසුමෙන් සෙත සැලසෙනවා

අපේ ජීවන රටාවේ වෙනස රෝග පීඩාදියට බලපානවා පිරිත් දෙසුමෙන් සෙත සැලසෙනවා

බෞද්ධයන් ලෙස අප ජීවිතයේ වැදගත්, අනුස්මරණීය සෑම අවස්ථාවක ම පරිත්‍රාණ ධර්ම දේශනාවට මුල්තැන දෙනවා.

අපේ හාමුදුරුවනේ, බොදු ජන ජීවිතයෙහි පිරිතට ඉහළ වටිනාකමක් හිමි වන්නේ ඇයි?

ඊට බලපාන ප්‍රධාන හේතුවක් තිබෙනවා. අප පැයක ධර්ම දේශනාවක් කරනවිට බුදුරජාණන් වහන්සේගේ දේශනා පාඨයක් මුලින් තබාගෙනයි සියල්ල විස්තර කරන්නේ. ධර්මානුකූල අදහස් තමයි. ඒත් අපේ වචන. ඇතැම් අවස්ථාවක ඒ වචන යොදා ගැනීම මොන තරම් සාධාරණ ද කියලත් සිතෙනවා. පිරිතේ දී සජ්ඣායනා කරන්නේ සම්පූර්ණයෙන් ම බුද්ධ භාෂිතය. බුදු මුවින් පිට වූ වචන. ඒ නිසාම දෙවිවරු පවා කැමැති පිරිත් ඇසීමට බව පැවසෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පිරිතෙන්, ශ්‍රාවකයන් ගේ මාර්ගයෙන් බුදුරජාණන් වහන්සේත් ප්‍රයෝජන ලබා ගත්තා. බුදුරදුන් ගිලන් වූ අවස්ථාවේ චුන්ද තෙරුන් විසින් මහාචුන්ද ථෙර බොජ්ඣංගය දේශනා කරනු ලැබුවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ ද ගිලන් වූ මහාකස්සප මහ රහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ පිරිත් බලයෙන් සුව ලැබු බව සඳහන් වෙනවා. ලෙඩක්, දුකක් සැදුණ වෙලාවට බොජ්ඣංගයක් දේශනා කරවා ගැනීමට බෞද්ධ ජනතාව වැඩි උනන්දුවක් දක්වන්නේ මේ නිසයි.

පිරිත් දේශනා අතර රතන සූත්‍රය ඉතාම බලගතු බුද්ධ මන්ත්‍රයක් බව සඳහන් වෙනවා නේද?

රතන සූත්‍රයෙන් කියැවෙන්නේ උතුම් ත්‍රිවිධ රත්නයේ සූවිසි මහා ගුණ පිළිබඳව යි. සෑම ගාථා රත්නයක් අවසානයේ ම සෙත් පැතීමක් සිදු කෙරෙනවා. එහි ආනිශංස, ආශිර්වාදය, ශාන්තිය බොහොම බලවත්.

බුද්ධ කාලයේ දී විශාලා මහනුවර තුන්බිය හටගත් අවස්ථාවේ අමනුෂ්‍ය, රෝග, දුර්භික්ෂ යන තුන්බිය නිමා කරමින් සහනයක් ලැබුණේ රතන සූත්‍රය දේශනා කිරීමෙන්. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට අනුශාසනා කළේ තමන් වහන්සේගේ පාත්‍රයට පැන් පුරවා රතන සූත්‍රය දේශනා කරමින් විශාලා මහනුවරට ගොස් ඒ පිරිත් පැන් ඉසින ලෙසයි. පිරිත්පැන් සිරුරට වැටෙනවාත් සමඟ ම අසනීපවී සිටි ජනතාව නැගිට්ටා. අමනුෂ්‍ය බිය, රෝග බිය දුරුවුණා. මහා වර්ෂාවක් ඇතිවී නුවර අපද්‍රව්‍ය සියල්ල පහව ගොස් පරිසරයට ශාන්තියක්, ආරක්ෂාවක් ලැබුණා. ධර්මයේ සඳහන් වන්නේ රතන සූත්‍රය ඒ තරම් බලගතු බුද්ධ මන්ත්‍රයක් බවයි.

අපේ හාමුදුරුවනේ, පිරිත් දේශනාව සත්‍ය ක්‍රියාවක් ද?

පිරිත් සජ්ඣායනය තුළ සිදු වන්නේ ගුණවතෙක්, ඉහළ ගුණයක පිහිටා, ඒ ගුණය ආරක්ෂා කරමින් සිට සත්‍ය ක්‍රියාවක් සිදු කිරීමයි. පිරිතේ ගුණ බලවත් වන්නේ එවැනි ඉහළ ගුණයක පිහිටා සිට සජ්ඣායනය කිරීමෙනුයි. දැන් බලන්න අංගුලිමාල පිරිත. ජනතාවට මොන තරම් සමීප පිරිතක් ද?

ප්‍රසව වේදනාවෙන් පීඩිත ව සිටි මවකට අංගුලිමාල තෙරණුවෝ ඒ පිරිත් දේශනාවෙන් සෙත් පැතුවා. අංගුලිමාල තෙරණුවෝ මුලින් සඳහන් කළේ ‘මම මේතරම් මනුෂ්‍ය ඝාතන සිදු කළා. ජීවිතයට ම ප්‍රාණඝාතයක් සිදු කළේ නැති බවට මා සත්‍ය ක්‍රියා කරන්නේ කෙසේ ද?’ යනුවෙනුයි. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආර්ය ජාතියේ උපන්තැන් පටන් තමන් වෙතින් ප්‍රාණඝාතය සිදුවූයේ නැති බවට සත්‍ය ක්‍රියාවේ පිහිටන ලෙසයි. අංගුලිමාල තෙරුන් ඒ සත්‍ය ක්‍රියාවේ පිහිටා සිටීමෙනුයි දරු ප්‍රසූතිය සඳහා වේදනා විඳින මවට සහනය ලැබේවා’ යි ප්‍රාර්ථනා කළේ.

මෙලෙස ජනතාවට නිරන්තරයෙන් සමීප පිරිත් සූත්‍ර පිරුවානා පොත් වහන්සේ තුළ අන්තර්ගතයි. බොහෝ බෞද්ධයන් ඒවා දන්නවා. ඒ වගේම පිරිතෙන් ප්‍රයෝජන ලබා ගන්නවා.

පිරිතෙහි අනුසස් ඉහළින්ම ලබන්නට නම් ශ්‍රවණය කරන්නා තුළ ද ගුණධර්ම පැවතිය යුතුයි නේද?

පිරිත් ශ්‍රවණය කරන අය අනිවාර්යයෙන් ම ශ්‍රද්ධාවන්ත විය යුතුයි. ඒ වගේම සීලයක පිහිටිය යුතුයි. පිරිත් අසන්නාට බුදුරජාණන් වහන්සේ පිළිබඳ නොසැලෙන විශ්වාසයක් තිබිය යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම රත්නය ගැන, බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝරත්නය ගැන පූර්ණ විශ්වාසයක් තිබිය යුතුයි. ඒ පූර්ණ විශ්වාසයට කියන්නේ සූවිසි මහ ගුණ පිළිගැනීම කියලා. ඒ වගේම සිත ඒ මේ අත විසිර යා නොදී පිරිත්සූත්‍ර දේශනාවට සවන්දිය යුතුයි. තමන්ටත් සූත්‍රය කටපාඩම් නම් තමනුත් සජ්ඣායනා කළාට වරදක් නෑ. ඒත්, ‘එතෙන සච්ච වජ්ජේන – හොතු තෙ ජයමංගලං’ කියන අවස්ථාවල දී එය තමන් පිළිගන්නට ඕනෑ. තමනුත් කියවීම හොඳ නෑ. අවසාන අවස්ථාවෙන් සිදු කරන්නේ ආශිර්වාදයක්. සීලයක පිහිටීමේ දී අඩුම තරමේ පංචසීලයෙහිවත් පිහිටිය යුතුයි.

උදේ සවස නිවෙසේ දී තුන් සූත්‍රය සජ්ඣායනා කිරීමෙන් ජීවිතයට ආශිර්වාදයක් ලබාගත හැකියි නේද?

බෞද්ධ නිවසක උදේ සවස බුද්ධ වන්දනාව සිදු කරනවානේ. බුදුරජාණන් වහන්සේට මලක්, පහනක්, පිරිසුදු පැන් වීදුරුවක් පූජා කරලා, තෙරුවන් වන්දනා කරලා අවම වශයෙන් කරණීය සූත්‍රයවත් සජ්ඣායනා කරනවා නම් හොඳ ආශිර්වාදයක් ලැබෙනවා. ඒ වගේම අප අවධාරණයට ගත යුතු කරුණක් තිබෙනවා. ඔබ අවංකව ම පිළිගන්නවා, මහා සංඝරත්නය තමන්ට වඩා ගුණයෙන් ඉහළ බව. එබඳු අයගෙන් ඒ ආශිර්වාදය ලැබෙන විට එය බලවත්. ඊටත්වඩා උන්වහන්සේලා නිරන්තරයෙන් සතතභ්‍යාස කරනවා. ඒ කියන්නේ නිතරම පරිහරණය කරනවා. මෛත්‍රි භාවනාව වේවා, පිරිත් සූත්‍රය වේවා නිතර ම පරිහරණය කරන විට, සරල බසින් කියනවා නම් එය පත්තියම් වෙනවා.

ඒ වගේම භික්ෂූන් වහන්සේට පාලි බස පිළිබඳ ව දැනුම තිබෙන නිසා පිරිතෙහි අර්ථය වැටහෙනවා. එය බලවත්.

රෝග පීඩාදී අවස්ථාවන්හි සෙත – ශාන්තිය ලබා ගැනීම සඳහා පිරිත් සජ්ඣායනය කරවා ගැනීම බෞද්ධ සිරිතක්. වර්තමානයේ අප මුහුණ දී සිටින වසංගත රෝගී තත්ත්වයන්ගෙන් බේරී සිටීමට නම් අප කළ යුතු වන්නේ කුමක්ද?

පිරිත් සජ්ඣායනය ඉතා ආශිර්වාදාත්මකයි. සෙත, ශාන්තිය ලැබෙනවා. ඒ වගේම ලෙඩ රෝගවලින් බේරීමට ප්‍රතිශක්තිය අවශ්‍ය වෙනවා. කායික, මානසික, ආධ්‍යාත්මික හා කුසල ප්‍රතිශක්තිය ලෙස එය සතරාකාර වෙනවා. කායික ප්‍රතිශක්තියේ දී අපේ ජීවන රටාව ඉතාම වැදගත්. අපේ පැරැණි සම්ප්‍රදාය තුළ මොන තරම් හොඳ ජීවන රටාවක් තිබුණා ද? අප තුන්වේලටම හොඳ ආහාරගත් ජාතියක්. උදේට කැඳ කෝප්පයක් බීවා. සුළු අසනීපයක්, සෙම්ප්‍රතිශ්‍යාවක් හැදුණොත් කොත්තමල්ලි කෝප්පයක් බීවා. ඇඟේ පතේ රුදාවට වෙනිවැල්ගැට තම්බා බීවා. බෙලිමල් වතුර බීවා. ධාන්‍ය වර්ග, පලා වර්ග ආහාරයට ගත්තා. ඒ වායින් අපේ ප්‍රතිශක්තිය රැකුණා. එයින් බැහැර වූ නිසා අප දැන් විවිධ රෝගවලට ගොදුරු වෙනවා. බෝවන රෝග වගේ ම බෝ නොවන රෝගවලටත්. අප දැන් හුරු වී තිබෙන්නේ ක්ෂණික ආහාරවලට. විවිධ නම්වලින්, විවිධ හැඩතල තිබෙන ආහාර වෙනස් කරමින් ආහාරයට ගන්නවා. අවංකව ම බැලුවොත් දවස අවසානයේ පිටිකිලෝ ග්‍රෑමයක් පමණ කුසළ තුළ තිබෙනවා. ඒ වගේම අපට තිබුණා හොඳ නැවුම් පලතුරු. භාවිත කළේ කාබනික පොහොර. දැන් ඒ තත්ත්වය සපුරා වෙනස්. කොරෝනා වැනි වසංගතවලටත් වඩා වකුගඩු රෝග වැනි බරපතළ ප්‍රශ්නවලට අප මුහුණ දී සිටිනවා. ඒ අපේ ජීවන රටාව වෙනස් වූ නිසයි. දැන් බලන්න අපේ රටට අපමණ විදේශීය පක්ෂීන් පැමිණෙනවා. ලංකාව ඒ සතුන්ට සුරක්ෂිත රටක්. ඒ පක්ෂීන්ගෙන් රෝග කාරක පැමිණෙන්නට පුළුවන්නේ. ඒත් අපට අනතුරක් නොවුණේ හොඳ ප්‍රතිශක්තියක් තිබුණ නිසයි. එය හීනවී යමින් තිබෙන නිසා රෝගවලට පහසුවෙන් ගොදුරුවෙනවා.

අපේ, හාමුදුරුවනේ, මානසික ප්‍රතිශක්තිය ද ඉතා වැදගත් බව ඔබ වහන්සේ පැවසුවා.

ඔව්. මානසික ප්‍රතිශක්තිය ඇති කර ගැනීමේ දී අප තුළ කරුණාව, මෛත්‍රිය උපදවා ගත යුතුයි. දැන් බලන්න ඛන්ධ පරිත්ත සූත්‍රයේදි ඒ ඒ සත්ත්ව කොටස් වර්ගකර සිදු කරන්නේ මෛත්‍රී ගුණ වැඩීමයි. එවිට ඒ සතුන්ගෙන් අපට කරදරයක් වෙන්නේ නෑ. රෝගයක් පැතිරෙන්නේ නෑ කියන විශ්වාසය ඇතිවෙනවා. ඒ අනුව මානසික ප්‍රතිශක්තිය ගොඩනගා ගත යුතුයි.

ආධ්‍යාත්මික ප්‍රතිශක්තිය තුළ ලැබෙන සහනය කෙබඳුද?

අපට අටලෝ දහමට මුහුණ දෙන්නටම සිදු වෙනවා. එයයි සත්‍යය. ඒ වගේම ලෙඩදුක් හැදෙනවා. ඒවාට නොබිය ව මුහුණ දීමට ශක්තිය ගොඩනගා ගත යුතුයි. එයටයි ආධ්‍යාත්මික ප්‍රතිශක්තිය කියන්නේ. ඒ වගේම කුසල ප්‍රතිශක්තියත් වැදගත්. අප බෞද්ධයන් ලෙස කර්මය, කර්මඵලය විශ්වාස කරනවා. කුසල ප්‍රතිපත්තිය වඩා තිබෙනවා නම් අප ලෙඩ රෝග අනතුරුවලින් බේරෙනවා. අපට ත්‍රිවිධ රත්නයේ සරණ හැර අන් සරණක් නෑ. ධර්මය ඉගෙන ගෙන ඉවර කළ නොහැකියි. එහෙයින් ධර්මය දන්නා තරමින් ජීවිතයට සම්බන්ධ කරගත යුතුයි. එය ප්‍රායෝගික වූ තරමට තමන්ට ආරක්ෂාව සැලසෙනවා.

නවම් අව අටවක පෝය 

නවම් අව අටවක පෝය පෙබරවාරි 15 වන දා සෙනසුරාදා අපරභාග 04.29 ට ලබයි. 16 වන දා ඉරිදා අපරභාග 03.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 15 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 23 වනදා ඉරිදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

Full Moonපසෙලාස්වක

මාර්තු 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]