[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සත්‍යානුභාවයෙන් සෙත සදන අඟුල්මල් පිරිත

සත්‍යානුභාවයෙන් සෙත සදන අඟුල්මල් පිරිත

පුරිස දම්ම සාරථී යනු නව අරහාදී බුදු ගුණවලින් එකකි. බුදුරජාණන් වහන්සේ තුළ දමනය කළයුතු දුර්දාන්තයන් දමනය කිරීමෙහි ඇති සාමර්ථ්‍යය ඉන් අදහස් වෙයි. මෙකී බුද්ධ ගුණය විචිත්‍ර වූ නිදසුන් කතා සහිත ව අතිශයින් ම වර්ණනාත්මක ව හා රසාලිප්ත ව කියැවෙන සම්භාව්‍ය සිංහල ගද්‍ය ග්‍රන්ථය විද්‍යා චක්‍රවර්තීන්ගේ බුත්සරණයි.

අංගුලිමාල දමනය බුත්සරණෙහි අතිශය චමත්කාර ජනක ව, බුදු බැතිය වඩාලමින් ප්‍රකාශිත එක් වෘත්තාන්තයකි. ඒ වූ කලී මැදුම් සඟිය මැදුම් පණ්ණාසකයෙහි එන අංගුලිමාල සූත්‍රය ද වෙසෙසින් ම අට්ඨකතාවෙහි එන එම සුත්‍ර වර්ණනාව ද ඇසුරු කොට ගෙන විද්‍යා චක්‍රවර්තීන් විසින් සිය නිසඟ කවිත්වය ද ප්‍රකට කරමින් කළ අපූර්ව නිර්මාණයකි. ඉහත කී අංගුලිමාල සූත්‍රයෙහි දක්නා නොලැබෙන තොරතුරු රාශියක් අටුවාවෙහි මෙන් ම බුත්සරණෙහි ද දැකගත හැකි ය. විශේෂයෙන් ම අහිංසක නම් කුමරු දිසාපාමොක් ඇදුරු සමීපයේ ශිල්ප හැදෑරීම, සිසුන් ඔහු පිළිබඳ ඊර්ෂ්‍යාවෙන් ගුරුතුමන් නොමග යැවීම, ගුරුතුමන් විසින් දහසක් ඇඟිලි මාලයකින් ගුරුන් පිදීමට නියම කිරීමාදී තොරතුරු සූත්‍රයෙහි දක්නා නොලැබෙයි. එම තොරතුරු කථා වස්තුව සම්පූර්ණ කිරීමට පුරාණාචාර්යවරුන් විසින් ඇතුළත් කර ඇත. සූත්‍රයෙහි මෙන්ම කතා වස්තුවෙහි ද එන අංගුලිමාල පිරිත ගැබිනි මව්වරුන්ට සෙත් ශාන්ති උදා කර දෙන මහා බලගතු පිරිත් දේශනාවක් ලෙස බෞද්ධයෝ පිළිගනිති. දැනුදු එය භාවිතයෙහි ඇත.

සියලු සත්වයන්ගේ සුවසෙත, සැපත පතන මෛත්‍රීය, දුක්ඛිත සත්වයන් කෙරේ අව්‍යාජ ව උපදනා හද කම්පනය නම් වූ කරුණාව, අනුන්ගේ සතුට, සැපත, ජයග්‍රහණය දැක ඊර්ෂ්‍යා නොකොට සතුටට පත්වීම හෙවත් මුදිතාව, සකලවිධ විෂමතා අන්තවාද පසෙක ලූ උපේක්ෂාව යන සතර බ්‍රහ්ම විහරණයෝ බුදු දහමෙහි එන කේන්ද්‍රීය සාරධර්මයෝ ය. බුදුරදුන් විසින් තමන් ඝාතනය කරන්නට ආ දෙව්දත්ට, නාලාගිරි ඇත් රජුට මෙන් ම, අඟුල් මල් නම් වූ ඒ මනුෂ්‍ය ඝාතකයාට ද, රාහුල කුමරුට ද සම සේ කරුණා මෛත්‍රිය පතුරුවන ලද්දේ ය. දඬුවම පිළිබඳ බෞද්ධ ආකල්පයේ පදනම ද මෙම චින්තනය විය යුතු ය. එයට අනුගත වන ක්‍රියාකාරකම් විය යුතු ය. ඒ අනුව එකට එක කිරීමක, පළිගැනීමක ස්වරූපය ගන්න අපරාධකරු නැවත යහපත් පුද්ගලයකු බවට පත්කර ගැන්මට ඉඩක් නොතබන මරණ දඬුවම බෞද්ධ ඉගැන්වීම්වලට අනුකූල වන්නේ ද නැත. බෞද්ධ ඉතිහාසයේ වාර්තා වන අංගුලිමාල නම් සාහසික මහා මනුෂ්‍ය ඝාතකයා නසන්නට කොසොල් මහරජු සියල්ල සූදානම් කොට තිබිණ. එහෙත් කල් ඇතිව ම අඟුල්මල් වෙත වැඩම කළ බුදුරජාණන් වහන්සේ අවි ආයුධ භාවිතයෙන්, දණ්ඩනයෙන් තොර ව හුදෙක් කරුණා මෛත්‍රියෙන් අඟුල්මල් දමනය කළ සේක. ඔහු කිසි කලෙකත් මතුවට පරපණ නොනසන රහත් උතුමෙකු බවට පත්කළහ. මෙයින් පැහැදිලි වන්නේ කවර අපරාධකරුවකු තුළ වුව ද අහිංසකයෙකු සිටින බව ය. විවිධ හේතු සාධක මත අහිංසක අබිබවා හිංසක නැගී සිටියේ අඟුල්මල් මනුෂ්‍ය ඝාතකයා බිහි කරමිනි. ඔහු පරමාදර්ශී පුද්ගලයෙකු කළ බුදුරජාණන් වහන්සේ කිසි කලෙකත් එවැනි සාපරාධී ක්‍රියාවක් නොකරන තැනට එම චරිතය සංවර්ධනය කළහ. ඔහුගේ ආධ්‍යාත්මය ගොඩනැඟූහ.උන්වහන්සේ අංගුලිමාල නම් ඒ මහා මනුෂ්‍ය ඝාතකයාට රජු විසින් මරණ දඬුවම දීම වළකාලූහ. එහි ලා සක්‍රිය වූයේ ද අර්ථවත් වූයේ ද මෙත්තා, කරුණා දී බ්‍රහ්ම විහරණයන් ය.

අංගුලිමාල සූත්‍රාවසානයෙහි සඳහන් වන පරිදි “යමෙක් පෙර (පළමුව) ප්‍රමාදය හේතුවෙන් සාපරාධී ක්‍රියාවනට පෙළඹුන ද, ඔහු පසුව (දෙවනුව) නොපමා වේ ද (එනම් වරද වරදක් ලෙසින්ම පිළිගනියි ද, තමා කළ වරද තේරුම් ගනියි ද එයින් සපුරා වළකියි ද) හෙතෙම රාහුගෙන් මිදුණු සඳ මෙන් මේ ලෝකය බබුළුවන්නේ ය’” එසේ ම බුදුරජාණන් වහන්සේ තවත් තැනක වදාළ පරිදි යමෙකු විසින් කරන ලද පාප කර්මය පසු කලෙක කුසල කර්මයෙන් එනම්, කළ වරද වටහාගෙන ඉන් මිදී නිවැරැදි ක්‍රියාවෙන් එබඳු වරදක් මතු නොවන සේ වළකාලයි ද හෙතෙම ලොව බබුළුවන්නේ ය. අංගුලිමාල ද එලෙස ලෝකය බබුළුවාලීමේ ආදර්ශය ගෙනහැර පෑවේ ය. මහා අපරාධකරුවෙකු වූ හෙතෙම බුදුන් දැක, සිත් නිවා, සිය වරද වටහා ගෙන, පරමාදර්ශී රහත් උතුමෙකු වූයේ ය. වඩාත් බරපතළ වූ මව මැරීම, පියා මැරීම, රහතුන් නැසීම, බුදු සිරුරේ ලේ සෙලවීම සහ සංඝභේදය යන ආනන්තරිය පව්කම්වලින් එකක් කළ තැනැත්තාට කලණ මිතුරෙකුගේ මඟ පෙන්වීම ඇතත් ඒ පව්කම් වසාලිය නොහැකි බව ද, ඔහුට පිහිටක් නම් නැති බව ද, දෙව්දත් තෙරුන්ට මෙන් මෙලොව දී හෝ පරලොව දී දුක් විපාක ම ලැබෙන බව ද පුරාණාචාර්යවරු පෙන්වා දෙති. අංගුලිමාලයෝ බුදුරදුන්ගේ මහා කරුණා දැළට ම හසුවූවෝ අවසන් මොහොතේ සිදුවිය හැකි ව තිබූ ඒ මහා පව්කම්වලින් ද ගැලවුණෝ ය. ඔහුට ඇති උතුම් කලණ මිතුරෙකු කල් ඇතිව ම හමුවිය. ඒ බුදුරජාණන් වහන්සේ ය.මේ අනුව නිවැරැදි, නිසි මඟ පෙන්වීම කල්‍යාණ මිත්‍ර ආශ්‍රය හා යථාවබෝධය ද ඇති තැන මහා අපරාධකරුවෙකු වුව ද ලොව එළිය කරන උතුම් පුද්ගලයෙකු බවට පත් කළ හැකි බව බුදු දහම පෙන්වා දෙයි. දඬුවම, මිනිසෙකු වරදින් මුදවා ගත හැකි එක ම මාර්ගය නොවේ. අංගුලිමාලයන් අපරාධකරුවෙකු බවට පත් කරන ලද්දේ ඔහුගේ චිත්ත සන්තානගත ව පැවති රාග, ද්වේශ,මෝහාදී ක්ලේශ ධර්මයන් ය. එකී කෙලෙස් සිතිවිලි විසින් මෙහෙයවන ලද ඔහු අමනුෂ්‍යයෙකු සේ හැසිරුණේ ය. මහා සාහසිකකම් කළේ ය. සියලු කෙලෙස් නසා බුදුරදුන්ගේ මාර්ගෝපදේශනය අනුව මතුවට කිසිදු පව්කමක්, අපරාධයක් නොකෙරෙන තැනට එනම් මහ රහත් බවට අංගුලිමාලයෝ පත්වූහ. සුප්‍රකට රතන සූත්‍ර දේශනාව අනුව “ඒ (සෝවාන්) පුද්ගල තෙමේ කයින්, වචනයෙන් හෝ සිතින් කෙරෙන්නා වූ සඟවා ගත් පව්කම් නැත්තෙකි. ඔහු වෙතින් එසේ සඟවා ගැන්මක් නොවන්නේ ය. යථාර්ථය දක්නා තැනැත්තා තුළ සඟවා ගත් වරදක් නැත. ඔහු තිදොරින් ම පිරිසුදු ය. විවෘත ය.”

ජනපි‍්‍රය වූ බලගතු අංගුලිමාල පිරිත නම් වූ සත්‍යක්‍රියාව දැක්වෙන්නේ ද අංගුලිමාල සූත්‍රයේ ය. මූඪ ගර්භවැ ප්‍රසව වේදනාවෙන් පෙළෙන එක්තරා ගැහැනියක දුටු අඟුල්මල් තෙරුන් ඒ බව බුදුරදුන්ට සැළ කළ බව ද, ඉන් පසු උන්වහන්සේ විසින් එම සත්‍යක්‍රියාව උගන්වා වදාළ බව ද එහි දැක්වෙයි. “අංගුලිමාලයෙනි. එසේ වී නම් තෙපි ඒ මාගම කරා එළැඹෙව. ඇයට මෙසේ කියව. නැගැණියෙනි. යම් දවසකැ මා ආර්ය ජාතියෙහි උපන්නෙම් ද එතැන් පටන් (දැන දැන) සිතාමතා සත්වයෙකුගේ දිවි තොර නොකෙළෙමි. ප්‍රාණඝාතයක් නොකෙළෙමි. ඒ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා. ඔබේ කුසට ද සෙත් වේවා” . මේ අංගුලිමාල පිරිත නම් වූ , බුදුරදුන් අංගුලිමාල තෙරණුවන්ට ලබා දුන් සත්‍යක්‍රියා බලය රැගත් ප්‍රකාශයයි. අංගුලිමාල තෙරණුවෝ එම සත්‍යක්‍රියාව සිදු කොට එකී මව සුවපත් කළහ.

මෙහි ආර්ය ජාතියෙහි උපන් තැන යනු අංගුලිමාලයන් පැවිදිවූ අවස්ථාව ය. ආර්ය ජාතියෙහි ඉපදීම යනු සසුන්ගත වීමයි. ඔහුගේ කළ පව් ගෙවී ගියේ ය. හෙතෙම යළිත් එම පව්කමට නොපෙළඹෙන පැවිද්දෙකු විය. එතැන් පටන් කිසි විටෙකත් සිතාමතා සතෙකු නොමැරූ බව ඇත්තකි. ඒ සත්‍යානුභාවය ඔහුගේ බලය වූයේ ය. මෙහි දී කිව යුත්තක් නම්, සාරිපුත්ත, මොග්ගල්ලානාදී ඕනෑ ම රහතුන් වහන්සේ නමකට මේ සත්‍යක්‍රියාව කළ හැකි වුව ද නොරහත් සිල්වතුන් වහන්සේලා අතර ඕනෑ ම භික්ෂුවකට වුව ද මෙය කළ හැකි වුව ද බුදුරදුන් විසින් පෙර පරපණ සිය ගණනින් නැති කළ සුප්‍රකට මනුෂ්‍ය ඝාතකයෙකු ව සිටි, පසුවැ පැවිදිව රහත් වූ අංගුලිමාල තෙරණුවන්ට ම එය අනුදැන වදාළ බව ය. ඉන් ප්‍රකට කරන ලද්දේ ද පිරිපුන් චරිත සංවර්ධනයට පත් නැවතත් සාපරාදී ක්‍රියාවන් සිදු නොකරන්නෙකු වූ තැනැත්තාට ලෝකයට අපමණ ශාන්තියක් කළ හැකි බව ය. එමගින් අංගුලිමාල තෙරණුවන් සමාජය තුළ මහා ශාන්ති දායකයෙකු ලෙස පිළිගන්නා ලද බවට සැකයක් නැත. එම සත්‍යක්‍රියා සංඛ්‍යාත අංගුලිමාල පිරිත දැනුදු උන්වහන්සේ වෙත මහා ගෞරවයක් හා බලයක් ලබා දී තිබේ. මහා පීඩාවක් වූ ප්‍රසව වේදනාවෙන් පෙළෙන අපමණ මව්වරු අංගුලිමාල පිරිතේ ආශිර්වාදයෙන් දැනුදු සුවපත් වෙති.

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 18 වන දා බදාදා අපර භාග 11.30 ට ලබයි. 19 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 09.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 19 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය දෙසැම්බර් 25 වන දා බදාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

Full Moonඅමාවක

දෙසැම්බර් 25

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසෙලාස්වක

ජනවාරි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]