[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කැලණිය මානෙල්වත්ත ජගත් බොදු සරසවි පරිශ්‍රයේ දී රටට සෙත්පතා කන්ජූර් ත්‍රිපිටක සජ්ක්‍ධායනාව ඇරඹේ

කැලණිය මානෙල්වත්ත ජගත් බොදු සරසවි පරිශ්‍රයේ දී

රටට සෙත්පතා කන්ජූර් ත්‍රිපිටක සජ්ක්‍ධායනාව ඇරඹේ

බුද්ධ ශ්‍රාවිකාවන් 3500 නමක් විෂයෙහි මහා පරිස්කාර පූජාවක් 18 වනදා

කන්ජූර් ත්‍රිපිටක සජ්ඣායනාව මෙරට දී පැවැත්වීම සඳහා හිමාලයේ භූතාන් රාජ්‍යයෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේ 48 නමක් මෙරටට වැඩම කරවා සිටිති.


මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය


සේයාරුව - සුදම් ගුණසිංහ

ඉන්දියාව, නේපාලය, භූතානය, ටිබෙටය, හිමාල අරුණාචල්, ලඩක්, මොන්ගෝලියා ආදී රටවල කන්ජූර් සජ්ඣායනාව ඉතා ගෞරවයෙන් පැවැත්වෙන බව සඳහන් වේ. මහා කාරුණික ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ සම්පූර්ණ ධර්මය හිමාලය භෝඨ භාෂාවෙන් හඳුන්වනු ලබන්නේ කන්ජූර් නමිනි.

හිමාලයේ දිගු කලක් වනගත ව ත්‍රිපිටක සජ්ඣායනාවෙහි ම නිරත සංඝපීතෘන් වහන්සේ 48 නමක් මෙරටට වැඩම වූයේ භූතානයේ අග රජු ජිග්මේ කෙහෙසර් නම්ග්යෙල් වැන්චුක්ගේ සහ මව්රැජින අශී ත්ස්හෙරින් යැන්ග්ඩොන් බිසවගේ මැදිහත්වීමෙනි.

කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ උප කුලපති තායිවානයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෝදාගම චන්දිම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ භූතාන රජු සහ රජ පවුලේ සාමාජිකයන් සමග පැවැති සාකච්ඡාවක දී භූතානය වෙත බුදුසමය රැගෙන ගිය පත්ම සම්භව රහතන් වහන්සේ ශ්‍රී පාදස්ථානය වන්දනාව සඳහා මෙරට වැඩම කර වසර 1300 ක් සපිරෙන බව හෙළි වී ඇත.


මානෙල්වත්ත මහා විහාරාධිපති තායිවානයේ ප්‍රධාන සංඝනායක නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති  ආචාර්ය බෝදාගම චන්දිම නා හිමි

එම අවස්ථාව අනුස්මරණය කිරීමත්, ගෝඨාභය රාජපක්ෂ නව ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ නව අගමැතිතුමා ප්‍රධාන ලක් රජයට සහ මෙරට ජනතාවට ආශීර්වාද කිරීමත්, වර්තමානයේ ලොව ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගතය දුරු කිරීමට ආශීර්වාද කිරීම යන කරුණු ප්‍රධාන අරමුණු කර ගනිමින් ත්‍රිපිටක සජ්ඣායනාවක් මෙරට දී පැවැත්වීම කෙරෙහි භූතාන රජතුමාගේ ක්ෂණික අවධානය යොමු විය. ඊට අදාළ ව භූතානයේ සුත්‍රධර ධර්මදූතයාණන් වහන්සේ මෙරටට වැඩම කර, එම ත්‍රිපිටක සජ්ඣායනාව ඉපැරැණි සම්ප්‍රදායන්ට අනුකූල ව සිදු කිරීම මෙහෙයවනු ලබන්නේ තායිවානයේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය බෝදාගම චන්දිම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, භාරතයේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය දොඩම්ගොඩ රේවත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, භූතානයේ හිටපු කතානායක ඔසුපසන් ඩොර්පේ මහතා විසිනි.

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ සෙනෙට් මණ්ඩල සාමාජික සහ උපකුලපති නාහිමියන්ගේ සම්බන්ධීකරණ ලේකම් ශාස්ත්‍රපති දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියන් සහ එම ආයතනයේ පරිපාලන අංශභාර පල්ලේගම සුමන හිමියන් ද ඊට දක්වන සහාය පැසසිය යුතුය.

කැලණිය මානෙල්වත්ත වැව්තෙර පිහිටි සදහම් මාලිගයේ දී පෙබරවාරි 12 වන දා පෙරවරු 7 ට එම ආශීර්වාද ත්‍රිපිටක සජ්ඣායනාව ආරම්භ වීමට නියමිත වූ අතර, එහි ප්‍රධාන අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගිවීමට නියමිත ව තිබිණි. සිව් දිනක් මානෙල්වත්ත විහාරස්ථානයේ දී එම සජ්ඣායනාව දිනපතා පෙරවරු 7 - පස්වරු 7 දක්වා පැවැත්වේ. 12 - 17 මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ දී ද, පෙබරවාරි 19 - 22 දක්වා මිහින්තලා පුද බිමේදී ද, 23 - 25 දක්වා ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය 27 - 29 ශ්‍රී පාද සාම චෛත්‍යයේ දී ද පෙබරවාරි 28 සිට මාර්තු 3 වැනිදා දක්වා සිතුල්පව්ව රාජමහා විහාරයේ දී ද එම සජ්ඣායනාව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මානෙල්වත්ත පුදබිම දෙස් විදෙස් බොදු දනන්ගේ නැණ පහන් දැල්වීමට නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය නිර්මාණය කළ නිර්මාතෘ සහ උපකුලපති තායිවානයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෝදාගම චන්දිම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙරට සම්බුද්ධ ශාසනයේ සංවර්ධනය හා ආරක්ෂාවටත්, අප රටට මෙන් ම සමාජයටත් අප්‍රමාණ මෙහෙවරක යෙදී සිටින ආදර්ශවත් සංඝපීතෘන් වහන්සේ නමක් වේ.

මෙරට දහම් පාසල් අධ්‍යාපනයෙහි දියුණුවට නොමිලයේ පොත්පත් ලබාදෙමින්, හැදෙන වැඩෙන දරුවන්ගේ සුචරිත වර්ධනයට ඉමහත් සේවාවක් සිදු කළහ. පිරුවානා පොත් වහන්සේ මුද්‍රණය කර නොමිලයේ පිරිනැමීමට තරම් උන්වහන්සේ කාරුණික වූ හ. සුනාමි ව්‍යසනය පැමිණි අවස්ථාවේ දී අහිමි වී ගිය නිවාස වෙනුවට දහස් ගණනින් මෙරට නිවාස ඉදිකර පරිත්‍යාග කළහ. බුරුම රාජ්‍යයට නාගීස් කුනාටුව පැමිණි අවස්ථාවේ දී ඔවුනට පිහිට වෙමින් හිසට සෙවණ සැලසූ අතර එම නිවාස එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් විවෘත කෙරිණි. බෝදාගම චන්දිම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් බුද්ධ ශ්‍රාවිකාවන් තුන් දහස් පන්සියනමක් උදෙසා පරිස්කාර පූජා මහා පින්කමක් වාර්ෂිකව ද පවත්වනු ලැබේ.

මානෙල්වත්ත පුදබිම පිළිබඳ මානෙල්වත්ත මහා විහාරාධිපති ආචාර්ය බෝදාගම චන්දිම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ‘බුදුසරණ’ සමඟ කළ සාකච්ඡාවක දී මෙසේ පැවසූහ.

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ දයාබර මැතිනිය එලීනා ජයවර්ධන ආර්යාව සතු දේපළවලින් වෙසෙසින් මානෙල්වත්ත භූමිය සහ එහි තිබූ බංගලාව ඇතුළු දේපළ මහනුවර මල්වතු මහා විහාරයේ පුරිජ්ජල ශ්‍රී සරණංකර මහානායක මාහිමිපාණන් වහන්සේ වෙත පූජා කර තිබේ. එම පූජාවේ දී සිදු කරන පින්කමෙහි අරමුණු සනිටුහන් කරන ලද තඹ සන්නස්පත්‍රයෙහි ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයක් ආරම්භ කළ යුතුය යන වැදගත් අරමුණක් ද සටහන් කර තිබේ. සතර දිගින් වඩින මහ සඟරුවන වෙත ප්‍රත්‍ය පහසුකම් සැලසිය යුතු ය. ජනවාරි 19, 20 ශ්‍රී දළදා මාළිගාවේ පූජාව සිදු කළ යුතු ය යන කරුණු එහි සටහන් කර තිබේ.

කන්ඩක්කුලමේ ධම්මකිත්ති නායක හාමුදුරුවන් වහන්සේ මානෙල්වත්ත මහා විහාරයේ විහාරාධිපති ධූරය දැරූහ. උන්වහන්සේ ඉහත අරමුණු සපිරීම සඳහා ඉමහත් වෙහෙසක් දැරූහ. මානෙල්වත්ත මහා විහාරයේ දැනට වැඩ වසන බෝධීන් වහන්සේ එලීනා ජයවර්ධන මැතිනිය විසින් වැඩම කර රෝපණය කර වා ඇත.

එවක සංස්කෘතික අරමුදලින් සෑ රදුන් නිර්මාණය කර ඇති අතර, එම සෑ රදුන් වහන්සේ තුළ ස්ථාන තුනක ධාතූන් වහන්සේ නිධන් කර ඇත. 1978 දී කපිල වස්තු ධාතූන් වහන්සේ වැඩම කරවූ අවස්ථාවේ ඉන් ධාතූන් වහන්සේ දෙනමක් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා වෙත පිරිනමා ඇති අතර, එම ධාතූන් වහන්සේ දෙනම මානෙල්වත්ත චෛත්‍යයේ සතරැස් කොටුවේ තැන්පත් කර ඇත. ගර්භයේ තැන්පත් කර ඇති ධාතූන් වහන්සේ අතර ඓතිහාසික ව ලැබී ඇති ධාතූන් වහන්සේ නමක් තිබේ. ගර්භයේ ධාතු නිධාන උත්සව අවස්ථාවේ දී එවකට මිහින්තලේ නාහිමියන් වහන්සේ ශ්‍රාවක රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේ ඇතුළු ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විසින් පෞරාණික වස්තු එම සෑරදුන් වහන්සේ තුළ තැන්පත් කර ඇත.

2012 දී මෑත කාලයේ දී කපිලවස්තු ධාතුන් වහන්සේ පළමුවරට වැඩම කරවූයේ ද මානෙල්වත්ත මහා විහාරයට ය.

කන්ඩක්කුලමේ ධම්මකිත්ති නායක ස්වාමීන් වහන්සේ ස්ව ශක්තියෙන් විහාරාභිවෘද්ධිය සැලසුව ද උන්වහන්සේ බලාපොරොත්තු වූ පරිද්දෙන් එය සිදුකරගැනීමේ අපහසුතා ඇතිවිය. සිය වෘද්ධභාවය හේතුවෙන් මානෙල්වත්ත විහාරස්ථානය සම්භාවනීය යතිවරයන් වහන්සේ නමකට පිරිනැමීමට විවිධාකාරයෙන් සොයා විමසා බැලීම් සිදු කළ ද ඒවා සාර්ථක නොවූයේ ය.

අනතුරුව විදේශගත ධර්මදූත ස්වාමීන් වහන්සේලා වෙතින් ද ඒ පිළිබඳ විමසා බැලූහ. කෙසේ වුව ද මැලේසියාවේ හා සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක ව වැඩ විසූ ආචාර්ය කිරින්දේ ශ්‍රී ධම්මානන්ද නාහිමියන් වෙත දැනුම්වත් කිරීමෙන් පසු උන්වහන්සේ විසින් ධම්මකිත්ති ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් දක්වන්නැයි මා වෙත පැවසූහ.

ඒ අනුව 2003 වසරේ දී මානෙල්වත්ත විහාරය පවරාදීමෙන් පසු එවකට විහාර භූමිය තෙමසක් මුළුල්ලෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළහ. මානෙල්වත්ත විහාරයට පළමුව පැමිණිදාම එහි ලොවට ම බුදු දහම බෙදාදෙන මධ්‍යස්ථානයක් ඇති කරනවා යන අරමුණ සිතෙහි අදිටන් කරගත්හ. දඹදිව පැරැණි නාලන්දාව එහි දී සිහිපත් විය. ඒ අරමුණ සිත්හි දරා ගනිමින් සිය කටයුතු ඇරැඹූහ. එය ඉතා සාර්ථක ව ඉටුකර ගැනීමට මේ වන විට හැකිවීම බලවත් සතුටට කරුණකි.

ලක්දිව මෙහෙණින් වහන්සේලා, දස සිල් මාතාවරු විවිධ ස්ථානයන්හි අක්‍රමවත් ලෙස වැඩ විසූහ. එම මෙහෙණින් වහන්සේලා වෙත යම් මෙහෙවරක් සිදු කළ යුතුය යන අදහසින් 2009 දී රට පුරාම මෙහෙණින් වහන්සේලා වැඩම කර දානයක් පිරිනැමීමට කටයුතු යෙදූහ.

එම දානමය පින්කම සිදු කළ දා අදිටන වූයේ එම පින්කම වාර්ෂික ව සිදු කිරීම ය. ඊට අනුව දෙවන වසරේ දී සිවුරු කට්ටල බැගින් පිරිකර පූජාව සිදුකරන ලදී. අමතරව රුපියල් දසදහස බැගින් අවශ්‍ය පිරිකර ලබා ගැනීමට මුදල් පිරිනැමී ය. තෙවන වසර එම පින්කමේ දී ආරාමවල අඩුපාඩු විමසා බැලූ විට දානය රැගෙන ඒමේ උපකරණ ආදිය නොමැති බව කී විට ඉන්දියාවෙන් කන්ටේනර් ගණනක දානෝපකරණ ඇතුළු ආරාමයකට අවශ්‍ය, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වසර ගණනක් පුරා පිරිනැමූහ.

අනෙකුත් විහාරාංග ඉදිකිරීමේ අපහසුවෙන් පසුවන බවද දැන ගන්නට ලැබිණි. පින්කමට වැඩම වන සෑම මෙහෙණින් වහන්සේ නමකටම රුපියල් දස දහස බැගින් මුදල් පරිත්‍යාග සිදු කෙරේ. මෙවරත් එම මහා පරිස්කාර පූජාව මෙම මස 18 වන දා පෙරවරුවේ මානෙල්වත්ත විහාරයේ දී පැවැත්වේ. එසේ මුදල් පිරිනැමීමේ දී වැඩමවන මෙහෙණින් වහන්සේ ඒකරාශී වී, ඒ ඒ ආරාමවල අඩු පාඩු ඉදිකර ගනු ලැබේ.

එමෙන්ම මෙහෙණින් වහන්සේ උදෙසා අධ්‍යාපන ආයතනය ද පිහිටුවී ය. මේ වන විට මෙහෙණින් වහන්සේ 50 නමක් එහි අධ්‍යාපනය හදාරනු ලැබේ. විදේශීය මෙහෙණිවරුන් සඳහා කාමර 45 කින් සමන්විත නව නේවාසිකාගාරයක් ද ඉදිකරගෙන යනු ලැබේ. එදා මෙහෙණින් වහන්සේ 50 නමකගෙන් ඇරැඹු අධ්‍යාපන ආයතනය තුළ ඉගෙනුම අවසන් කළ මෙහෙණිවරු අතර කථිකාචාර්යවරියන් පවා දෙස් විදෙස් හි ධර්මය බෙදා දෙමින් කටයුතු කරනු ලැබේ.

ඇසුරු කරන විදේශීය දායක පින්වතුන්ටත්, පූජනීය මහා සඟරුවනටත් නාලන්දාව තැනීමේ අරමුණ ඉදිරිපත් කළහ.

එදා නාලන්දාව ගොඩනගා ඇති අයුරු නිරීක්ෂණය සඳහා කණ්ඩායමක් ඉන්දියාවට පිටත් කර හැරියේ ය. ගෘහ නිර්මාණ ශිල්පියාගේ සිට ඊට ඇතුළත් කණ්ඩායම මහත් පරිශ්‍රමයක් දරා පර්යේෂණය සිදු කළහ. එමෙන්ම ආචාර්ය, මහාචාර්යවරුන් ද ඊට ඇතුළත් වූ හ. ඒ සැලැස්මට අනුව මානෙල්වත්ත මහා විහාරයේ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ ගොඩනැගිලි ඉදි කරවූහ.

ථෙරවාද, මහායාන, වජ්‍රයාන සියලු සම්ප්‍රදායන් පිළිබඳ මනා අවබෝධයක් එම අධ්‍යයන ආයතනයෙන් ලබාගත හැකි අයුරෙන් එය ගොඩ නගා ඇත. මෙහි සියලු සැලසුම් රජය වෙත ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා අනුමැතිය ලැබී ඇත.

ලොව වෙසෙන කවුරුන් වුව ද බුදුදහම ඉගෙනීම සඳහා ලංකාවට පැමිණෙනු ඇත. ඒ සඳහා නවාතැන් පහසුකම් සහිත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය පිහිටුවා ඇත. ලොවට අපේ රටෙන් දිය හැකි උතුම්ම දායාදය බුදුදහම බෙදාදීම ය. ලොව බුදුදහම කෙරෙහි ඇත්තේ මහත් ඉල්ලීමකි. ලෝක සාමය ඇති කිරීමට ද එය මහත් පිටු වහලක් වේ.

අපේ රටට මේ වන විට යහපත් රාජ්‍ය නායකත්වයක් ලැබී තිබේ. ඒ රාජ්‍ය නායකතුමන්ගේ අරමුණු යහපත් ව පවතී. යහපත් දැක්මක් හා අරමුණක් සහ අනාගතයක් පවතී. බුදුදහම දියුණු කිරීමට සහ ඊට සහාය දීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත්, මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාත් මේ සඳහා ආශීර්වාද සිදු කරනු ලැබේ. නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ සරසවිය මගින් මහත් මෙහෙවරක් අනාගතයේ සිදු කිරීම බලවත් අපේක්ෂාව හා අරමුණ වේ. 1700 ගණන්වල දී එදා රජවත්ත නමින් හැඳින් වූ මෙම භූමි භාගය පසුව මානෙල්වත්ත වී දැනට එය අක්කර 50 කින් පමණ සමන්විත වේ.

නවම් අව අටවක පෝය 

නවම් අව අටවක පෝය පෙබරවාරි 15 වන දා සෙනසුරාදා අපරභාග 04.29 ට ලබයි. 16 වන දා ඉරිදා අපරභාග 03.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 15 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 23 වනදා ඉරිදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

Full Moonපසෙලාස්වක

මාර්තු 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]